සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?

cyberattack

රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න” මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ.

අන්තර්ජාල බැංකු සේවාවන් භාවිත කිරීමට ජනතාව පෙළඹීමත් සමග ඒ හරහා සිදුවන වංචා පිළිබඳ වාර්තාවීම් ද දිනෙන් දින ඉහළ යමින් තිබේ.

මෙරට තුළ සිට මෙන්ම විදේශ රටවල සිට ක්‍රියාත්මක මෙම වංචාවන් ගැන කෙතරම් දැනුවත් කිරීම් කළත් ඊට හසුවන පිරිස් ද දිනෙන් දින ඉහළ යන බව වාර්තා වෙයි.

300කට අධික විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට
සයිබර් අවකාශයේ ඔස්සේ සිදුකරන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානයට යොමු වීමට පටන් ගැනුණේ පසුගිය සති කිහිපයේදී මෙරටින් චීන ජාතිකයින් ඇතුළු විදේශිකයින් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමග ය.

මෙම වසරේ ජූලි මාසයේ සිට ගත් කල මෙරටින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කරන බවට සැකපිට විදෙස් ජාතිකයින් අත්අඩංගුවට ගැනීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ කාල සීමාවක් විය.

පුත්තලම, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හෝටල් සහ ලැඟුම්හල්වල නවාතැන් ගෙන සිටි විදේශිකයින් කණ්ඩායම් වශයෙන් සංවිධාන වී සයිබර් මූල්‍ය අපරාධ මෙහෙයවමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ චීන ජාතිකයින් ඇතුළු විවිධ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 300කට අධික පිරිසක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කර තිබෙන බව ද ඔහු පැවසුවේය.

මේ අතර, විශාල මුදලකට නිවෙස් හෝ ගොඩනැගිලි කුලී පදනමට ගෙන ඇත්නම් ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස ත් සැකකටයුතු යම් දෙයක් සිදුවන්නේ නම් ඒ ගැන දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී.

‘වැඩි වශයෙන් ම හසුවෙලා ඉන්නේ මැදි වයසේ පුද්ගලයින්’
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී පමණක් පැමිණිලි 232ක් වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තහවුරු කරන ලදී.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල පැවසුවේ, වසරේ පළමු මාස 9 තුළදී පමණක් එවැනි වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි 1,100කට අධික ගණනක් ලැබී ඇති බව ය.

“සමස්තයක් විදිහට මෑත කාලයේදී ඔන්ලයින් ඔස්සේ සිදුවන වංචාවන්වල වර්ධනයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී ලබා දෙන OTP හෙවත් එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද වගේ ම පෞද්ගලික බැංකු දත්ත සොරා ගැනීම් වගේ සිදුවීම් ගැන තොරතුරු වාර්තා වෙනවා.”

”බැංකුවල නම් භාවිත කරමින් නිර්මාණය කරලා තියෙන ව්‍යාජ වෙබ් අඩවි හරහා පුද්ගලයින්ගේ බැංකු තොරතුරු, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ OTP දත්ත සොරා ගැනීම් ගැන තොරතුරු වාර්තාවීම් සිදුවෙලා තියෙනවා.”

”ගොඩක් වෙලාවට මේ වගේ වංචාවන්ට හසුවෙලා තියෙන්නේ වයස අවුරුදු 40-65 වගේ වයස් කාණ්ඩයේ පසුවන අයයි. තරුණ අයත් මේ වගේ වංචාවන්ට හසුවෙලා කියලා වාර්තා වුනු අවස්ථා තිබුණා,” ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල පැවසුවේය.

‘මේ වැරැද්ද නම් කරන්න එපා’
යම් පුද්ගලයෙකු අන්තර්ජාල බැංකුකරණයේ යෙදෙනවිට තමන්ට අදාළ බැංකුව මගින් ලබා දී තිබෙන ජංගම දුරකතන යෙදවුම (ඇප්) පමණක් භාවිත කිරීමට පෙළඹෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල පැවසුවේය.

බොහෝ දෙනා OTP ඛේතය නිකම් අංක කිහිපයක් යැයි සිතන තත්ත්වයකට පත්ව ඇති බවත් එය ඉතා වැදගත් බවත් ඔහු පැවසුවේය.

“බැංකුකරණයයේ යෙදෙනවා නම් බැංකුවෙන් ලබා දීලා තියෙන ඇප් එක ම යොදා ගන්න කියලයි අපි දැනුවත් කරන්නේ. සාමාන්‍ය වෙබ් අඩවියකට ගිහින් ඒ දේ කරනවාට වඩා ආරක්ෂිතයි බැංකු විසින් ම ලබා දීලා තියෙන ඇප් එක භාවිත කරන එක.”

”අනිත් දේ තමයි ගනුදෙනුකරුවෙක්ට කෙටි පණිවිඩයක් හෝ වෙනත් පණිවිඩයක් එනවා බැංකුවලින් එවන නිවේදනයන්ට සමාන විදිහට. ඒකෙ සඳහන් වෙලා තියෙනවා ඔබේ බැංකු ගිණුමට යම් අනවසර ඇතුළු වීමක් වෙලා තියෙනවා කියලා ඒක වළක්වා ගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න කියලා, කරුණාකරලා ඒ දේ කරන්න එපා. ගොඩක් වෙලාවට එහෙම එන පණිවිඩ ඔස්සේ තමයි මේ ව්‍යාජ වෙබ් අඩවියේ ලින්ක් එක ඇතුළත් වෙලා තියෙන්නේ.”

