phone

මේ වන විට පදික වේදිකාවල පවා දුරකථන අලෙවියට තබා තිබෙනවා. එවැනි දුරකථන මිල දී ගැනීමේදී පරිස්සම්සහගත විය යුතුයි. සොරාගත් දුරකථන එසේ අලෙවි කරන්නට ඉඩ තිබෙනවා.

මෙරට දුරකථන අලෙවිය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වෙළඳ බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා. ඒ බලපත්‍රය වාර්ෂිකව රුපියල් 15,000ක් ගෙවා ලබාගත යුතුයි. එය අලෙවිසලෙහි මහජනයාට පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතුයි. එසේ නොකරන වෙළෙඳසල් කරන්නේ නීති විරෝධී වෙළෙඳාමක්. ශ්‍රී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතට අනුව ජංගම දුරකථන වෙළෙඳාම, අලුත්වැඩියාව, ආනයනය, අපනයනය, නිෂ්පාදනය, බදු දීම, කුලියට දීම වැනි ඕනෑම කාර්යයක් සිදු කරන වෙළෙඳසලක් අනිවාර්යෙන්ම වෙළඳ බලපත්‍රයක් ගත යුතුය. එසේ නොගන්නා හා එම බලපත්‍රය ප්‍රදර්ශනය නොකරන පුද්ගලයන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කරනු ලබන අතර‍, එහිදී අධිකරණයෙන් රුපියල් මිලියනය දක්වා දඩ නියම කළ හැකිය. එමෙන්ම 6 මසක සිරදඬුවමක් හෝ මේ දෙකටම යටත් කළ හැකියි.

එමෙන්ම එම ආයතන වෙළෙඳසල් විසින් අලෙවි කරනු ලබන දුරකථන ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ප්‍රමිතිගත දුරකතන නම්, දුරකථනය බහා ඇති ඇසුරමේ කවරයේ TRCSL APPROVED යනුවෙන් සඳහන් වෙනවා. යම් අයකුට එම ස්ටිකරය සත්‍යදැයි සොයා දැනගැනීමට හැකි ක්‍රමවේදයක්ද තිබෙනවා. වෙනත් දුරකථනයකින් IMEI ඉංග්‍රීසි අක්ෂර ටයිප් කර හිස්තැනක් තබා ඉලක්කම් 15කින් යුත් ඉමි අංකය ටයිප් කර 1909ට යොමු කළ යුතුය. එවිට අදාළ දුරකථනය අනුමත නම් අනුමත බව හෝ නැත්තේ නම් ඒ බව සඳහන් පණිවිඩයක් ලැබෙනු ඇති.

More Stories