ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය.

එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය.

ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත යුතු නැති බවත් ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ තමන් සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බවයි.

“මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ.

ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ,” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ සඳහන් ප්‍රධාන කරුණු හතක් පහත දැක්වේ.

69 ලක්ෂයක් ජනාධිපතිවරයා පත්කරගත්තේ ඇයි?

“මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ.

ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්තවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ, සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියක් ඔවුන් තුල තිබුන නිසයි,” ජනාධිපතිවරයා පැවසීය.

“මගේ ධුර කාලය තුල ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පාලන තන්ත්‍රයක් රට තුල ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී දුන් ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා.”

“සෑම මසකම ත්‍රෛනිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිලිවෙලකුත් මම අනුගමනය කරනවා.”

රටේ ආරක්ෂාව ස්ථාපිත කිරීම

තමා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුණු අතර, “පාතාලය බලගතු වී රටපුරා ඝාතන රැල්ලක් ආරම්භ වී, ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙනු කරුවන්ගේ තිප්පොලක් බවට පත් වී තිබුණු,” බව පවසන ජනාධිපතිවරයා, බුද්ධි අංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා රට අනාරක්ෂිතවන තත්වයක් ඇති වෙමින් තිබු අතර “පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුණු” බවත් කියා සිටියේය.

“මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යළි පණගන්වන්නට කටයුතු කළා.”

“ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යළි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා.”

පාතාල ක්‍රියාකාරකම්

“තවදුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලි වලට, කප්පම් කරුවන්ට, ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපි මේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා,” යනුවෙන් ද ජනපතිවරයා පැවසීය.

“මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කලාක් මෙන් සිර ගෙවල් ඇතුළත සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ.”

විදේශ ප්‍රතිපත්තිය

“රණ විරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිලිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා.

සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යළිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා.

කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි,” හනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

දේශපාලන අතපෙවීම්

ගතවූ කාලය තුල නව රජය විසින් කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලීසියට බලපෑම් එල්ල නොකළ බවත් පත්වීම්, උසස්වීම් සියල්ල සිදුවූයේ දේශපාලන බලපෑම් වලින් තොරව සුදුසුකම් මත බවත් ඔහු පැවසීය.

“දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිත කිරීමේ ක්‍රමවේදය අපි මුලුමනින්ම ප්‍රතික්ෂේප කළා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා.”

“රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට අපි වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා.

මෙවැනි ප්‍රතිපත්තියක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මක කොට තිබුනේ නැහැ. තවදුරටත් දේශපාලන බල පුලුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්වන්නට තිබුණ ඉඩකඩ ඉන් ඇහිරුනා.”

ආර්ථික වර්ධනය

තමා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය විශාල කඩා වැටීමකට ලක් වී ඉතා දුර්වල මට්ටමක තිබු බවත් රැකියා වියුක්තිය යළි ඉහල ගොස් තිබුණු බවත් ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් කඩාවැටීම නිසා මූල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුණු බවත් ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, රටේ ණය බර අතිශයින් ඉහළ ගොස් ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුණු බැවින්, ඉහළ පොලී අනුපාතයන් හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටීම නිසා මේ තත්වය පාලනය කිරීමට කඩිනම් පියවර රාශියක් ගත් බවයි.

“බදු බර අඩු කොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප් මත උපයන විට ගෙවිය යුතු සෘජු බදු අඩු කළා මෙන්ම පොලී මත පැවති රඳවාගැනීමේ බදු ඉවත් කළා.

දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන රැසක් ලබාදීමට කටයුතු කළා. බදු ක්‍රම සරල කළා. දේශීය නිශ්පාදන වලට අහිතකර තරඟකාරී ආනයනයන් සීමා කළා.”

“පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර කිහිපයක් පුරා අඛන්ඩව කඩා වැටෙමින් තිබුන විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කළා,” යනුවෙන් ඔහු පැවසීය.

“සීඝ්‍රයෙන් ඉහල යමින් තිබුන විදේශ ණය ගැනීම් පාලනය කළා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබු සියලුම විදේශ ණය වාරික අපි ගෙවා දැමුවා. “

“පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල් විශාල ප්‍රමාණයක් ගෙවන්නට අපි කටයුතු කළා.

පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර බිලියන 20 කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කළ අයට බිලියන 47 කුත් ගෙවා දැමීම තුලින් සමාජයට මුදල් නිදහස් කිරීම හරහා අඩපණ වී තිබුණ රටේ ආර්ථික ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට උපකාර වුණා.”

“අපේ රටට මහා උවදුරක්ව පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුලුවන් වුනේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි.

එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුනා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා.

අවසන් කළ නොහැකි යැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජයගන්නට පුලුවන් වුනා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුලුවන් විය යුතුයි.

නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අප තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට, සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රීයව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

කොරෝනා වෛරස පාලනය

“අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බල පා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා.

එය ලෝකයේ සෑම රටකටම අළුත් අභියෝගයක් වුනත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි.

පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම, ආසාදිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන් ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණු වලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා,” ජනාධිපතිවරයා පැවසීය.

“කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි.

රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ අයගෙන් මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වාගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා.”

“ඒ නිසා අපි සියලුදෙනාම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රියාකළහොත් පලමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුන දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අළුත් තත්වයත් අපට පාලනය කර ගන්නට පුලුවන්,” යනුවෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

Similar Posts