අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

sinhalalanga

සිංහල භාෂාව ඇත්තෙන්ම මාරයි. ඒහ හරි සුන්දර, පොහොසත් භාෂාවක්. ඒ විතරක් නෙමෙයි ඒක අපේ උරුමය. අපේ සංස්කෘතිය පදනම් වෙන්නෙ සිංහල භාෂාව මත. ඒක අපි රැකගන්න ඕනැ. ඒකට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මව්බස වෙන්න ඕනැ. මව්බසක් කියන්නෙ නිකම් ගෙදර කතා කරන භාෂාවක් නෙමෙයි.

ගෙදර ඉංග්‍රීසියෙන් කතාකරන ලාංකික සිංහලයන්ට මව්බසක් නැහැ. ඔවුන් කතාකරන ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවන් හා සංස්කෘතික ලක්ෂණ මිශ්‍ර වීමෙන් හැදුණු එකක්. ඒක ඔය හිතන තරම් ‘උසස්’ ඉංග්‍රීසියක් නෙමෙයි. ඇත්තම කියනවා නම්, භාෂාවන්ගෙ වගේම ඩයලෙක්ට් හෙවත් ව්‍යවහාර විධිවලත් එහෙම උසස්කමක්, පහත්කමක් නැහැ.

ජාත්‍යන්තර භාෂා පහක් අතරින් ඉංග්‍රීසි විතරක් අපට මාර වෙන්නෙ යටත් විජිත උරුමය නිසා. ඒකත් උරුමයක් තමයි. හැබැයි, ඒක සිංහල උරුමයට වඩා ප්‍රමුඛ වෙන්නෙ පශ්චාත් හා නව යටත් විජිත මානසිකත්වය නිසායි.

ඇයි අපට සිංහල වෙමින් හොඳින් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි? එහෙම එකක් නැහැ. අපට ජාතියක් විදියට හොඳට ඉංග්‍රීසි පුළුවන්. අපි හැමෝම අපට අවශ්‍ය මට්ටමින් ඉංග්‍රීසි දන්නවා. හැබැයි අපට මදි. ඇයි අපට මදි? මොකක්ද අපට මදි? අපට මදි වෙලා තියෙන්නෙ ඉංග්‍රීසියෙ තියෙන පොෂ්කම.

දැන් වැඩකරන පරම්පරාවෙ බහුතරයක් සිංහලෙන් ඉගෙනගත් අය. බැංකු, අධිකරණය වැනි ඇතැම් තැන්වල සිංහලෙන් වැඩකිරීම හුරු වී නැතත්, ඒ කටයුතු කළමනාකරණය කරගන්නට සමත් අය ඕනෑ තරම් සොයාගන්නට බැරිකමක් නැහැ. එහෙම නැතිනම්, බැංකු වගේ ආයතන මේ තරම් ලාභ ලබන්නට විදියක් නැහැ.

හැබැයි, බැංකුවලට වුණත්, පවතින තරගය තුළ සාර්ථක වෙන්නට පුළුවන් ස්වදේශික ජනයා අතරට වෙළඳපොළ පුළුල් කරගත්තොත් විතරයි. ලංකාවෙ මාකට් එක ඉංග්‍රීසි නෙමෙයි. මිනිස්සු බඩු මිලදී ගන්නෙ තමන්ට හොඳටම පුළුවන් භාෂාවෙන් හෙට්ටු කරලායි. කඩ්ඩෙ සෝබනේ වැදගත් වෙන්නෙ ඔය සන්නාම සහිත ඇඳුම්, සුවඳ විලවුන් වගේ දේවලට තමයි.

ඉංග්‍රීසි වේදිකාවෙ හිටපු ඩිනෝලා බ්ලොක්ලා ඇයි සිංහල ප්‍රේක්ෂකයන් හොයාගෙන එන්නෙ? වෙන මොකකටවත් නෙමෙයි බඩු විකුණන්න. ඉංග්‍රීසි ගැන හීනමානයක් නැති අයට මේ භාෂා ප්‍රශ්නය දැනෙන ආකාරය වෙනස්.

