චීනයෙන් ලංකා කුමරියන් මතු වීම බිහිසුණු දේශපාලන ඛේදවාචකයක් ? 

chinaprince
2021 මැයි 26 වන දින චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” නම් තැනැත්තියක සහභාගී වූ බව එහි නිල ෆේස් බුක් අඩවියේ සඳහන් ව ඇත.
ෂු ෂී යින් නමැත්තියක වන ඇය වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන හෙවත් “පැටිකිරිය” ඔහුට විස්තර කළ බව ද එහි සඳහන් ය.  එම ෆේස් බුක් අඩවියේ සඳහන් අන්දමට ඇය කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන 19 වන පරම්පරාවට අයත් ය.
මෙම හමුවේ දී ඇය තම ලංකා රාජකීය මුතුන්මිත්තන්ගේ භූමදාන භූමියේ ඡායාරූප පෙන්වූ බව ද එහි වැඩිදුරටත් සඳහන් ය. චීනයේ ප්‍රසිද්ධියට පත් ෂු කුමරිය, දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයන බව ද සඳහන් එම ෆේස්බුක් සටහනේ  මෙසේ ද දැක්වෙයි.

“2009 දී ෂු ෂී යින් කුමරියගේ මඟ පෙන්වීම යටතේ, කුමරිය උපන් නගරය වන චුඈන්ජෝවු නගරය කොළඹ නගරය සමඟ සහෝදර නගර සම්බන්ධතාවයකට එළඹුණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ චුඈන්ජෝවු හි ලීචෙන්ග් දිස්ත්‍රික්කය ද 2017 දී සහෝදර නගර බවට පත්විය. තානාපති ආචාර්ය පාලිත කොහොන කුමරිය සාදරයෙන් පිළිගනිමින් පවසා සිටියේ, සහශ්‍ර ගණනාවක් පුරා පැවත එන ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සමීප පුද්ගල සබඳතා සඳහා ඇය ජීවමාන ආදර්ශයක් බවයි. දෙරට අතර පුද්ගල සබඳතා වැඩිදියුණු කිරීමට තවදුරටත් ක්‍රියාශීලීව කටයුතු කරන මෙන් ආචාර්ය කොහොන කුමරියගෙන් ඉල්ලා සිටියේ ය”(උපුටා ගැනීම අවසන්)

චීනය විසින් ශ්‍රී ලංකාව එල්ල කොට සිදු කරනු ලබන ආර්ථික මරු ප්‍රහාර පිළිබඳ පිඹුරු පත් සැකසී හමාර වූ පසුබිමක  ලංකා කුමරිය කුමරිය නමින් මතු වූ මෙම “අවතාරය” ගැන සුළුවෙන් තැකීමට නොපුළුවන. එමෙන්ම මෙය ශ්‍රී ලංකා රජය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති වරයා එක්ව මවා පාන සුකුරුත්තමක් ද විය හැක.

“අනේ ඉතින් තමන් ගේ නෑදෑයන්ට දෙන දෙයක් විකිණීමක් වෙන්නේ කොහොමද ?”

යනුවෙන් ශ්‍රී ලාංකිකයන් සිතන්නට පටන් ගත හොත් “බබීව දී බබීගේ අම්මාවවත් පහසුවෙම දී ගන්නට තමන්ට හැකියැ”යි රාජපක්ෂ වරුන්  සිතනවා විය හැක. නමුදු ලක් ඉතිහාසයේ පැහැදිලි සඳහනක් නැති මෙම චීන ශ්‍රී ලංකා පැරණි නෑකම පිළිබඳ අපූරු විස්තරයක් රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයකු ද වන ඉතිහාස ගවේෂක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලියූ “ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම”නම් ගවේෂණාතමක කෘතියේ සඳහන්ය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය”නමින් පැමිණි මෙම අවතාරය හුදු රත්තරන් වශයෙන් අපට ඒත්තු ගන්වන්නට යන මායාකාරී ආලවට්ටමක් බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සිය කෘතියෙන් දක්වා ඇති මෙම විස්තරයෙන් මනාව සනාථ වෙයි.

