nandalal

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  අනාවරණ කළේය.

ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ,

“ප්‍රශ්නය වන්නේ අපට කෙතරම් ඉක්මනින් ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීරණ කොට, අහිමි වූ ඵලදායිතාව ගොඩනැගිය හැකිද යන්නයි. ඒ සියල්ල රඳාපවතින්නේ වැදගත් යැයි හඳුනාගැනුණු ප්‍රතිසංස්කරණ බලධාරීන් විසින් කෙතරම් සාර්ථකව ක්‍රියාවට නංවන්නේද යන්න මතයි.”

“ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව, ආර්ථිකය ස්ථාවරකොට ඉදිරියට ගෙනයාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් උදානොවේවි.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබාගත හැකිවුවත් එය තාවකාලික සහනයක් පමණයි. වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත් අප නැවතත් එම චක්‍රයටම පිවිසීම වැළැක්විය නොහැකියි.”

“මේ සම්බන්ධයෙන් ජනතාව, දේශපාලනඥයින් සහ නොයෙක් ක්ෂේත්‍රවලින් එල්ලවන විරෝධය අපට වටහාගත හැකියි. අපට මේ තත්ත්වයට මුහුණදීමට වෙනත් විකල්පයක් නොතිබුණාද යන්න ඇතැමුන් ප්‍රශ්න කරනවා. එය වැදගත් ප්‍රශ්නයක්. අප වැරදි මඟක ගමන් කරනවාද? IMF වෙත ගිය එක වැරදි ද?.. යන්න හඬ නඟන පිරිසකුත් දැකිය හැකියි.”

“එය අර්බුදයෙන් ගොඩආ හැකි එකම මඟ ද?. කියා ඔවුන් ප්‍රශ්න කරනවා. මම අගය කරනවා එලෙස මෙය යායුතු නියම මඟ නොවන බවට තර්ක කරන අය ගැන. එහෙත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස මා ඔවුන් දිරිගන්වනවා.”

“විවේචනය කිරීම පහසුවුවත්.. මෙය වේදනාකාරී වුවත් අපට ආර්ථිකය ප්‍රකෘතිමත් කර ස්ථාවර කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පහසු කරුණක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මට විශ්වාසයක් පවතිනවා.”

“අප පැවැත්වූ සාකච්ඡාවලදී අපේ සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සාහාය දැක්වීමට කැමැත්ත පළකර තිබෙනවා. සෑම ණයහිමියෙක්ම පැහැදිලිව ප්‍රකාශ කළ කරුණක් තමයි ඔවුන් මෙරට බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවනු දැකීම අපේක්ෂා නොකරන බව.”

“ඉදිරියේදී හෝ ණය හිමියන්ට ඔවුන්ගේ ණය නැවත අයකර ගැනීම සඳහා මෙරට ශක්තිමත් බැංකු පද්ධතියක් පැවැතිය යුතුයි.”

Similar Posts