මේ ලියන මම ජීවත් වෙන්නෙ ජාත්‍යන්තර ආයතනවලට සිංහල හා ඉංග්‍රීසි භාෂා සේවා සපයලා. ඒ අතරින් වැඩිපුරම සපයන්නෙ ලිඛිත සේවා. මම උපන්නෙ හා තවමත් ජීවත් වෙන්නෙ හද්දා පිටිසර ගමක. ගියේ ගමේ මහා විද්‍යාලයකට. අම්මා තාත්තා ගුරුවරු වුණාට ඉංග්‍රීසි දැනුම ඉතා අඩු අය. මං ඉංග්‍රීසි ඉගෙනගත්තෙ බොහෝ දුරට තනියම හා කියවලා. සවන් දීම පවා සාපේක්ෂව අඩුයි. අපි හැම ඉංග්‍රීසි වචනෙකම උච්චාරණය ඩික්ෂනරියෙන් පරීක්ෂා කරන්නෙ නැහැ.

ඒ නිසා තමයි අපි කොරන්ටීන් වෙනුවට කොරන්ටයින් කියන්නෙ. ඇමරිකානුවෙකු වන ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි. අපේ ස්ට්‍රෙස් ඇන් ඉන්ටෝනේෂන් හැදෙන්නෙ අපේ විදියකට. අපි ඩයිවසිටි කියනකොට ව ශබ්දය ළඟ බරකරන්නෙ නැහැ. ඉතින් මොකද? ඒක අපේ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ඩයලෙක්ට් එක. නෝ කියන ක්වෙස්ෂන් ටැග් එක අපේ ලාංකික ඉංග්‍රීසියේ ලක්ෂණයක්. හරියට මැලේසියානු ඉංග්‍රීසියෙ ලා කියනවා වගේ. අයි විල් ගෝ ඇන් කම් වගේ යෙදුම් ලාංකික ඉංග්‍රීසියට අනන්‍යයි. හරියට ශෙහාන් කරුණාතිලකගෙ චයිනමන් වගේ තවත් පොත් බිහිවෙනවා නම් ලංකාවෙ ඉංග්‍රීසිය ඩයලෙක්ට් එකක් විදියට තව ලෝකයට යයි.

මං ඔන්ලයින් රස්සාවල් කරන්නෙ 2005 ඉඳන්. එතකොට අපට ඒඩීඑස්එල්වත් තිබුණෙ නැහැ. මං මුලින්ම ඇමරිකාවෙ ඉඳන් පළකරපු ලංකාවට අදාළ වෙබ්සයිට් එකක වැඩ කරන කාලෙ අන්තර්ජාලයට පිවිසුණේ ලංකා බෙල් ඩයලප් දුරකථනයක් හරහා. ඒ කාලෙත් මගේ මාසික දුරකථන බිල රු. 4,000කට වැඩි වුණා.

හුඟක් ඇමරිකන් චිත්‍රපටිවල ඇක්සන්ට් එක මට අදත් අහුවෙන්නෙ නැහැ. මං ඉංග්‍රීසි කතා කරන්නෙ ලාංකික ඌරුවට. අර ඇලන් පෙරේරගෙයි, ඉන්දි නඩරාජාගෙයි කොමඩි කෝට් වීඩියෝවල කතාකරන්නෙ ඉංග්‍රීසි වුණාට ඒවා ඉංග්‍රීසියෙන් සබ්ටයිටල් කරලාත් තියෙනවා. හේතුව මැලේසියන් ඉංග්‍රීසියි බටහිර ඉංග්‍රීසිය අතර වෙනස.

ඉතින් මොකද? මං කතා කරන ඉංග්‍රීසි මගේ ගනුදෙනුකාරයන් තේරුම් ගන්නවා. මං ලියන ඉංග්‍රීසි ගැන නම් සුද්දොවත්, ලංකාවෙ ඉංග්‍රීසි මව්බස වුණ අයවත් කවදාවත් ලෙඩ දාලා නැහැ. මං වගේ ගම්වලින් ආපු එවුන් නම් ලෙඩ දාලා තියෙනවා. හේතුව සරලයි. උන් කැමති නැහැ උන්ගෙ අවකාශයට මං වගේ ගමකින් ආපු එකෙකු ඇතුළු වෙනවට. ඒක තමයි වෙළඳපොළ තරගකාරිත්වය. හැබැයි මං මේ බිස්නස් එකේ සාර්ථකයි.