“මෙම ග්‍රන්ථය ලිවීම සඳහා කරුණු එක්රැස් කරන කාලයේ දී මා හට සවැනි පැරකුම්බා රජුගේ ඥාතීන් යැයි ප්‍රකාශ කරන පිරිසක් අද ‘චීනයේ වාසය කරන බවත්, මොවුන් මීට කලකට ඉහත ලංකාවට පැමිණි බවත් දැනගැනීමට ලැබුණි. මේ පිළිබඳව අන්තර්ජාලයෙහි අඩංගු තොරතුරු පරීක්‍ෂා කිරීමේදී වැටහී ගියේ වර්ෂ 2002 දී සවැනි පැරකුම්බා රජුගේ පරපුරෙන් පැවැත එන්නේ යැයි පවසන පවුලක් ලංකාවට පැමිණ විවිධ දේශපාලනඥයින් සහ නායක හිමිවරුන් මුණගැසුණු බවත්, ඔවුන් පිළිබඳ ලිපි කිහිපයක් ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක පළව තිබූ බවත් ය. ඔවුන් හෙලිකළ කරුණු පිළිබඳව පරස්පර විරෝධී අදහස් සහ ඔවුන් කළ ප්‍රකාශයන් විවිධ අයුරින් වාර්තා වී තිබුණ නිසා මෙම පවුල මුණ ගැසී සියළු තොරතුරු දැනගැනීමේ කුතුහලයක් මා තුළ ඇති විය. අන්තර්ජාලය වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේ දී වැටහී ගිය කරුණක් වූයේ මෙම පවුල ඇත්ත වශයෙන්ම ජීවත්වන්නේ චීනයේ නොව චීනය අසල පිහිටි ‘තායිවානයේ බවයි.

මෙම තායිවානය මෑතක් දක්වා ‘චීනයේ කොටසක්ව පැවතිණි. චීනය සමාජවාදී කොමියුනිස්ට් රාජ්‍යයක් වූ පසුව එයින් වෙන්වූ එම රට, චියැං තායි ෂෙක් නම් චීන නායකයාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1947 දී තායිවානය නම් වූ රාජ්‍යය පිහිටුවා ගන්නා ලදී. වර්ග කි. මී. 35,883 ක විශාලත්වයකින් යුත් දිවයිනක් වන තායිවානයේ ජනගහනය මිලියන 23 කි. තායිපෙ එහි අගනුවරයි. එහි ජනගහනයෙන් 98% ක් චීන ජාතිකයන් ය. තායිවාන් දිවයින ‘චීනයේ ෆියුජියාන් ප්‍රාන්තයෙන් වෙන්ව ඇත්තේ කි. මී. 180 ක මුහුදු තීරයකිනි.

එය චීනයේ කොටසක්ව පැවති යුගයේ දී චීනයේ පදිංචිව සිටි සවැනි පැරකුම්බා රජුගෙන් පැවැත එන්නන් පසුව තායිවානයේ පදිංචියට ගොස් ඇත. වැඩිදුරටත් අන්තර්ජාලය පරීක්‍ෂා කිරීමේ දී වැටහී ගිය කරුණක් වූයේ මෙම පවුල වාසය කරන්නේ ‘තායිවානය’ හි ‘ෂැන්ගුවා’ (Shangua) ෂන්ගුආ  නමැති ප්‍රාන්තයේ බවයි.

ඒ අතරතුර ‘ආසියා පැසිෆික් අසාත්මිකතා පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ සඳහා තායිවානයට යෑමට අවස්ථාවක් ලැබූ මා ප්‍රීතියෙන් ඉපිළ ගියේ මෙම සම්මන්ත්‍රණය අතරතුර එක් දිනක් හෝ මිඩංගු කොට මෙම පවුල මුණගැසීමට හැකිවේ යැයි මා විශ්වාස කළ නිසා ය. එහි යාමට මාස කිහිපයකට ප්‍රථම වෛද්‍ය සම්මන්ත්‍රණයක් සඳහා තායිලන්තයට ගිය මා හට ඉන්පසුව ‘තායිවානයේ හි පැවැත්වෙන වෛද්‍ය සම්මන්ත්‍රණයේ සංවිධායකවරියන් පිරිසක් මුණගැසුණි.

