ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සහ වගකීම් විරහිත පිතිකරණ විලාසය ප්‍රවීණ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ.

හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර පවසන්නේ කණ්ඩායමේ තාක්ෂණය, සූදානම සහ තීරණ ගැනීම ඉතා දුර්වල මට්ටමක පැවති බවය.

එංගලන්ත තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) ප්‍රකාශ කළේය.

මේ අතර, අද දිනය සඳහා තරගය ආරම්භ වනවිට සිය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 320ක් රැස් කරගනිමින් ඉතා ප්‍රබල ස්ථානයක පසුවූ එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් අද උදෑසන ලකුණු 421කට දැවී ගියේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් රැස් කළේ සිය ටෙස්ට් දිවියේ සිව්වන ද්විත්ව ශතකය වාර්තා කරමිනි.

පන්දු යැවීමේදී ඩිල්රුවන් පෙරේරා කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් දවාගත්තේ ය.

අනතුරුව ලකුණු 286 ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිළ අද දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 156ක් රැස් කරගෙන සිටි අතර ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාව තවත් ලකුණු 130ක් රැස් කරගත යුතුවෙයි.

මේ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් වගකීම් විරහිත පිතිකරණයක නිරත වෙමින් පළමු ඉනිමේදී පන්දුවාර 46ක් තුළ ලකුණු 135කට දැවී ගියේ ගාල්ල ජාත්‍යන්තර පිටියේ වසර 23ක ටෙස්ට් ඉතිහාසයේ පළමු ඉනිමේදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.

පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය බො‍හෝ දෙනාගේ විවේචනයට ලක්වූ අතර එංගලන්තයේ SKY SPORTS නාලිකාවේ වැඩසටහනකදී හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් සහ හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන කුමාර් සංගක්කාර ඒ පිළිබඳව අදහස් දැක්විය.

Similar Posts