මම අවුරුදු ගානක් විවිධ ජාත්‍යන්තර ආයතන එක්ක වැඩ කරලා තියෙනවා. ඒවායෙ සේවය කරන ඉංග්‍රීසි මව්බස බවට පත්වුණු සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ තරුණ පරපුර ඇසුරු කරලා තියෙනවා. මුල් ඉදිරුණ මේ පරම්පරාවේ සංස්කෘතික වේදනාව බෙදාගෙන තියෙනවා. කොළඹ සමාජයේ ඒගොල්ලන්ට ලැබිලා තියෙන ආධිපත්‍යය හැරුණාම ඒගොල්ලන්ට තියෙන්නේ ලෝකය පුරා විසිරී වර්ධනය වෙමින් තිබෙන මෙට්‍රොපොලිටන් නැතිනම් අගනාගරික සමාජයක අස්ථාවර පාස්පෝට් එකක් විතරයි. ඔය කොයි කාට වුණත්, ශ්‍රී ලංකාවෙ පුරවැසියකු වුණාම වෙනත් රටක වීසා ගන්න ලේසි නැහැ.

ඒ ජාත්‍යන්තර සමාජය බොරුවක්. ඒ වගේම, ඒ මුල් සිඳුණු පරම්පරාව විසින් ලෝකයට හෝ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කෝෂයට එකතු කරපු සැලකිය යුතු දායකත්වයක් නැති බවත් කිව යුතුයි. ඔච්චර ඉංග්‍රීසි වන්දනා කරන රටේ කෝ ජාත්‍යන්තර සාහිත්‍යධරයො? සාමාන්‍යයෙන් ලේසිම සාහිත්‍යයනෙ කවිය. බොරු කියන්න ඕනැ නැහැ. අපි එහෙම තමයි හිතන්නෙ? ඒකනෙ කවියො මෙච්චර ඉන්නෙ. කෝ ඒ වුණාට ලාංකික ඉංග්‍රීසි කවියො. අපි තාම ලාංකික ඉංග්‍රීසි කවීන් කියල කතා කරන්නෙ පරම්පරා දෙකක් විතර කලින් ජීවත් වුණ අය.

ඉස්සර ලංකාවෙ ඉංග්‍රීසි මාරයි කියල ෆැන්ටසියකුත් තියෙනවනෙ. ඒ අය ගිහින් බලන්න මාවනැල්ලෙ තියෙන, සරදියල් අල්ලපු සභාන් කියන පොලිස් නිලධාරියගෙ ස්මාරකේ. මං මේක බැලුවෙ අර මං කියන ඉංග්‍රීසි මුල් බස ලෙස කතාකරන ලාංකිකයන් හා විදේශිකයන් කීපදෙනෙකු සමග. ඒකෙ ඉංග්‍රීසි අපි තේරුම් ගත්තෙ හරිම අමාරුවෙන්.

ඔය හොඳය කියන පැරණි ඉංග්‍රීසි තියෙනවා පරණ ඔප්පු වගේ ඒවයෙ. ඒව හොඳ ඉංග්‍රීසි කියල හිතන අය සන්නිවේදනයෙ මූලික සංකල්ප තියා විහිළුවත් හරියට දන්නෙ නැහැ. සරලව කියන්න පුළුවන් දේ සංකීර්ණ කරන එක කොහොමත් බරපතල හීනමානයක්. ඒක සිංහලෙත් තියෙනවා.

ලංකාවෙ ඉංග්‍රීසි හීනමානයට ප්‍රධාන හේතුව ව්‍යාකරණ නොදැනීම. ව්‍යාකරණවලට අගෞරව කිරීම ආරම්භ වෙන්නෙ සිංහලෙන්. ‘මිනිසුන් බත් කයි’ වගේ වාක්‍ය ලියන එවුන්ට ඉංග්‍රීසි ව්‍යාකරණ අහුනොවෙන්නෙ උන් මව් බසේ ව්‍යාකරණ හරියට ඉගෙන නොගැනීමත් එක්ක ඇති වන සංකල්පීය ගැටලුවක් එක්ක. අදත් ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනයෙ පවා හරියට ව්‍යාකරණ ඉගැන්වීමක් නැහැ. මේවා විසඳාගන්නට පුළුවන් ගැටලු. මං අවුරුදු 25ක් විතර කාලයක් විවිධ සිසුන්ට ඉංග්‍රීසි උගන්වලා තියෙනවා.

