කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

ලොවටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතය පිළිබඳ අප කාගේත් අවධානය යොමුවී තිබීම පුදුමයක් නොවේ.

ඒ එමගින් මිනිස් ජීවිත කෙරෙහි එල්ල වන කුරිරු අවදානම නිසා ය. එහෙත්, මිනිස් ජීවිත වලට පමණක් නොව අප සතු දේපලවලට සේම සතා, සීපාවාටත් ගහකොළ වලටත් බිහිසුණු විපත් අත් කරවන යුගයක් මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ.

එය ද කොරෝනාව තරමටම අපගේ අවධානය යොමු විය යුත්තකි. දැනට අප දිවයින අවට වර්ධනය වන කාලගුණ සාධක වලට අනුව මේ මස සතර වන සතිය තුළ නිරිත දිග මෝසම් සමයේ කාලගුණ තත්වයන් වර්ධනය වන බවට කාලගුණ විද්‍යා අංශ වලින් පැවසේ. එසේ නම් අපි නිරිත දිග මෝසම් වැසිවලට සහ ඒ වැසි නිසා සිදුවිය හැකි ආපදා වලට මුහුණ දීමට සුදානම් විය යුතු අවදියක සිටිමු.

නිරිතදිග මෝසම් සමයේ වර්ෂාව වැඩියෙන්ම ඇදහැලෙන්නේ දිවයිනේ කඳුකර කොටස් වලට මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වලට ය. ඒ අතර දවස පුරාම පාහේ ඇදහැලෙන වර්ෂාව විටින් විට ධාරානිපාත වේ.

බෙංගාල බොක්කේ වර්ධනය වූ පීඩන අවපාත හෝ සුළි සුළං වල බලපෑම් ඇති වුවහොත් ප්‍රචණ්ඩ සුළං සහ වර්ෂා සමඟ අකුණු වල බලපෑමට ද මුහුණ දීමට දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාවට සිදුවනු ඇත.

මෙමගින් ඉදිරි කාලය තුළ දැනට නිරුපද්‍රිතව ජීවත් වන්නවුන්ගෙන් යම් ප්‍රමාණයක් මරුමුවට පත්වීම වලක්වා ලිය නොහැක. එමෙන්ම රුපියල් මිලියන ගණනක දේපළ හානි සිදුවීමේ පැහැදිලි හැකියාවක් ද තිබේ.

අප මෙසේ කියනුයේ ගත වූ කාලය පුරා ගොනු කරගත් කාලගුණ විද්‍යා දත්තයන්ට අනුව මිස ජනමාධ්‍ය වලින් බොරු බේගල් අල්ලේ පැලකරන කේන්දර කාරයන්, සාස්තර කාරයන් මෙන් කූට වංචනික අදහස් සිත් තුළ සඟවා ගෙන නොවේ.

මෙම කරුණු සළකා බලන විට ළඟ එන නිරිත දිග මෝසම් සමයේ ද වැසි, සුළං සහ අකුණු නිසා සිදුවිය හැකි ආපදාවන් අවම කරගැනීම උදෙසා ගත හැකි සියලු ආරක්‍ෂක පියවර ගැනීම හෙවත් ආපදා කළමනාකරණ පිළිවෙත් කලට වේලාවට ඉටු කිරීමට අපි සැවොම කටයුතු කරගත යුතුය. මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අප වෙත ලබාදෙන අනාවැකි, නිවේදන, අනතුරු හැඟවීම් සහ අවවාද වලට අවධානය යොමු කිරීම අප සැමගේම වගකීමකි.

විවිධ පළාත් වල සිදුවිය හැකි ගංවතුර, නායයාම්, නිවාස සහ ගොඩනැගිලි බිඳ වැටීම් සහ අකුණු පහර ආදිය නිසා අපට මුහුණ දෙන්නට සිදුවන ආපදා අවස්ථාවකදී ආපදා අවම කිරීමට පියවර ගත යුතු වනවා සේම පසු ආපදා තත්වයන්ට මුහුණ දීමට ඉතාම අවශ්‍ය වන බඩු භාණ්ඩ කිහිපයක් කල් වේලා ඇතිව රැස්කොට තබාගත යුතු ය. එය ආපදා කට්ටලය(DISASTER  KIT) ලෙස නම් කෙරේ.

ස්වාභාවික ව්‍යසනයකදී බොහෝ විට අපගේ නිවාස හුදෙකලා තත්වයට පත් වන්නේ විදුලිබල සහ ජල සැපයුම් ආදී පහසුකම් බිඳවැටීමත් සමඟ බව පැහැදිලි ය. එවන් කරුණු ද සැළකිල්ලට බඳුන් කොට ස්වාභාවික විපතක දී නිවසේ කොටු වන අයගේ විවිධ අවශ්‍යතා සඳහා අත්‍යාවශ්‍ය වන භාණ්ඩ කිහිපයක් මෙසේ ය.

විදුලි කෝෂ (බැටරි) බලයෙන් ක්‍රියාකරන ග-ුවන් විදුලි යන්ත්‍රයක් සහ විදුලි පන්දමක්, අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග, ප්‍රථමාධාර භාණ්ඩ, පානීය ජලය, වියළි ආහාර (බිස්කට් වැනි) මුදල් ප්‍රමාණයක්, පහසුවෙන් සකස් කරගත හැකි ආහාර, ගිනිපෙට්ටි, ඉටිපන්දම් පවුලේ සාමාජිකයන් ගේ අවශ්‍යතා පරිදි මෙම භාණ්ඩ තෝරා ගැනීම කළ යුතු ය.

