ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව පිලිබඳ පනත් කෙටුම්පතක් 2023 දෙසැම්බර් 29 දින දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය වරයා මේ පිළිබඳව සිවිල් සමාජය සමඟ කිහිප වතාවක් සාකච්ඡා කළේය.
සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් මෑතකදී සිවිල් සමාජය සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී කියා සිටියේ තමන් මෙම පනත් කෙටුම්පත පිළිබඳව විවිධ ජනතා කොටස් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවත් මෙය පනත් කෙටුම්පතක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ද ලැබෙන සංශෝධන සඳහා වන යෝජනා සැලකිල්ලට ගෙන ඒවා පිළිගත හැකි නම් ඒවායේ ගැඹුර අනුව යෝජිත පනත් කෙටුම්පත ඉවත්කර නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හෝ කමිටු අවස්ථාවේදී සුළු සංශෝධන කිරීමට හෝ රජය සුදානම් බවත් ය.
යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සහ ඝාතන 16 ක් පිළිබඳව විමර්ශනය කිරීමට 2006 වසරේ පත්කළ උදලාගම කොමිෂන් සභාව, 2010 වසරේ සී.ආර්. ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව සහ පැහැර ගැනීම් හා අතුරුදහන් වූවන් පිලිබඳ පැමිණිලි විමර්ශනය කිරීමට 2013 වසරේ පත්කළ පරණගම කොමිෂන් සභාව වැනි ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පිළිබඳව අපට ඇත්තේ අමිහිරි අතීතයකි. මක්නිසාද යත් ඒවායේ යෝජනා බොහෝසෙයින් ක්‍රියාත්මක නොවූ බැවිනි. එවකට ජනාධිපති විසින් මෙම කොමිෂන් සභා පත්කර ඇත්තේ පරීීක්ෂණ කොමිෂන් සභා පනත යටතේය.
වර්ෂ 2023 ජුනි මස පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසි වාරය අමතමින් මානව හිමිකම් පිලිබඳ නියෝජ්‍ය මහා කොමසාරිස් වරයා මෙසේ කියා සිටියේය.
“සත්‍ය කොමිසමක් හෝ එවැනි ප්‍රතිසංවිධාන යාන්ත්‍රණයක් පිළිබඳව හෝ ඇති සැලසුමක් ගැන කර ඇති නිවේදනයට අවධානය යොමු කළ යුතුය. අතීතයේදී මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද විවිධ කොමිෂන් සභා වගවීම සහතික කිරීමට අසමත් විය. අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය වින්දිතයන්ට සහන සැලසීමට අසමත්ව ඇත. අවශ්‍ය වන්නේ සත්‍යය, සහනය, අනුස්මරණය කිරීම සහ වගවීම සම්බන්ධ කරන සහ සාර්ථක හා කල්පවත්නා සංක්‍රාන්ති යුක්තිය ඇතිකිරීමේ ක්‍රියාවලියකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන සුසංයෝගී සැලසුමකි. අතීත උත්සාහයන්ගේ මූලික හිඩැස වන්නේ වගවිමයි. දණ්ඩ මුක්තිය ක්‍රියාත්මක වන තාක් කල් ශ්‍රී ලංකාව අව්‍යාජ ප්‍රතිසන්ධානයක් හෝ කල්පවත්නා සාමයක් හෝ ලඟා කර නොගනු ඇත.”
2022 ඔක්තෝබර් මස සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අංක A/HRC/51/5 දරණ සම්මුතියේ නිර්දේශ යටතේ මෙසේ සඳහන් වේ.
“ විශේෂිත උසාවියක් සමඟ විශ්වාසනීය සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම සඳහා ගන්නා පියවරද ආරක්ෂක අංශ වල ප්‍රතිසංස්කරණ හා පරික්ෂාකිරිම්ද සිය සම්පුර්ණ වරම අපක්ෂපාතීව හා ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය සහ හානිපූරණය පිලිබඳ කාර්යාලය බල ගැන්වීමද ඇතුළු ඉටු නොකළ පොරොන්දු ඉටුකිරීම සඳහා කාල රාමු සහිත සැලැස්මක් සමඟ සංක්‍රාන්ති යුක්තිය සහ වගවීම පිළිබඳව .විස්තීර්ණ උපායමාර්ගයක් සම්පාදනය කරන්න.”
පරීක්ෂණ සිදුකර වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සාධාරණිකරණය කරමින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව සිය වාර්තාවේ මෙසේ දක්වා ඇත.
“ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ සෙබළුන්ගේ, විශේෂයෙන්ම ක්‍රියාන්විත වලදී අමානුෂික සටන් උපක්‍රම බොහෝසෙයින් පාවිච්චි කළ පුළුල් වශයෙන් ගර්හිත ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව කරන ලද සටන් වලදී වෘත්තීයභාවයෙන් යුක්තව සහ පිරිසිදුව සිය කාර්යභාරය ඉටුකර විනාශවිගිය සෙබළුන්ගේ, කිර්තිනාමය සහ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමද ඔවුන්ගේ හොඳ නම රැක ගැනීමද ආණ්ඩුවේ වගකීම වෙයි. කුඩා පිරිසක් විසින් කරනලද කුමන ආකාරයේ හෝ වැරදි ක්‍රියා මගින් හමුදාවේ ඉහළම සම්ප්‍රදායයන් රකින ලද බොහෝ පිරිසකගේ ගෞරවය විනාශ කිරීමට ඉඩදිය යුතු නැත.”
එබැවින් ආණ්ඩුවේ උත්සාහය බව පෙනෙන්නට තිබෙන්නේ සියළුම පාර්ශව විසින් නැවත නැවතත් මතුකරනලද පිළියම් නොකරන ලද කරුණු වලට පිළියම් සෙවීමටයි. මෙය පිළිගත නොහැකි ලෙස නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට බඳුන්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වල සිට නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් සහිත පුළුල් විෂය පථයක් ඇති පාර්ලිමේන්තු පනතකට මාරුවිමකි.