ඔවුන්හට මම තායිවානයේ පැවැත්වෙන වෛද්‍ය සම්මන්ත්‍රණයට පැමිණෙන බවත්, එසේ පැමිණීමේ තවත් එක් අරමුණක් වනුයේ එම සම්මන්ත්‍රණය අතරතුර ලංකාවේ සිංහල රජ පවුලකින් පැවත එන අය එහි සිටින නිසා ඔවුන් මුණ ගැසීමට බවත් පැවසුවෙමි.
එසේම, මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එම පිරිස ෂැන්ගුවා නමැති ප්‍රාන්තයේ වාසය කරන බව මා දන්නා නමුත්, ඔවුන් සිටින ස්ථානයේ ලිපිනය හෝ ඔවුන්ගේ දුරකථන අංකය හෝ මා සතුව නොමැති නිසා ඒවා සොයා දීමට උදවුකරන ලෙසයි. මා කළ එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ එක් සංවිධායකවරියක් ඊට පසු දිනම ෂැන්ගුවා  ප්‍රාන්තයේ මෙම පවුල වාසය කරන ස්ථානයෙහි ලිපිනයත්, ඔවුන්ගේ දුරකථන අංකයත් ලබාදෙන ලදී.

නැවත ශ්‍රී ලංකාවට පැමිණි මම එම නිවසට දුරකථන ඇමතුමක් ලබාගතිමි. ඔවුන්ට පළමුවෙන්ම මා පවසා සිටියේ ශ්‍රී ලංකාවෙන් කතාකරන බවයි. එවිට දුරකථනයේ අනෙක් පසින්  පිරිමි පුද්ගලයෙක් දුරකථනයෙන් මා ඇමතීය. මා ඔහුගෙන් පළමුව ඉංග්‍රීසි බසින් විමසා සිටියේ ‘ඔබ හට ඉංග්‍රීසියෙන් කතාකළ හැකිදැයි’ කියා ය. ඔහු එවිට මාහට පැවසුයේ ‘පොඩ්ඩ පොඩ්ඩ සිංහල පුළුවන්’ කියා ය.

එසේ ඔහු සිංහලෙන් පිළිතුරු දීම ගැන පුදුමයට පත් වූ මා ඉන්පසුව සිංහලෙන් ඔහු සමඟ අදහස් හුවමාරුකර ගැනීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. ඉන් අනතුරුව මා ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු සමඟ අදහස් හුවමාරු කරගත් නමුත්, ඔහුගේ ඉංග්‍රීසි ව්‍යවහාරය ද ව්‍යක්ත නොවූ නිසා ඔහුගේ විද්‍යුත් ලිපිනය ලබාගතිමි.

මා වෛද්‍යවරයකු බවත්, ලංකාවේ සවැනි පැරකුම්බා රජු පිළිබඳව ග්‍රන්ථයක් ලියන බවත්, තායිවානයේ තායිපෙ අගනුවර පැවතෙන සම්මන්ත්‍රණයක් අතරතුර නිවසට පැමිණ ඔවුන් මුණගැසීමට සූදානම් බවත්, ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් විද්‍යුත් ලිපියකින් ඔවුන්ට දැනුම් දුනිමි. එයට ඉතා සතුටින් ප්‍රතිචාර දැක්වූ ‘ෂුවා-ෂි’ (Sucha-si) උච-සී නමැති එම පවුලේ සාමාජිකයා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස මා හට ආරාධනා කළේ ය.

2013 නොවැම්බර් මස 21 දින තායිපෙ අගනුවරට පැමිණි මම ඊට දෙදිනකට පසුව පෙර එකඟ වූ වේලාවකට අනුව තායිපෙ අගනුවර සිට ‘ෂැන්ගුවා’ ප්‍රාන්තයේ ‘ෂැන්ගුවා’ නගරයට කි. මී. 180ක පමණ වූ දුරක් දුම්රියෙන් ගමන් කළෙමි.

මා පැමිණෙන දුම්රිය ෂැන්ගුවා නගරයට ළඟාවෙන වේලාව දැන සිටි ඔවුහු දුම්රිය පොළට පැමිණ කලක සිට නොදුටු ඥාතියකු මුණගැසෙන්නා සේ ඉතා සතුටින් මා පිළිගත්හ. මා පිළිගැනීමට පැමිණ සිටියේ ‘සුවා-ෂි’ මහතාත්, ඔහුගේ බිරිඳත්, සතර හැවිරිදි පුත්‍රයාත් ය. ඔවුන්ගේ නිවස පිහිටි ‘හුවාටන්’ (Huatan) නමැති උප නගරයට ෂැන්ගුවා සිට කි. මී. 5ක පමණ වූ දුර මා ගියේ ඔවුන්ගේ මෝටර් රථයෙනි.