මං උගන්නපු පාසල් අතරින් බහුතරය දුෂ්කර පාසල්. ඒවායෙ දරුවන්ට තියා මටවත් ඔය පොෂ් ඉංග්‍රීසියට හුරුවෙන්න අමාරුයි. හැබැයි, අපි කාටත් ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන්. ඕනැ නම් කතාකරන්නත් පුළුවන්. ඒත්, බැරි ඇයි? අපි බයයි. පුංචි උච්චාරණ වැරැද්දට පවා අපේ අය හිනාවෙනවා. අපේ අය ඉංග්‍රීසි භාවිතා කරන්නෙ අනෙක් පුද්ගලයාගෙ වැරදි හොයන එකට ප්‍රමුඛ තැන දීලා. සිංහල වචනෙක උච්චාරණ වැරැද්දක් දැක්කට නිවැරදි නොකරන අපි ඉංග්‍රීසි වචනෙක එහෙම එකක් තමන්ට තේරෙන මට්ටමෙන් දැක්කොත් පැනලා නිවැරදි කරනවා. මේව පසුබිමේ තියෙන්නෙ හීනමාන.

හීනමානෙට විශාල මාකට් එකක් තියෙනවා. ඒ නිසා පොෂ් ඉංග්‍රීසියටත් ඒ වගේම ඩිමාන්ඩ් එකක් තියෙනවා. පොෂ් ඉංග්‍රීසි බොහෝ දුරට ඇක්සන්ට් එකක්. සිංහල අපි කොවිඩ්-19 කියනකොට පොෂ් ඉංග්‍රීසි කට්ටිය කෝවිඩ්-19 කියනවා. ඒ වුණාට ඒ ඇක්‍රොනිම් එක හෙවත් වචනවල මුලකුරුවලින් තනාගත් වචනයේ මුල් අකුරු තුනෙන් (COV) කියැවෙන්නෙ කොරෝනා වයිරස් කියලා මිසක් කෝරෝනා වයිරස් කියල නෙමෙයි. මම එක්තරා ජාත්‍යන්තර ආයතනයක පරිවර්තනයකදි ‘වයිරස්’ විදියට වචනෙ ලිව්වා.

ඒත්, එහි වැඩ කරපු ඉංග්‍රීසි කතාකරන අයෙකුට එය ‘වෛරස්’ ලෙස ලියන්නට ඕනැ වුණා. වයිරස් කියන්නෙ ඉංග්‍රීසි වචනයක්. අපි කොම්බු දෙක යොදලා ලියන්නෙ සංස්කෘත, දෙමළ වගේ භාෂාවලින් පැමිණි වචන. කවුරුවත් ‘මෛ කාර් මෛ පෙට්‍රල්’ කියල ලියන්නෙ නැහැනෙ. මම භාෂා භාවිතා කරන්නෙ මං විසින්ම සංවර්ධනය කරගන්නා ප්‍රමිතියකට අනුව. ඒ සඳහා මං බොහෝ දේ ඉගෙන ගන්නවා. නිරීක්ෂණය කරනවා.

ලංකාවෙ වෙළඳපොළේ බඩු විකුණන්න, රජයෙ කන්තෝරුවලින් සේවා ලබාගන්න, බුද්ධාගම, ඉතිහාසය වගේ බොහෝ විෂයයන් ඉගෙනගන්න පොෂ් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය නැහැ. ඉතා විෂම අධ්‍යාපන ක්‍රමයක් තිබෙන ලංකාවෙ ඉංග්‍රීසි නිසා දැනටත් සිදු වී තිබෙන හා වැඩිවෙමින් තිබෙන නාගරික ග්‍රාමීය බෙදීම ඇතුළෙ වැඩි වැඩියෙන් සිංහල, දෙමළ දැනුම තමයි වැදගත් වෙන්නෙ. මේක අස්සට බලහත්කාරයෙන් ඉංග්‍රීසි ඔබන්න හදන්නෙ විෂමතා තවත් වර්ධනය කරලා ඒකෙන් පන්තිමය පැවැත්මක් තහවුරු කරගන්නට හදන දුර්වලයො.

