නාකින්ට මැරෙන්න අරින ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය

naki

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 23ක් වාර්තා විය. ඒ අතරින් 18ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි. දිගින් දිගටම සිදුවන කොවිඩ් මරණ විශ්ලේෂණය කර බැලූ විට පැහැදිලිව දැකිය හැකි කාරණය වන්නේ මියයන්නේ මහලු පුද්ගලයන් බවයි.

අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව අනුමත කරන ලද “COVID-19 ජාතික එන්නත්කරණ සැලැස්ම – 2021″ අනුව ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතව තිබුණේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලිසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා/ආයතනවල ඉහළ අවදානම් කණ්ඩායම් බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ උපුටා දක්වමින් Media.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.

සමාජ සම්ප්‍රේෂණයක් රටතුළ පවතින අවස්ථාවක එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන මාර්ගෝපදේශ අනුව වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණය වීමට වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින් හට එන්නත ලබාදීමෙන් පසු එම රට විසින් තීරණය කරනු ලබන වයස් කාණ්ඩ අනුව වැඩි අවදානමක් සහිත වැඩිහිටියන්ට එන්නත ලබාදිය යුතුය.

එහෙත්, තම රට තුළ කොවිඩ්-19 සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී ඇති බව නිල වශයෙන් පිළිගන්නේ නැත. එසේම, කොවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාලේඛන ද ඒ අන්දමින්ම විශ්වාස කළ නොහැකි තත්වයක තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ එන්නත ලබාදෙන්නේ වයස අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයටයි. හැටට වැඩි පිරිස්වලට එන්නත ලබාදෙන්නේ නැත. එසේම, එන්නත ලබාදීමේ කිසිදු විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැත.

ඊයේ හා පෙරේදා දිනවල මතුගම ශ්‍රවණාගාරයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අවිධිමත් ආකාරය පිළිබඳ කරන ලද නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ එය අධික ලෙස දේශපාලනීකරණය හා නිලධාරිකරණය වී තිබෙන බවයි. දේශපාලකයන්ටත්, නිලධාරීන්ටත් ඉතා පැහැදිලිව හොර පාරෙන් එන්නත ලබාගත හැකිය.

වෙනත් ඇති හැකි අයට ද පෝලිම පැන එන්නත ලබාගැනීමේ හැකියාව තිබේ. පෝලිමේ එන්නත ලබාදෙන්නේ කුමන පදනමින්දැයි පැහැදිලි නැත. ඇතැම් ග්‍රාමසේවා වසම්වලට එන්නත ලබාදෙන බවක් කියැවේ. එහෙත්, ඒ ග්‍රාමසේවා වසම්වල ජනතාවට ඒ බව සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාමසේවා නිලධාරීන් මගින් මෙම එන්නත්කරන වැඩසටහන මැනැවින් කළමනාකරණය කළ හැකි වුව ද එවැන්නක් ක්‍රියාත්මක වන්නේ නැත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට එන්නත ලබාදිය හැකි වුවත්, ඔවුන්ට එය ලබාදෙන ආකාරය පරිපාලනය කිරීමේ හැකියාවක් නැත.

මේ අනුව, සිදුවී තිබෙන්නේ එන්නත ලබාදෙන හැම තැනකම ඉතාම අවදානම් තත්වයක් නිර්මාණය වීමයි. එන්නත ලබාගැනීම වෙනුවෙන් ඇතැම් තැන්වල ජනතාව පෝලිම්වලට එකතු වී තිබෙන්නේ පාන්දර දෙක-තුන වැනි වේලාවන්ටයි.

එන්නත ලබාදෙන තැන්වල කිසිදු නිරෝධායන නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත. සමාජ පරතරයන් නම් ඇත්තේම නැත. ආරක්ෂක අංශවලට කළ හැකි කිසිවක් නැත. මෙමගින් එන්නත ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.

අජිත් පැරකුම් ජයසිංහ

praja

Related posts