ඉදිරිපස වීදුරුවලින් ආවරණය කරන ලද එම නිවසට ඇතුළු වූ සැනින් මම පුදුමයට පත්වීමි. එම සාලයේ ශ්‍රී ලංකාවෙන් ගෙන ආ විවිධ විසිතුරු භාණ්ඩ, ශ්‍රී ලංකාවේ දර්ශන සහිත රූප සහ සිංහ කොඩි තිබුණි.

එසේම, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි විට නැවතී සිටි ස්ථානයන් ද විවිධ දේශපාලනඥයින් සහ ආගමික නායකයන් සමඟ ගන්නා ලද ඡායාරූප ද මම දුටුවෙමි. එහි තිබූ අනෙකුත් ඡායාරූපවලින් පෙනී ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන් හා නාහිමිවරුන් ඔවුන්ගේ නිවසට මීට ප්‍රථම පැමිණ ඇති බවයි. තමන් බෞද්ධ ආගමිකයන් බවත්, ශ්‍රී ලංකාවෙන් පැමිණි අවසාන අමුත්තා තම නිවසට පැමිණියේ මීට වසර තුනකට පෙර බවත් ඔවුහු පැවසූහ.

මා සුහදව පිළිගත් එම පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ ‘ෂුවා-ෂි’ මහතාගේ පියාවන ‘ෂි-ලායි-ෆා’ (Shi-lai-fa) මහතා ඔවුන්ගේ සාලයේ තිබූ මේසයක ලාච්චුවක් විවෘත කර පැරණි පොතක් මා හට පෙන්වීය. එය ඔවුන්ගේ පරම්පරාව පිළිබඳ විස්තර සඳහන් පොතක් වූ අතර, එහි තම ‘ලංකාවේ (ෂි රට) සිට පැමිණි ‘ෂී’ පරපුරෙ හි විස්තරය’යි. ඒ වන විට මා ‘සවැනි පැරකුම්බා’ රජු පිළිබඳව ග්‍රන්ථයක් ලියමින් සිටින බව ඔවුන්ට දැනුම් දී තිබූ නිසා ඔවුන් සමඟ කරන සාකච්ඡාව පටිගත කිරීම සඳහා අවසර ලබාගන්නා ලදී.

ෂි-ලායි-ෆා මහතාට ඉංග්‍රීසි බස නොවැටහුණු අතර, ඔහුගේ පුත්‍ර ‘ෂුවා-ෂි’ මහතා හට ද ඇත්තේ අල්ප ඉංග්‍රීසි දැනුමකි. නමුදු ‘ෂුවා-ෂි’ මහතාගේ බිරිඳට ඉංග්‍රීසි බසින් මනාව කථා කිරීමට හැකි නිසා ඇය අපගේ සාකච්ඡාවේ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කරන ලදී.

මා ‘ෂි-ලායි-ෆා’ මහතාගෙන් ඇසූ පළමු ප්‍රශ්නය වූයේ එම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ලංකාවෙන් ඔවුන්ගේ ප්‍රථම මුතුන්මිත්තා ‘චීනය’ට පැමිණියේ කුමන වර්ෂයේ දී ද යන්නයි. එම පොත පරීක්‍ෂා කළ ‘ෂි-ලායි-ෆායි’ මහතා මා හට පවසා සිටියේ එය ක්‍රි. ව. 1459 දී බවයි. එම වර්ෂය ඇසූ මා පුදුමයට පත් වූයේ ‘මින්-ෂූ- ලු’ ‘චීන’ රාජ සභා වාර්තා අනුව ලංකාවෙන් ක්‍රි.ව. 1459 දී දූතයන් කිහිපදෙනකු ‘චීන’ රාජසභාවට පැමිණ තිබූ නිසා ය.

ඉන්පසුව මා ඔහුගෙන් අසා සිටියේ “ඔබ ‘මින්-ෂි-ලු’ වාර්තා ගැන අසා තිබෙනවාද? යන්නයි. මඳක් කල්පනා කළ ඔහු තමාට ඒ ගැන අවබෝධයක් නොමැති බව මා හට පවසන ලදී. එවිට මම, ඔහුට ‘මින්-ෂි-ලු’ යනු ඒ දිනවල පැවති ‘චීන’ රාජ සභා වාර්තාවන් බවත්, එම වාර්තාවලට අනුව ක්‍රි.ව. 1459 දී ලංකාවේ සිට චීනයට දූතයන් කිහිපදෙනකු පැමිණ ඇති බවත් පැවසුවෙමි. මාගේ එම ප්‍රකාශයෙන් ‘ෂි-ලායි-ෆා’ මහතා ඉමහත් පුදුමයට පත්වූයේ එය මෙතෙක් කල් ඔහු නොදැන සිටි ප්‍රවෘත්තියක් වීම නිසා ය.