පනත් කෙටුම්පතේ 12(1) ඡේදය අනුව එහි අරමුණ වන්නේ 1983 සිට 2009 දක්වාවූ කාල සීමාව තුළ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිදුවූ ගැටුම අතරතුරදී හෝ ඒ හා සාධාරණ ලෙස සම්බන්ධව හෝ එහි ප්‍රතිඵලයක් ලෙස හෝ එහි පසුවිපාක වශයෙන් ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයකදී තැනැත්තන්ට හෝ දේපළකට සිදුවූ අපභයකට හෝ හානියකට ජිවිත හානියකට හෝ සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීමකට අදාළ පැමිණිලි හෝ චෝදනා හෝ වාර්තා සම්බන්ධයෙන් විමර්ශන කිරීම පරීක්ෂණ පැවැත්වීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම යි.

පනත් කෙටුම්පතේ 12(2) ඡේදය අනුව 12(1) උප වගන්තියේ විධි විධාන වලට යටත්ව කොමිෂන් සභාවේ කාර්ය භාරයට ඇතුළත් වියයුතු කාරණා අනු ඡේද (අ) සිට (ඕ ) දක්වා සඳහන් කර ඇත.

එහි (ඌ) (xxi) අනු ඡේදයේ මෙසේ සඳහන්වේ. “ (1) වන උප වගන්තියේ සඳහන් සිදුව ඇති කියනු ලබන උල්ලංඝනය කිරීම් සහ හිරිහැර කිරීම් සඳහා උපදෙස් ලබාදෙන ලද, සැලසුම් කරන ලද,විධාන කරන ලද,අණ ලබා දෙන ලද,හෝ නියෝග කරන ලද තැනැත්තන් ඇතුළුව එම දාමරික ක්‍රියා සිදු කිරීම සඳහා වගකිව යුතු තැනැත්තන් සම්බන්ධ සොයාගැනීම් කිරීම ඇතුළුව (1) වන උප වගන්තියේ දක්වා ඇති තැනැත්තන්ට හෝ දේපළ වලට සිදුව ඇතැයි කියනු ලබන අලාභ හෝ හානි හෝ ජිවිත හානි හෝ සිදුව ඇතැයි කියනු ලබන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම”

