බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OPT) ඉල්ලා සිටී.

තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර ඇත.

මහජන බැංකුව විසින් කිසිවිටකත් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකුකරණ කටයුතු සිදුකිරීමට බැංකුව වෙනුවෙන් තෙවැනි පාර්ශවයක් යොදවන්නේ නැති බව ද එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද, පරිශීලක නාම සහ OPT අංක වැනි පෞද්ගලික තොරතුරු වෙනත් තෙවැනි පාර්ශවයක් වෙත අනාවරණය නොකරන ලෙස ද මහජන බැංකුව ජනතාවට දැනුම් දෙයි.

Similar Posts