walan

මෙවර උත්සව සමයේ තම අලෙවිය ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වළං කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවෝ හා වෙළෙන්දෝ කියා සිටිති.

කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වය මත තම කර්මාන්තය පවත්වා ගෙනයාමට දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති. දිවයිනේ මැටි ආශ්‍රිත කර්මාන්ත විශාල ලෙස පවත්වාගෙන යන්නේ වයඹ පළාත තුළය. කොතරම් අපහසුකම් තිබුනද වළං කර්මාන්තයේ නියැළෙන බොහෝ පිරිස් නව නිෂ්පාදන දිනෙන් දින අත්හදා බලමින් කර්මාන්තයේ නියැළෙති. මේ අතර ගෑස් උඳුන්වල ආහාර පිසීමට භාවිතා කරන වළං ඇතුළු මැටි භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි කර්මාන්තකරුවන් දැඩි උනන්දුවක් දක්වති.

ඒ එම භාණ්ඩවලට විශාල ඉල්ලුමක් පවතින නිසාවෙනි. වයඹ පළාතේ මැටි ආශ්‍රිත කර්මාන්තයේ නියැළෙන ජනතාව ජීවත් වන ප්‍රධාන එක් ගම්මානයක් වන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියාන ගම්මානයයි. එම ගම්මානයේ පාරම්පරිකව කර්මාන්තය පවත්වාගෙන යන පවුල් සංඛ්‍යාව තුන්සියයකට අධිකය. ඔවුන් මෙවර උත්සව සමයට පවතින ආර්ථික දුෂ්කරතාවන් පසෙකලා වෙනදා මෙන් ලහි ලහියේ උත්සව සමයට වළං මුට්ටි සූදානම් කළේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. එහෙත් ඒ සියලු බලාපොරොත්තු පසුගිය දින කීපය තුළ සුන්වී ගොස් ඇති බව කර්මාන්තයේ නියැළෙන්ණන් පවසති.

එච්.පී තිලකරත්න

අපි මේ කර්මාන්තය පටන්ගෙන දැන් අවුරුදු ගණනාවක් වෙනවා. වෙනදාට රුපියල් 20,000ක 25000ක වළං මුට්ටි විකුණනවා. මේ දවස්වල දවසකට රුපියල් 8000ක විතර තමයි විකුණන්නෙ. ඒත් බොහොම අමාරුවෙන්. අමුද්‍රව්‍ය ගණන්. ප්‍රවාහනය කරන්න විශාල මුදලක් යනවා. සේවකයින්ට පඩි නඩි දෙන්නෙ බොහොම අමාරුවෙන්. මේ සියලුදේ බලල අපි සුළු ලාභයක් තියල ගණන් කීවත් ඒ මිලට ගන්නෙ නෑ. මේ අවුරුද්දෙ තමයි මම දන්න කාලෙක මේ වගේ දෙයක් වුණේ.

ජයතිලක බණ්ඩාර

මම දන්න කාලෙක මේ වගේ පිඩාවකට පත් වුණේ නෑ. නත්තල්වලටත් කලින් බඩු දැම්මෙ. දවස් අටක් හිටියා. ගෙනාපු වළං මුට්ටිවලින් භාගයක්වත් වික්කෙ නෑ. මිනිස්සු දන්නෙ නෑ ප්‍රශ්න ගොඩකට අපි මැදිවෙලා ඉන්නේ. ඇත්තටම ප්‍රධාන අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනිමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අපි මැටි ගුලි වශයෙන් තමයි ගේන්නෙ. ඒවා ප්‍රවාහනය කරන්න පුළුවන්, හැබැයි මැටි කපන්න තහනම්. එවැනි නීතිරීති තිබෙන නිසා පිටින් මැටි කපන අය විශාල මිලක් අය කරනවා. මේවා ගැන රජය හොයල බලලා සාධාරණයක් කරන්න කියල අපි ඉල්ලනවා.

මිහිර – මාරවිල සමූහ

Similar Posts