නුවරඑළිය ප්‍රදේශයේ නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන් හතළිස්දෙනකු සඳහා ඊජිප්තුවෙන් ගෙන්වන ලද අනර්ඝ තත්ත්වය ස්ට්‍රෝබෙරි පැළ , ඒ සඳහා අවශ්‍ය දියර පොහොර බෙදාදීම සහ එම පැළ සුභ මොහොතින් සිටුවීම සිදු කෙරිණ.

නුවරඑළිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බී. එච්. ඒ. දිල්හානි මහත්මිය , නුවරඑළිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී ජයන්ත බාලසූරිය මහතා හා නුවරඑළිය ස්ටෝබෙරි ගම්මාන සුහුරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක හා ප්‍රධාන වගා පුහුණුකරු සමන් රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

ස්ට්‍රෝබෙරි සුහුරු ගම්මානය ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පහදමින් අදහස් දැක්වූ නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රධාන තාක්ෂණික වගා උපදේශක හා අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය නුවරඑළිය ඉතිහාසය තුළ ගොවීන්ට ලැබුණු අනගිම ස්වර්ණමය අවස්ථාවක් බවයි.

ශ්‍රී ලාංකීය කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ලබාදීම හා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය නංවාලමින් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සුහුරු කෘෂි ගම්මාන වැඩසටහන යටතේ ස්ටෝබෙරි වගාව සදහා හරිතාගාර ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය ප්‍රදේශයේ ස්ට්‍රෝබෙරි වගාකිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුමකට අනුව මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි.

මෙහිදී නුවරඑළිය හා අවට ප්‍රදේශයන්ගෙන් ගොවීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන ඔහුන් සදහා නවීන තාක්ෂණය යොදාගනිමින් එක් ගොවියකුට වර්ග අඩි 1000ක හරිතාගාරය බැගින් හරිතාගාර වර්ග අඩි 40,000 ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බවයි.

ස්ට්‍රෝබෙරි වගාව ගුණාත්මකභාවයෙන් සිදුකර විදේශ වෙළඳපොළ ආක්‍රමණය කිරීම වෙනුවෙන් සකසන සැලසුමක් වශයෙන් මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන්ට අනුකූලව ගුණාත්මක බවින් ඉහළ තත්ත්වයකින් හා ඉස්තරම් අමුද්‍රව්‍ය භාවිතා කරමින් වගකීමක් සහිතව නිර්මාණය කරනු ලැබූ සියලූම හරිතාගාර ඉදිකොට ඇති බවත්, එම හරිතාගාරයන්හි වහලය සඳහා යොදාගෙන ඇති යූ.වී පොලිතීනය ඊශ්‍රායලය රටින්ද වට ආවරණය කිරීම සඳහා යොදාගෙන ඇති කෘමි ප්‍රතිරෝධී දැල තායිලන්තය රටින්ද ස්ටෝබෙරි පැල සදහා ජලය හා දියර පොහොර සැපයීමේ බිංදු ජල සම්පාදන පද්ධතිය ඊශ්‍රායලය රටින් ද ආනයනය කර තිබීම විශේෂත්වයක් බවයි.

නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන්ට හරිතාගාර තුළ රෝපණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණයට උචිත ෆස්ටිවල් ප්‍රභේදයට අයත් අනර්ඝ තත්ත්වයේ ස්ට්‍රෝබෙරි පැළ ඊජිප්තුවෙන් ආනයනය කර ඇති බවත්, වර්තමානයේ ස්ටෝබරි සඳහා දේශීය හා විදේශීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතින අතර එයට සිදුකරන දායකත්වයක් වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විසින් මෙසේ පළමු පියවර තබන බවත්, ගොවීන් අතර බෙදා දුන් ස්ට්‍රෝබෙරි පැළ තොගයේ අපේක්ෂිත ඵලදාව මසකට කිලෝග්‍රෑම් 1600-1800 වන බවයි සමන් රත්නායක මහතා කියා සිටියේ.

එහි පළමු අස්වැන්න පැල සිටවූ දින සති 8-9 අතර කාලයේදී අපේක්ෂා කරනු ලබන අතර , මව් ශාඛාවෙන් හටගන්නා දාවක පැළ වර්ධනය කරගැනීමෙන් මෙම ස්ටෝබරි වගාව වසර 3ක කාලයකට දිගුකාලීන ලෙස පවත්වාගෙන යා හැකිය.

වර්තමානයේ සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට අනුව පළමු ශ්‍රේණියේ ස්ටෝබරි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5000-6000ක පමණ වේ.

ඒ අනුව මෙම වැඩසටහන තුලින් ගොවීන් 40 දෙනා හට මාසිකව රුපියල් මිලියන 8-10 ක ආදායමක් ලබාගෙන රටේ ආර්ථික වර්ධනයට දායක කරවීමට අපේක්ෂා කරයි.

Similar Posts