නිවුස් රූම් තුළ නිහඬ අපරාධ

“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…”

ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි.

“ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න බැරිද අහනවා,”

මේ වන විට ඇය රැකියාව පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයට ද සමු දී ඇත. සිය ප්‍රධානියාගෙන් එල්ල වූ ලිංගික හිංසා (Sexual harassment) ඉදිරියේ තමාට රැකියාව පමණක් නොව “මාධ්‍ය ක්ෂේත්‍රයම එපා” වූ බව ඇය කියා සිටියි.

Sexual-harassment

ලිංගික හිංසා, මාධ්‍ය ආයතන තුළ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන සහ ක්ෂේත්‍ර තුළ දැකිය හැක. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූවක් ද නොවේ. වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් යැයි සැලකෙන රටවල ස්ත්‍රීන්ම පමණක් නොවේ: සංවර්ධිත රටවල වෙසෙන කාන්තාවෝ ද බොහෝ විට එවැනි හිරිහැරවලට ලක්වෙති.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ තමාට අත්විඳීමට සිදු වූ ලිංගික අතවර සහ හිංසා පිළිබඳ හෙළි කළ #MeToo ‘විරෝධතා ව්‍යාපාරය’ ඊට හොඳම උදාහරණයයි.

ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත (Sarah Kellapatha) ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

තමන් පුවත්පතක සේවය කරන සමයේ එහි ම සේවය කළ සගයෙකු, තමන් දූෂණය කරන බවට තර්ජනය කළේ යැයි ඇය පවසා තිබිණි.

ඒ සමග තවත් මාධ්‍යවේදිනියන් ගණනාවක් තමාට අත්විඳීමට සිදු වූ ඒ හා සමාන අත්දැකීම් හෙළි කරමින් ඉදිරියට පැමිණියහ.

ලිංගික හිංසනය පිළිබඳ පෞද්ගලික අත්දැකීම් පවසමින් එලෙස ඉදිරියට ආ පිරිසෙන් අති බහුතරය ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදිනියන්ය.

“ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදු වී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුන ද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයක් ඇති බව” ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

“ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස,” ඉල්ලා එම සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක ඒ බව සඳහන් විය.

“කුවේණිට ගල් ගහලා මරුවා වගේ, ගැහැණුන්ගේ චරිතවලට, ගැහැණුන්ගේ ගෞරවයට ගල් ගහලා මරණ සමාජයක් තාම තියනවා නම් ඒක වෙනස් කරන අභියෝගය කාන්තාවන්ම භාර ගත යුතුයි.”

ලිංගික හිංසා පිළිබඳ අත්දැකීම් වරින්වර සාකච්ඡාවට බඳුන් වුවත් ඉන් ඔබ්බට ගොස් එවැනි හිංසා අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර මොනවාදැයි යන්න සාකච්ඡාවට බඳුන් නොවන බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා, නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි.

දකුණු ආසියානු ජනමාධ්‍යවේදිනියන්ගේ සංගමයේ ශ්‍රී ලංකා කලාපයේ සම කැඳවුම්කරු ලෙස ද කටයුතු කරන ඇය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (IFJ) විසින් 2015 වසරේදී ආසියා ශාන්තිකර කලාපයේ මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සකසන ලද වාර්තාවේ පර්යේෂිකාවකි.

එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල #MeToo ‘විරෝධතා ව්‍යාපාරය’ ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොවුනේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළත් එම විරෝධය සමාජයක් තුළ ස්වභාවයෙන් මතු විය යුතු බව ඇය පෙන්වා දෙයි.

BBC උපුටාගැනීමක්

Related posts