ඉන් අනතුරුව මම, ‘ලංකාවෙන් පැමිණි ඔබගේ මුතුන්මිත්තා පැහැදිලිවම රජ කුමරෙක් ද?’ යි ඇසුවෙමි. එවිට ‘ෂි-ලායි-ෆා’ මහතා මා හට කියා සිටියේ ඔහු එවකට ලංකාවේ සිටි රජුගේ පුතා බව මෙම පරම්පරා පුස්තකයෙහි සඳහන් වන බවයි. එවකට ලංකාවේ සිටි රජු සවැනි පැරකුම්බා රජු බවත්, එම රජුට පුතුන් නොසිටි බවත්, සිටියේ එක් දියණියක් බවත්, නමුත් එම රජු පුත් කුමරුන් තිදෙනකු තම දරුකමට හදාගත් බවත් මම පැවසුවෙමි.

එසේම, මෙම කුමරුන් රාජවංශික මවුවරුන්ගෙන් පැවත ආ බවත්, බොහෝ විට ඔවුන් සවැනි පැරකුම්බා රජුගේ ඥාති දරුවන් වන්නට ඇති බවත් විස්තර කළෙමි. මෙය ඇසූ ඔවුන් කනස්සල්ලට පත් නොවූයේ චීන සම්ප්‍රදාය අනුව තමන් හදාවඩා ගන්නා දරුවා තමන්ට ඥාති සම්බන්ධතාවයක් ඇති නම්, එම දරුවා ඔහුගේම දරුවකු ලෙස සලකන නිසා විය හැකිය.

මෙම පුත් කුමරුවන් තිදෙනාගෙන් සපුමල් කුමරුන් සහ අඹුළුගල කුඩා කුමරුන් පසු කලක ජයවර්ධනපුර කෝට්ටේ රජකමට පත් වූ නමුත්, ‘කෝටෝ’ නමැති පෘතුගීසි ඉතිහාසඥයා සඳහන් කරන තෙවන කුමරා ගැන කිසිම සටහනක් ඉතිහාස ග්‍රන්ථ වල නොමැති බව ද මම ඔවුන්හට පැහැදිලි කර දුනිමි.

තරුණවියේ දී එක් අයෙක් වූ සපුමල් කුමරා යාපනයට ගිය අතර, අනෙක් කුමරුන් අඹුළුගල කුමරා ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹුළුගල සිටි බව ද, කිසිම සඳහනක් නොවන තෙවන කුමරුන් ගැන උපකල්පනය කළ හැක්කේ ඔහු ක්‍රි.ව. 1459 දී සවැනි පැරකුම්බා රජුගේ දූතයා ලෙස චීනය ට ගිය බවකැයි මම කියා සිටියෙමි.

පසුකලක ‘සවැනි බුවනකබාහු’ ලෙස කෝට්ටේ බලයට පත් වූ සපුමල් කුමරු විසින් පළකරන ලද දැදිගම ශිලා ලේඛනයේ ද ජයවීර පරාක්‍රමබාහු ලෙස කෝට්ටේ බලයට පත් වූ අඹුළුගල කුමරා විසින් පළකරන ලද කුඩුමිරිස්ස ශිලා ලේඛනයේ ද සවැනි පැරකුම්බා රජු හඳුන්වන්නේ තමන්ගේ පිය රජු ලෙස ය. එසේ නම් චීනයට ගිය සවැනි පැරකුම්බා රජු හදාගත් තෙවන කුමරා ද ඔහු තම පියරජු ලෙස සැලකීම පුදුමයට කරුණක් නොවේ යැයි මා හට වැටහිණ.

