dailyreporter
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා යෑමට හැකි වූ බව ජනප්‍රවාදයේ සඳහන් විය. පේදුරුතුඩුව යනු ලංකාවේ එක් කෙළවරකි. මෙහි සුන්දරත්වය ගැන බොහෝ දෙනා කතා කළත් මුහුදු රස්සාව සිය ජීවනෝපාය කරගත් පේදුරුතුඩු වැසියෝ ගැන කතා කරනුයේ ඉතා සුළු පිරිසකි. ගැහැනු, පිරිමි කියා වෙනසකින් තොරව හරි හරියට වැඩ කරන ඔවුන් ඇත්තෙන්ම උත්සාහවන්තය. නොයෙක් බාධක මධ්‍යයේ ගලා යන ඔවුන්ගේ ජීවිත ඇත්තෙන්ම කර්කෂය. පේදුරුතුඩුවේ වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද ධීවර කර්මාන්තයයි. වසර ගණනාවක් තිස්සේ කරන නිසාවෙන් මුහුදු රස්සාව දැන් ඔවුන්ට හොඳින්ම හුරුපුරුදුය.
මාළු, කරවල වෙළෙඳාමෙන් ජීවත් වන ඔවුන්ගේ දවස ගෙවන්නේ හරිම සරල ලෙසිනි. උදෙන්ම මුහුදු රස්සාවට එන පිරිමි දහවල් වෙන්නට පෙර දැල් දමා නොගැඹුරු මුහුදේ මාළු අල්ලා පැමිණෙති. මෙම ප්‍රදේශයේ කාන්තාවන්ද දවසේ වැඩි වේලාවක් වෙන් කර ඇත්තේ තම ස්වාමියාගේ කටයුතු සඳහා සහාය දීමටය. ඒ අනුව කිසිදු භේදයකින් තොරව ඔවුහු එකාවන්ව සහයෝගයෙන් ධීවර කර්මාන්තයේ නියැළෙති. විකුණා අවසන් වූ පසුව ඉතිරි වූ මාළු කපා කරවල වශයෙන් වේලා ගැනීමට ඔවුහු පුරුදුව සිටිති. පේදුරුතුඩුවට යන ඕනෑම කෙනෙකුට මඩු, කීරමින්, බල ආදී කරවල කොටු දැකීමෙන් එය මැනවින් පැහැදිලි වෙයි. පිරිමින් මාළු දැල් දමන අතරේ කාන්තාවෝ කරවල වේලා ඔවුන්ට උදවු කරති.
පාසල නිමවීමෙන් පසු දරුවන් නැවත එන්නට පෙර කාන්තාවන් ඒ වැඩ කටයුතු අවසන් කර නැවත තම  නිවෙස් කරා ගොස් ඉවුම් පිහුම් කටයුතු කරන්නේ නිවසට පැමිණෙන දරුවන්ට කුමක් හෝ ආහාරයක් පිළියෙල කරන අටියෙනි. නමුත් පේදුරුතුඩුව ප්‍රදේශයේ කාන්තාවෝ එතනින් සිය කටයුතු නිමා නොකරති. නැවතත් නිවසේ වැඩ අවසන් කර පැමිණෙන ඔවුන් නිවසක හෝ කරවල වාඩියක පැය ගණනක් සේවය කරන්නේ එයින්ද කීයක් හෝ උපයා ගැනීමටය. ඇත්තෙන්ම මොවුහු දිරියවන්තය. මොවුන්ට රජයෙන් පවා කිසිදු සහනයක් නැතත් ඔවුහු එදාවේල හම්බ කරගෙන හෝ සතුටින් ජීවත් වෙති. ඇතැමෙක් වෙළෙඳාම් වැඩි කලට අතමිට සරු වෙන කොට රන් ආභරණ සකස් කොට තබා ගනිති. ඔවුන්ට අගහිඟකම් එන කාලයට බැංකු හිමියන් හෝ රජයේ ආයතන උපකාර නොවන බැවින් ඔවුන් ඒ දුෂ්කර වූ කාලය ගත කරන්නේ ඒ අභරණ උකස් කර ඉන් ලැබෙන මුදලිනි.

මුහුදු රස්සාව ගැන නිනව්වටම කීමේ හැකියාවක් ඔවුනට නොමැත. එක් දිනක් ලාභ ලැබු‍ණොත් ඇතැම් විට දින දෙක තුනක්ම පාඩු ලබති. එය එහි ස්වභාවයයි. ලාභ පාඩු කොතරම් ජීවිතයට ආවා ගියත් තම දරුවන්ගේ අනාගතය ගැන බොහෝ සැලසුම් ඔවුන්ට තිබේ. උරුමයක් ලෙසින් කිසිදාක නොදකින මේ මුහුදු රස්සාව තම දරුවන්ට හිමිකර දීමට ඔවුහු කිසිදිනෙක අපේක්ෂා නොකරති. තමා විඳින දුකින් කෙසේ හෝ මිදීමට ඔවුන්ට හැකිවන්නේ තම දරුවන් හොඳින් ඉගෙන ගත් විට පමණි. ඒ නිසා අගහිඟකම් කොපමණ තිබුණත් පේදුරුතුඩුවේ සිටින සෑම දරුවෙකුම පාහේ පාසල් යයි. ඇත්තෙන්ම එය අප අගය කළ යුතුය. නැගෙනහිරෙන් ඉර පායන්නට පෙර මුහුදු යන ඔවුන්ගේ ජීවිතවලට සතුටක් ලැබෙන්නේ අවරගිරින් ඉර බැස යන විට හොඳ මාළු අස්වැන්නක් තිබුණොහොත් පමණි. දුක සතුට මැද්දේ දෝලනය වන ඔවුහු තමා අදහන ආගම හා තමාගෙන් දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් හා වගකීම්ද නිසි ලෙස ඉටු කරති.
ada
සටහන – ෂෙහානි දිල්රුක්ෂිකා/සරස‍ි නෙත්මිණි

More Stories