
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද කියලා සුසුමක් හෙලන්න ඕන වෙලා තිබුණා. එක් තැනක ගොඩ ගැසුණු හිස් කිරි හට්ටි ගොඩක් හිතට බරක් වගේ දැනෙන්න ගත්තා.
අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම වගේ කිව්ව කතාව අපේ වැඩ කරන්න මැටි නෑ කියලා. දුර පලාත් වලින් පදම් කරපු මැටි ගෙන්නා ගන්න ලොකු වියදමක් යනවා කිව්වා.
මේ හට්ටි ටික හදන්න මොන තරම් මැටි යන්න ඇතිද ? මට නිකමට හිතුණා. ඇත්තටම මේ ටික ගෑස් වළං වුණා නම් මොන තරම් වටිනවද? පොඩි ලෝබ කමක් හිතට ආවා. මේ ටිකේ පස් පුරවලා පැල තවානක් වගේ කරන්න පුළුවන් තමයි. ඒත් ඒ කරන්න දෙයක් නැති නිසා කරන වැඩක්නේ.
ඇත්තටම හොඳම ගෑස් වළං සෙට් එකක කිරි මුදවලා තිබුණා නම් කොයි තරම්ද? ගාන ටිකක් වැඩි වුණත් වළං ටිකක් ලැබෙනවනේ. ප්රින්ට් කරපු පෙට්ටියක ඒ කිරි හට්ටිය දැම්මා නම් පෙනුම කොහොමද?
ඕන නම් හොඳවයින් පැණි කාලකුත් පෙට්ටියට දාන්න පුළුවන්. හොඳ ඇහැක් තියෙන Graphic Designer කෙනෙකුට කියලා ලෙබල් එකකුත් කර ගත්තා නම් එළම තමයි. ගමක ඉන්න ඔක්කොම කිරි හදන මිනිස්සු එක්ක කතා කර ගත්තා නම් ලොරියක් පුරවලා දවස ගානේ ඔඩර් එකක් දෙන්න බැරි වෙන්නේ නෑ.
සුපර් මාර්කට් ටිකක් එක්ක ගිවිසුමක් ගහ ගන්න බැරි කමකුත් නෑනේ. Branded කිරි හට්ටියක් තෑගි දෙන්න කව්ද අකැමැති. මොනවත් අහක යන්නෙත් නෑ. ඇත්තමයි සති අන්තයේ මහන්සි වෙලා එහෙම එකක් පටන් ගන්නවා. මං හිත හදා ගත්තා.