ඉන්පසුව මා ‘ෂි-ලායි-ෆා’ මහතාගෙන් ඇසුවේ එසේ චීනයට පැමිණියේ යැයි සඳහන් කුමරාගේ නම කුමක්ද? කියා ය. මා විමතියට පත් කරමින් ඔහු පවසා සිටියේ එම කුමරාගේ නම ‘බා-ලේ-නා’ (Ba-lai-na) බවයි. ක්‍රි.ව. 1459 දී ‘චීනය’ ට ගිය ‘බා-ලේ-නා’ සහ ක්‍රි.ව. 1412 දී ‘චීන’ අධිරාජයා විසින් ලංකාවේ රජකමට නම් කළ ‘යේ-බා-නේ-නා’ (‍Ye-ba-nai-na)  යන නම් දෙක අතර ඇති සමානකම අති මහත් ය.

මේ ‘බා-ලේ-නා’ නම ‘සවැනි පැරකුම්බා’ රජුගේ පරම්පරා නාමය වූ ‘ජය-මහ-ලේ-නා’ යන්න ‘චීන’ ඌරුවට ලිවීමේ දී ‘යේ-බා-නේ-නා’ මෙන් වූ තවත් විකෘතියක් ලෙස වටහා ගැනීම මා පුදුමයට පත් කළේය. සවැනි පැරකුම්බා රජු තමන් හදාගත් ඥාති පුත්‍රයන්ට ජයමහලේන නාමය භාවිත කිරීමට ඉඩහැරීම ස්වාභාවික ය.

මෙම විග්‍රහයේදී මතුවිය හැකි ගැටළු දෙකක් මා තුළ පහළ විය. එනම්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ද සවැනි පැරකුම්බා රජු විසින් හදාගත් පුත්‍රයකු බවට ඇති මතය නිසා මෙම තෙවන කුමරා රාහුල හිමියන් විය හැකි බවට මතුවිය හැකි තර්කයයි. එසේ නමුත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කුඩාකලම මහණ වූ අතර, එසේ මහණව සිටින අතරම සවැනි පැරකුම්බා’ රජු ඔහු පුත්‍ර සෙනෙහයෙන් ඇතිකළ බවට ගිරා සංදේශයෙහි පැහැදිලිවම දැක්වෙයි.; එසේ නමුත් ‘කෝටෝ’ සඳහන් කරන තෙවන කුමරා රජ කුමරකු ලෙසම වියපත් වූ බව පැහැදිලි ය.

එසේම, ‘ෂි-ලායි-ෆා’ මහතා ක්‍රි.ව. 1459 දී චීනයට පැමිණි තම මුතුන්මිත්තාගේ නම ‘බා-ලේ-නා’ යැයි සඳහන් කරන නමුත් ‘මින්-ෂි-ලූ’ රාජ සභා වාර්තාවන් හි ඔහුගේ නම සඳහන් වන්නේ ‘යා-ලි-ගෙ-ෆො-යින්ග් (‍Ya-lie-ge-fo-ying) බවක් පෙනී යයි.

ඒ කෙසේ වෙතත් ‘ෂි-ලායි-ෆා’ මහතා සතුව ඇති පරම්පරා පුස්තකය අනුව ‘චීනය’ ට පැමිණි ‘බා-ලේ-නා’ ට ‘චීන’ අධිරාජයා විසින් ‘ෂි’ (Shi)  යන ගෞරව නාමයක් ලබා දී ඇත. ‘ෂි’ යන නම තබා ඇත්තේ ‘ෂි ලෑන්’ ලෙස ‘චීන’ ජාතිකයන් විසින් හැඳින්වූ ‘ශ්‍රී ලංකාව’ හි සිට පැමිණි කුමරා වූ බැවිනි. එසේ ‘ෂි’ නම් ලද ‘ෂි-ලේ-නා’ දූතයා ඉන් අනතුරුව කිසි දිනක ‘ශ්‍රී ලංකාවට’ නොගිය බවත්, තමන් එම ‘ෂි’ කුමරාගේ පරපුරෙන් පැවත එන බවත් ‘ෂි-ලායි-ෆායි’ මහතා මා හට පවසා සිටියේ ය.

