ජනපතිටත් අමෙරිකාව තහනම් වෙයිද ?

ඩයස්පෝරාවේ අදහස පමණක් විමසා ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් පවසයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් නිකුත් කළ නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් මෙම අදහස් පළ කළා.

මානව හිමිකම් පිළිබඳ දැඩිව හඬනගන ඔවුන්, එල්ටීටීඊ ය සමග පැවති මානුෂීය ක්‍රියාදාමයේදී සිංහල භටයන් ඝාතනය වීම පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඉදිරියේදීත් මෙවැනි තර්ජන ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බැවින්, ජාති භේද, ආගම් බේද, පක්ෂ පාට නොසලකා අමෙරිකාවේ මෙම ක්‍රියාපිළිවෙතට එරෙහිව නැගී සිටිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රටට අහිතකර එම්.සී.සී. වැනි ගිවිසුම්වලට ශ්‍රී ලාංකිකයන් බලහත්කාරයෙන් පෙළඹවීම සඳහා මෙවැනි තහනම් කිරීම් සිදුකරන්නේද යන්න සැක මතු වන බව අස්ගිරි මහා පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

Related posts