රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන් යුත් ස්ථිර බදු වර්ගයක් වියයුතු බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා පනවා තිබූ රේගු සහ වැට් බද්ද ඇතුළු තීරුබදු කිහිපයක් වෙනුවට ආදේශකයක් ලෙස 2007 වසරේදී විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දුන් බව අමාත්‍යවරයා පවසයි.

රජය දේශීය වෙළඳපොළේ මිල පහළ දැමීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහළ දැමීමට 2021 වසරේ ගත් තීරණය සීනි බදු වංචාවට හේතු වූ බවත් එලෙස බද්ද පහළ දැමුවත් වෙළඳපොලේ සීනි මිල පහළ නොගිය බවත් අමාත්‍ය සියඹලාපිටිය  පිළිගන්නා ලදි.

මෙම බදු නීතිය ප්‍රශ්නගත බවත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අසාමාන්‍ය බදු වර්ගයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික වාර්තාවේ සඳහන් විය.මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ ප්‍රතිශතය එක රැයෙන් වෙනස් කිරීමට හැකියාව පවතින බවත් මෙම බදු නීතිය සීනි බදු වංචාවටද හේතු වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

Similar Posts