ෆියුජියාන්’ හි ‘ගියැන්ජෝ’ (Chyuanjou) නම් නගරයෙහි අද දින විදේශීය සබඳතාවයන් හි ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයක් ඉදිකර ඇත. චීනය ජාත්‍යන්තර සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය 15 වන ශත වර්ෂයේ දී ‘ෆියුජියාන්’ ප්‍රාන්තයත් ‘ගියැන්ජෝ’ නම් නගරයත් විදේශීය වෙළෙඳුන්ගෙන් පිරීගිය අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය. මෙම ප්‍රාන්තයේ පදිංචි වූ ‘බා-ලේ-නා’ (ෂි කුමරා) එහි සිටි අරාබි පර්සියානු සම්භවයක් ඇති කාන්තාවක විවාහ කරගත් අතර, එයින් ලැබුණු දරු පරපුර පිළිබඳ විස්තර මෙම පරම්පරා පුස්තකයෙහි ඇත. ඉන් අනතුරුව දිගින් දිගටම චීන සම්මිශ්‍රණයන්ගෙන් පැවත ආ ඔවුන්ගේ ස්වරූපය මුළුමනින්ම චීන ජාතිකයන් මෙනි. එසේ නමුත් තමන්ට ශ්‍රී ලාංකිකයන්ට සමාන දේහ ලක්‍ෂණ කිහිපයක් ඇති බව ‘ෂි-ලායි-ෆා’ මහතා පවසයි. තමන්ගේ නාසය සහ දත් පිහිටා ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් බව ඔහු සඳහන් කරයි.

මෙම ෆියුජියාන් ප්‍රාන්තයේ මිටියාවතක ‘ෂි’ පවුලේ සොහොන් කොත් රාශියක් ඇත. ෆියුජියාන් ප්‍රාන්තයේ දිගු කලක් වාසය කළ බා ලේ නා පරපුරෙන් පැවත ආ අය චීන අධිරාජයාගේ විවිධ වැදගත් රාජකාරි කටයුතුවල දී නියුතු වූහ. මෙසේ ‘චීනයේ හි වාසය කළ ඔවුන්ගේ පරපුරෙහි 15 වෙනියා 19 වන ශත වර්ෂයේ දී චීන අධිරාජයාට සේවය කළ අතර, ඔහු චීන අධිරාජයාට අයත් භාණ්ඩ රැගෙන යමින් සිටිය දී එම භාණ්ඩ සොරුන් පිරිසක් විසින් පැහැරගන්නා ලදී. මෙම සොරකම ගැන තමා සැකයට භාජනය වේයැයි බියෙන් ඔහු චීනය අතහැර එවකට චීන අධිරාජ්‍යයට අයත් දූපතක් වූ ‘තායිවානය’ හි පදිංචියට ගියේය.

ඔවුන්ගෙන් පැවත එන පරපුරේ 19 වෙනි පරම්පරාවේ පුරුක ‘ෂි-ලායි-ෆා’ මහතා ය. ඔහුට සොහොයුරියන් කිහිප දෙනෙකු සිටියි. මෙම පවුලේ ජේ්‍යෂ්ඨතම පිරිමි සාමාජිකයා ‘ෂි-ලායි-ෆා’ මහතා වන අතර, ඔහුගේ පරපුර හැරුණුකොට ‘ෂි’ කුමරාගෙන් සෘජුව පැවත එන කිසිවෙක් නොමැති බව ෂි-ලායි-ෆා මහතා පවසයි. ඔහුගේ පුත්‍රයා වන ‘ෂුවා-ෂි මහතා 2004 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණ මාස හයක පමණ කාලයක් ගතකොට සිංහල භාෂාව ඉගෙන ගැනීමට උත්සහ දරා ඇත. ‘ෂුවා-ෂි මහතාට අවුරුදු 6 සහ 4 ක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක් සිටියි.

ඔවුන් විසින් මා හට ලබාදුන් එක් ලිපියකට අනුව වර්ෂ 2000 දී ශ්‍රී ලංකාවෙන් මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් ගියැන්ජෝ හි ‘විදේශීය සබඳතාවයන් හි ඉතිහාසය පිළිබඳ කෞතුකාගාර’යේ අනුග්‍රහයෙන් එම ප්‍රාන්තයට ගොස් එහි ‘ෂි’ පවුලේ සොහොන් කොත් ඇති ස්ථානය විමර්ශණය කර ඇත. එහි දී මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි මහතා ට එහි තිබී සිංහ රූප දෙකක් හමු වී ඇත. එම සිංහ රූප කෝට්ටේ යුගයේ සිංහ රූපවලට සමාන බවට මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශකොට ඇත.

අද දින දක්වා තායිවානයේ හි ජීවත් වන බා–ලේ-නා පවුලෙහි සාමාජිකයන් මා සමඟ සම්බන්ධතාවයන් පවත්වාගෙන යන අතර, ඔවුහු ශ්‍රී ලංකාව තමන්ගේ මවුබිම ලෙස සලකති.