බොහෝ විට ගංවතුර, නායයාම් සහ අකුණු පහර නිසා ගේ දෙ‍ාර කැඩී බිඳී විනාශ වූ අවස්ථා වලදී ආපදාවට ලක්වූවන් මුහුණ දුන් ගැටළු වලට ප්‍රධාන හේතු වූයේ ඔවුනගේ අනන්‍යතාව හා සම්බන්ධ ලියකියවිලි විනාශ වීමයි. ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, ඉඩකඩම් ඔප්පු, අධ්‍යාපන සහතික, බැංකු ගිණුම් ලේඛන, වැදගත් දුරකථන අංක සටහන්, අත්‍යාවශ්‍ය ලියකියවිලි යනාදිය විනාශයට පත්වීම නිසා පසු ආපදා සමයේ මුහුණ පෑමට සිදුවන ගැටළු අපමණ ය.

මේ නිසා තම පවුලේ සාමාජිකයින් හා සම්බන්ධ වැදගත් ලියකියවිලි යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය වන අංක ආදියේ විස්තර ඉතාම සුරක්‍ෂිත ස්ථානයක ආරක්‍ෂිතව තබා ගැනීම වැදගත් ය. එවන් ලියකියවිලි හෝ සටහන් ජල කාන්දු නොවන රඳවනයක නිවසේ සවි ශක්තිමත් ස්ථානයක තැබීම වඩාත් යෝග්‍ය ය.

දැන් පවතින සහ ඉදිරියේ බලපාන කාලගුණ තත්වය සහ ඒ නිසා මුහුණ පාන්නට සිදුවන ආපදා පිළිබඳ අපගේ අවධානය නිසි පරිදි යොමු නොවන්නට ද කොරෝනා කෙරෙහි අවධානය ද හේතු වන්නට ඇත. මේ වසරේ ප්‍රථම සතර මාසය තුළ අපි මුහුණ දුන් කාලගුණ තත්වයන් සාමාන්‍යයෙන් තරමක් වෙනස් වූ බවක් සමහරුන්ට නොවැටහෙන්නට ඇත.

පැසිෆික් සමුදුරු පෙදෙසේ වර්ධනය වූ ලානිනා (La Nina) තත්වයක බලපෑම නිසා පසුගිය මාසවල අප දිවයිනේ කාලගුණ තත්වයන්ගේ විකෘතිතාවක් සිදුවූවා මෙන්ම මාර්තු මස මැද අන්තර් මෝසම් සෘතුවේ ආරම්භය සිදු නොවීමටත් ලානිනා හේතුවක් වී ඇත. බක්මහ අකුණු වැසි වස්සවන අන්තර් මෝසම් තත්වයන් සති තුනක් පමණ ප්‍රමාද වී ආරම්භ වී තිබේ.

ප්‍රථම අන්තර් මෝසම් සෘතුව අවසන් වී නිරිත දිග මෝසම් සමයේ වර්ෂාව ශ්‍රී ලංකාවේ පැලපදියම් වන්නේ සාමාන්‍යයෙන් මැයි මාසයේ තුන්වන සතියේ අවසන් දින වලදී පමණ ය. ඒ සමඟම දිවයිනේ බටහිර, දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට අනෝරා වැසි වැටෙන බව බොහෝ අය දන්නා කරුණක් යැයි සිතමි.

නිරිත දිග මෝසම් සමයේ ආරම්භයේ සිටම ප්‍රදේශ ගණනාවකම නොනවතින වැසි ඇද හැලෙන නිසාවෙන් පසුගිය දින කිහිපයකම (මැයි 10, 11, 12, 13, 14 සහ 15) දිවයිනේ විවිධ ප්‍රදේශ වලට තද වැසි කඩා හැලීම නිරිත දිග මෝසම් සමයේ ආරම්භයක් නිසා වන්නට ඇතැයි සැක පහල කළ අය නැතිවා නොවේ.

එහෙත්, එය එසේ නොවේ. නිරිත දිග මෝසම් සෘතුව දිවයිනේ ස්ථාපිත වීම සඳහා අවශ්‍යතා කිහිපයක් පරිපූර්ණ විය යුතු ය. අවශ්‍යතා සම්පුර්ණ වී නිරිත දිග මෝසම ස්ථාපනය වන බව අනාවරණය කිරීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි. මෙතෙක් අපට එම නිවේදනය නොඇසුණි. එසේ නම් පසුගිය දිනවල ඇදහැලුණේ කුමන වැසි ද?

ගිනිකොන දිග අරාබි මුහුදේ වර්ධනය වූ පීඩන අවපාතයක බලපෑම මෙම කාලයට සාමාන්‍ය දෙයක් නොවූව ද විටින් විට කාලගුණ තත්වයන්ගේ එවන් විෂමතා සිදුවේ.

පීඩන අවපාතය සුළි සුළගක් වී උතුරු දෙසට (අප දිවයිනෙන් ඈතට) ගමන ඇරඹෙන තෙක් එහි බලපෑම යටතේ අප දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි, සුළං සහ අකුණු සහිත කාලගුණ තත්වයක් බලපෑ අතර පළාත් රැසකින්ම සැලකිය යුතු ආපදා ප්‍රමාණයක් ද වාර්තා විය.

ඒ අනුව වර්ෂාව ඇදහැලීම සහ ආපදා සිදුවීම දැන් අහවර දැයි සමහරු සැක පහල කරනවා වන්නට ඇත. එහෙත්, ඉදිරියේ එළඹෙන නිරිත දිග මෝසම් අපදා සමය මුල් කොට දැනට අප අතරේ යහතින් ජීවත් වන යම් පිරිසක් ද අප ඇසුරෙහි තිබෙන වටිනා දේපලවලින් යම් ප්‍රමාණයක් ද අකලට නැසී, වැනසී යාමේ අවදානම අප කිසිසේත් සිත් වලින් බැහැර කර ගත යුතු නැත.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ

කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

Related posts