13 (ය ඇ) ඡේදය අනුව කොමිසමේ බලතල වලට 13(ම) ඡේදයේ විධිවිධාන වලට යටත්ව දණ්ඩ නීති සංග්‍රහය (19 වන අධිකාරය) හෝ ශ්‍රී ලංකාවේ වෙනත් යම් නීතියක් යටතේ දඬුවම් ලබාදිය හැකි වරදක් හෝ වරදවල් සිදුකර ඇති බවට කොමිෂන් සභාවට පෙනී යන අවස්ථාවකදී වැඩිදුර විමර්ශනය සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ නඩු පැවරීමේ අධිකාරීන් වෙත ඒ කාරණා යොමු කිරීම ද ඇතුළත් වේ.

පනත් කෙටුම්පතේ 16(2) ඡේදය අනුව මේ පනත යටතේ පිහිටුවන ලද කොමිෂන් සභාව විසින් අවස්ථාවෝචිත පරිදි විමර්ශනයක් හෝ පරීක්ෂණයක් හෝ ඒ දෙකම සිදු කිරීමේදී රැස් කරගත් කරුණු මත පදනම්වූ යම් වරදක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නම් කරන ලද අධිකරණයකදී අපරාධ නඩු පැවරීම නිත්‍යානුකුල විය යුතුය. මෙම ප්‍රතිපාදනය 2008 අංක 16 දරන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධිත) පනතේ 24 ඡේදයේ ද ඇත.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ විධි විධාන වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ ච්න්තනයට අනුගත වේ.

දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව ස්ථාපිත කරනු ලැබුවේ ජාතික සමගිය සහ ප්‍රතිසංධානය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ 1995 අංක 34 දරණ පනත මගිනි. මෙහි ප්‍රධාන අරමුණු වූයේ අදාල කාලය තුළ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්හි සම්පුර්ණ ස්වභාවය ඒවාට හේතු සහ ඒවායේ ප්‍රමාණය නිශ්චය කර ගැනීම, අදාල සිදුවීම් නොසඟවා හෙළි කරන පුද්ගලයන්ට සමාව දීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම, තමන්ට මුහුණ දීමට සිදුවූ උල්ලංඝනයන් පිළිබඳව හෙළි කිරීමට වින්දිතයනට ඉඩදීම මගින් ඔවුන්ගේ ඉරණම ප්‍රසිද්ධ කිරීම හා නිශ්චය කර ගැනීම, සහ මෙවැනි මානව හිමිකම් උල්ලඝනයන් අනාගතයේ සිදුවීම වැළැක්වීමට සුදුසු නිර්දේශ ඇතුළත් විස්තීර්ණ වාර්තාවක් සම්පාදනය කිරීම වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ පනත් කෙටුම්පතේ සහ දකුණු අප්‍රිකානු පනතේ අරමුණු මුලික වශයෙන් වෙනස් බව අපට නිරීක්ෂණය කළ හැක. දකුණු අප්‍රිකාවේ කිසිම පාර්ශවයක් කුරිරු ක්‍රියා සිදු නොවූ බව කියා නොසිටි අතර ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙක විසින්ම එය පිළිගන්නා ලදී. දකුණු අප්‍රිකාවට අවශ්‍ය වූයේ පැරණි තුවාල සුව කරගෙන ඉදිරියට යාමටයි. එබැවින් සත්‍යය හෙළි කිරීමේ සහ සමාව දීමේ සංකල්පය ඉදිරියට පැමිණියේය.

