පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනපතිවරණයේ දී තම සහය ඒ මහතා ට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

පක්ෂයක් ලෙස ගන්නා තීරණය දෙවැනි තැනට දමා රට ගැන හිතා තමන් ඉදිරි ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු කරන බව ද ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් අවසන් වරට ඉදිරිපත් වූ ජනපතිවරණයේ දී ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 05 ක් බවත් එම ඡන්ද පදනම 100 % කින් වැඩිකර ගතහොත් ඔවුන්ට හිමි වන්නේ ඡන්ද ලක්ෂ 10 ක් බවත් කී ඒ මහතා ලක්ෂ 50 ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නම් ඔවුන් 1000 % කින් ඡන්ද ප්‍රමාණය වැඩිකර ගත යුතු බව ද අවධාරණය කළේය.
ඉතිහාසයේ කිසිදු පක්ෂයක් ඒ ආකාරයෙන් 1000 % කින් ඡන්ද පදනම වැඩි කරගෙන නොමැති බවත් අවසන් වරට පැවැති ජනපතිවරණයේ දී පරාජය වූ සජිත් ප්‍රේමදාස මහතා ද ඡන්ද ලක්ෂ 56 ක් ලබාගත් බව අප අමතක නොකළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් පසු බලයට පැමිණි සෑම ජනපතිවරයෙක්ම ජනපතිවරණයට ඉදිරිපත් වූයේ සන්ධානයකින් බවත් සන්ධාන ගත නොවී තනි පක්ෂයකින් ඉදිරිපත් වන කිසිවෙකුටත් ජනපතිවරණය ජයගත නොහැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබිය දී පෙරට පැමිණ රට ගොඩ ගැනීමේ අභියෝගයට මුහුණ දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාර ගනිමින් මේ වනවිට විශාල සාර්ථකත්වයක් පෙන්වා තිබෙන බවත් ඒ මහතා කීය. පසුගිය වසරේ දී සංවර්ධනයට මුදල් වෙන් කිරීමට හැකියාවක් නොතිබූ නමුත් මේ වසරේ දී විශාල ලෙස මුදල් වෙන් කරමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

මැතිවරණ කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට නොමැති බවත් නියමිත පරිදි මේ වසරේ දී ජනපතිවරණයත් ලබන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙන බවත් කී ඒ මහතා ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නම් වත්මන් ව්‍යවස්ථාවද වෙනස් විය යුතුව ඇතැයි අවධාරණය කළේය.

Similar Posts