ඔවුන්ගේ පරම්පරා පුස්තකයෙහි සඳහන් නොවුණත්, ක්‍රි.ව. 1459 දී චීනයට ගිය බා-ලේ-නා කුමරා නැවත ලංකාවට නොඑන්නට පෙළඹවූ වැදගත් හේතුවක් වන්නට ඇත්තේ ඊට වසර 7කට පසු ක්‍රි.ව. 1466 දී ‘සවැනි පැරකුම්බා’ රජු මියයාමත්, ඉන් අනතුරුව ලංකාවේ ඇති වූ දරුණු බල අරගලයන් ය. (උපුටා ගැනීම අවසන්) ඉහත සඳහන් විස්තරය අනුව හිටි හැටියේ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රාදූර්භූත වූ ලංකා කුමරියගේ කතාව පසුගිය ජනපතිවරණැ වේදිකා වලදී ජැක්සන් ඇන්තනි නම් කලා කරු ව විසින් මතු කොට දැක් වූ බුදු හිමියන්ගේත් මහින්ද රාජපක්ෂගේත් ඥාති සබඳතා කතාවට පවා දෙවෙනි නොවන බවක් පෙනී යයි.

මකරා චීන පුරාවෘත්ත, චීන ජනප්‍රවාද සහ චීන සංස්කෘතියේ පුරාවෘත්තීය ජීවියෙකි. චීන මකරුන් කැස්බෑවන් සහ මාළු වැනි සත්ව ස්වරූපයක් දක්වන චීන මකර  සංකේතය ඒවා බොහෝ විට නිරූපණය කරන්නේ කකුල් හතරක් ඇති සර්පයකු මෙනි.  චීන මකරා සම්ප්‍රදායිකව බලගතු හා සුබ ඵලයන් සංකේතවත් කරයි, විශේෂයෙන් ජලය, වර්ෂාපතනය, සුළි සුළං සහ ගංවතුර පාලනය කිරීම මෙමඟින් සංකේතනය වෙයි.  චීනයේ අධිරාජ්‍ය කාලයේදී චීනයේ අධිරාජ්‍යයා සාමාන්‍යයෙන් මකරා තම සංකේතයක් ලෙස භාවිතා කොට ඇත. අධිරාජ්‍යේය ශක්තිය සහ බලය ඉන් නියෝජනය විය.

චීන සංස්කෘතිය තුළ, විශිෂ්ටතම හා කැපී පෙනෙන පුද්ගලයන් ද මකරුන්ට සමාන කෙරෙන අතර, කිසිදු ජයග්‍රහණයක් නොමැති නොහැකියාව සහිත වූවන් පණුවෙකු වැනි අප්‍රානික ජීවීන්ට සමාන කෙරේ. චීන හිතෝපදේශ ගණනාවකින් මකරුන් ගැන පැවසෙන අතර අපගේ ජන සංස්කෘතිය අනුව මකර කට යනු මහ මුහුද මැද ඇතැයි පැවසෙන වඩබා මුඛ නම් වන යමකු නිරයට පිවිසුවන මංකඩ බව සද්ධර්මාලංකාරය වැනි කෘතීන් ගෙන් පැහැදිලි වෙයි.

“රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
අගනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කැ ගැහුවත් හතර වටේ
එවා නො වික්කොත් අපි හැම මකර කටේ”

ඉහත සඳහන් වදන් පෙළ තවමත් බොහෝ දෙනකුට මතක ඉකුත් දක්ෂිණාංශික ධනේෂ්වර රජයන්ට එරෙහිව පොදු ජනතාවගේ ගායිකාව ලෙස පිදුම් ලත් විශාරද නන්දා මාලිනියගේ මුවින් නැඟුණු ජනතාවාදී ගීතයක මුල් පද පෙළ ලෙසිනි. එහෙත්  වාමාංශික සහ සමාජවාදී මුහුණු වරකින් බලයට පත් ව සිටින වත්මන් රජය යටතේ අප සතු ස්කල විධ සම්පත් සෘජුවම චීන මකරාගේ මකර කටට හොවන අතරේ චීනයෙන් ලංකා කුමරියන් මතු වන තුරු බලා හිඳින්නට සිදු වීම මෙම ප්‍රථිවි තලය මත සිදු විය හැකි බිහිසුණුම දේශපාලන ඛේදවාචකයක් බවට සැක නැත.

එස්. මුතුමාල

Related posts