”අපිට මෑතකදී දකින්න ලැබුණ දෙයක් තමයි ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය ඔස්සේ පුංචි වෙනසක් කරලා තියෙන බැංකුවල ලාංඡන යොදාගෙන දැන්වීම් පළකරලා තියෙනවා විවිධ තෑගී දෙනවා කියලා. මේ වගේ දේවල් දැක්කම තරුණ වැඩිහිටි කියලා වෙනසක් නැහැ හැමෝම තමන්ගේ බැංකු තොරතුරු අතුළත් කරලා ලින්ක් එක ක්ලික් කරනවා. ඒත් පස්සේ තමයි තේරුම් ගන්නේ තමන් රැවටිලා කියලා. ඒ නිසා හැමෝම හොදට අවධානය යොමු කරන්න මේ වගේ දේවල් ගැන,” ඔහු පැවසීය.

‘අවධානයක් නැතිකම ප්‍රධාන හේතුවයි’
ඔන්ලයින් මූල්‍ය වංචාවන් ගැන කෙතරම් දැනුවත් කිරීම් කළ ද ජනතාව ඒ පිළිබඳව නිසි පරිදි අවබෝධ නොකර ගැනීම හේතුවෙන් එවැනි වංචාවන්ට ලක්වන බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පැවසුවේ ය.

තවද, යම් කිසි සිදුවීමක් වූ විට පමණක් ඒ පිළිබඳව දැනුවත් කිරිමෙන් ප්‍රයෝජනයක් නොමැති බව ඔහු පැවසුවේය

“අපේ රටේ ගොඩක් දෙනෙක් මේකට ගොදුරු වෙන්න මුලික හේතුව වෙලා තියෙන්නේ ඒ ගැන තියෙන නොදැනුවත් වීම වගේ ම අවධානයක් යොමු නොකිරීම නිසයි.”

”ගොඩක් මූල්‍ය ආයතන සහ බැංකු යම් සිදුවීමක් වුණා ම තමයි ඒ ගැන දැනුවත් කිරීම් කරන්නේ. හැබැයි පුරුද්දක් විදිහට දැනුවත් කිරීම් සිදුකරන්නේ නැහැ. ඒ නිසා ඔන්ලයින් වංචාවන් සම්බන්ධයෙන් දිනපතා ම මහජනතාව දැනුවත් කිරීම් අඛණ්ඩව සිදුකළ යුතුයි. එහෙම නොවුණා ම මේ වගේ වංචාවන්ට ජනතාව හසුවෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා.”

”විශේෂයෙන් ම දැන් මේ සිදුවන ඔන්ලයින් වංචාවන් දේශීයකරණය වෙමින් තියෙනවා කියලා පේනවා. ඉස්සර ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ සයිබර් වංචාවන් සිදුවුණේ. නමුත් දැන් දේශීය බැංකුවල ලාංඡනවලට සමාන විදිහේ ලාංඡන, ව්‍යාජ වෙබ් අඩවි වගේ ම දැන්වීම් යොදාගෙන මේ දේවල් කරනවා. ඉතින් ජනතාව රැවටෙනවා. තමන් ගනුදෙනු කරනවා වගේම සමාජ මාධ්‍ය පරිහරණය කරද්දී ඒ ගැන අවධානයෙන් ඉන්න,” ඔහු පැවසුවේය.

‘ගොඩක් බැංකුවල සමාජ ජාල ගිණුම් වෙරිෆයිඩ් නැහැ’
මෙරට මූල්‍යකරණයේ නියුතු බැංකු ඇතුළු මූල්‍ය සමාගම්වලට අයත් බහුතරයක් සමාජ මාධ්‍ය ගිණුම් නිල වශයෙන් සත්‍යාපනය කර නොමැති බව ද සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නේ ය. ඔන්ලයින් මූල්‍ය වංචාකරුවන්ට එය අමතර වාසියක් වී ඇති බව ඔහු පවසයි.

“ලංකාවේ ගොඩක් බැංකුවල නිල ෆේස්බුක් ගිණුම් වෙරිෆයිඩ් නැහැ. එතකොටන් වංචා කරන කණ්ඩායම්වලට ඒ වගේ පේජ් එකක් හදාගෙන ජනතාව රවට්ටන එක ලේසියි.”

”මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි බැංකුවකින් හෝ මූල්‍ය සමාගමක් ඇත්තටම නිවේදනයක් නිකුත් කළත් පාරිභෝගිකයාට හඳුනා ගන්න අමාරුයි මේ ඇත්ත බැංකුවෙන් එන පණිවිඩයක් ද නැත්නම් ව්‍යාජ එකක්ද කියලා.”

පසුගිය දා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ හෝටලයකදී ඔන්ලයින් මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් පිරිසක්

ඔන්ලයින් වංචා ගැන චීනයේ අවධානය
ඉකුත් කාල සීමාවේදී අන්තර්ජාල මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මෙරටදී චීන ජාතිකයින් විශාල පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාව කරනු ලබන විමර්ශන සඳහා චීනයේ පුර්ණ සහයෝගය ද ලබා දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිදුවීම් හේතුවෙන් චීනයේ ප්‍රතිරූපයට සහ දෙරට අතර සාම්ප්‍රදායික මිතුදමට බරපතළ හානියක් සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යංශය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට එවා ඇතැයි එම නිවේදනයේ සඳහන් කර තිබේ.

www.bbc.com

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….