කොමිෂන් සභාවේ කාල සීමාව අවුරුදු 5 ක් වන අතර එය තව අවුරුදු 2කින් දීර්ඝ කළ හැක. පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන, කාර්ය සාධනය පෙරටු කොට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභා වල ඉරණම පිළිබඳව ඇති විවේචන වලට ආමන්ත්‍රණය කර ඇති පනත් කෙටුම්පත ඒවාට ප්‍රතිකර්මද යෝජනා කර ඇත.

කොමිෂන් සභාව විසින් අර්ධ වාර්ෂිකව අතුරු වාර්තා හෝ අවසාන වාර්තාව හෝ ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව කොමිෂන් සභාව විසින් භාෂා ත්‍රිත්වයෙන්ම එම වාර්තා මාධ්‍යය වෙත නිකුත් කළ යුතු අතර ජනාධිපතිවරයා විසින් දින 21ක් තුළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. (15 වන ඡේදය) පළමු අතුරු වාර්තාව කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමෙන් මාසයක් ඇතුළත ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, නියාමනය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා නියාමන කමිටුවක් පත් කළ යුතුය. ( 39 වන ඡේදය)

ජනාධිපතිවරයා පත් කරන නියාමන කමිටුව නිල බලයෙන් පත්වන නිශ්චිත අමාත්‍යාංශ පහක ලේකම්වරු 5 දෙනෙකු ගෙන් සහ ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරන ලද සාමාජිකයන් 6 දෙනෙකු ගෙන් සමන්විත විය යුතුය. කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත කොමිෂන් සභාවේ සහ වෙනත් පෙර පවතී විමර්ශණ කොමිෂන් සභා වල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවේ හෝ ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන වෙනත් යම් තැනැත්තකුගේ හෝ පුද්ගල මණ්ඩලයක ප්‍රයත්නයන් පිලිබඳ ඇගයීමක්, සෑම මාස 6කට වරක් අර්ධ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමින්, ලැබිය යුතු අතර එකී වාර්තාව ලැබීමෙන් සති දෙකකට වඩා පසු නොවන කාලයක් තුල ජනාධිපතිවරයා විසින් එම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබිය යුතුය. (40 වන ඡේදය )

අවසන් වශයෙන් කොමිෂන් සභාවේ අතුරු වාර්තාවල හෝ අවසන් වාර්තාවේ හෝ අන්තර්ගත නිර්දේශ පිළිබඳව පාර්ලිමේන්තුව විසින් සැලකිල්ලට ගනු ලැබිය හැකි අතර ජාතික සමගිය සහ ප්‍රතිසංධානය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය යයි සැලකෙන යම් යෝජනාවක් සම්මත කරගනු ලැබිය හැකිය. (16 වන ඡේදය)

ඔන්ලයින් පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතකා සම්මත කිරීම වැනි ජනාධිපතිවරයා ගේ සහ ආණ්ඩුවේ යම් ක්‍රියාවන් සම්බන්ධව රට තුළ විරෝධයන් ඇතත් ඔහු සහ ආණ්ඩුව විසින් ආර්ථික තලයේ මතු නොව දේශපාලන තලයේද යම් ප්‍රතිසංස්කරණ සෙමෙන් නමුත් කරගෙන යන බව පෙනෙන්නට තිබේ. වරෙක ඔහු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති 13වන සංශෝධනය විධායක බලතල යටතේ සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීය. එබැවින් රටට අවශ්‍ය එනමුත් ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ ආර්ථික තලයේද දේශපාලන තලයේද එකවිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ඉදිරි මැතිවරණ වලදී අහිතකර ලෙස බලපානු ඇතැයි විවේචනයක් තිබේ. එය ඔහුගේ සැලකිල්ලට බඳුන් වන බවක් පෙනෙන්නට නැත.
මෙම පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන පක්ෂ වල මතු නොව ජනතාවගේද විශේෂයෙන්ම දෙමළ ජනතාවගේද සහයෝගය ලබා ගත යුතුය.

හර්ෂ ගුණසේන

Similar Posts