මේක තව දිගට දිගට පොතක් දක්වා ලියන්න පුළුවන්. ඕනැ නම් දිග සංවාදයක් වුණත් කරන්නත් පුළුවන්. දැනට මේ නිගමනයෙන් මේ ලිපිය අවසන් කරනවා. පරගැති චින්තනයක් තියෙන ගෝඨාභය රාජපක්ෂ, ජී.එල්. පීරිස්, කපිල පෙරේරා වගේ තක්කඩින්ගෙ මුග්ධ යෝජනාවක් වන පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම කියන යෝජනාව මම ප්‍රතික්ෂේප කරනවා. ඒක යුනෙස්කෝ, යුනිසෙෆ් වගේ අන්තර්ජාතික සංවිධාන අධ්‍යාපනය ගැන සාකච්ඡා කරලා පැමිණ තිබෙන එකඟතාවන්ටත් පටහැණියි.

ළමයින්ගෙ මව්බසක් කියන්නෙ ගෙදර කතාකරන භාෂාවට. හැබැයි, ජාතියක මව්බස ගෙදර කතා කරන භාෂාවම නෙමෙයි. ළමයින් ඒ භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒක ළමයාගේ මානසික, සමාජමය, සංස්කෘතික සංවර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ස්වභාෂා මූලික අධ්‍යාපනය සිංහල වගේ භාෂාවන් හා ජාතීන් ගුණාත්මකව නොනැසී පවතින්නට අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නැතිනම්, සිංහලයන්ටත් වෙන්නෙ සිංහල වචනයක් ඇර වචනයක් පොජ්ජ, මන්දො කරනවා කිය කිය වැදි භාෂාව කතාකරන වැද්දන්ට වෙන දේ. එහෙම නැතුව, ඉංග්‍රීසි ඉගෙන ගත්තාය කියලා සිංහලයන් බොහෝ අය හිතන විදියෙ සුද්දන් වෙන්නෙ නැහැ. වෙන්න ඕනැත් නැහැ. මොකෝ සුද්දො ඉපදිලා තියෙන්නෙ අලි පුකෙන්ද? ඉංග්‍රීසි කියන්නෙ තව භාෂාවක් විතරයි. ඒක වන්දනා කරන්න තරම් ආගමක් නෙමෙයි.

අධ්‍යාපනය කියන්නෙ හුදු භාෂා හැකියාවන් විතරක් නෙමෙයි. අධ්‍යාපනය ඇතුළෙ තිබෙන ප්‍රධාන දේ වන චින්තනය, තර්කනය, අවබෝධය, ප්‍රකාශනය, නිර්මාණශීලීත්වය වගේ දේ තමයි වැදගත්. පශ්චාත් යටත් විජිත මානසිකත්වයේ ලාංකීය සංකේතය වන, කවුරුවත් හරියට නොදන්න, අභ්‍යන්තර උරුමයක් නොවන ඉංග්‍රීසියෙන් මේ දේවල් කරන්නට යාමම ජාතියක් ලෙස අපට හානිකරයි. මේක පරම්පරාවක් අතරමං කරලා සංකර නන්නත්තාර පරපුරක් අනාගතේ රජ කරන පජාත වැඩක්.

හැබැයි, අපේ ළමයින් හොඳට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනැ කියන කාරණේ ගැන තර්කයක් නැහැ. ඒක ප්‍රාථමික පන්තිවලින් නෙමෙයි, පෙර පාසලෙන් හා ගෙදරින්ම පටන්ගන්න ඕනැ. පුළුවන් නම්, ප්‍රංශ වගේ භාෂාවකුත් ඉගෙනගන්න ඕනැ. ඉංග්‍රීසියි ප්‍රංශයි ගොඩක් සම්බන්ධ භාෂාවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනැ හීනමානයක් නිසා නෙමෙයි. අභිමානවත් ස්වදේශිකයන් ලෙසයි.

ද්විතීයක අධ්‍යාපනය සියලු දෙනාට ද්විභාෂා මාධ්‍යයෙන් සැපයිය යුතුයි කියන එක වඩා හොඳ යෝජනාවක්. දැනටත් රජයේ පාසල්වල ද්විතීයක පන්තිවලට ද්විභාෂා අධ්‍යාපනය හඳුන්වා දී තිබෙනවා. මගේ දරුවන් දෙදෙනෙකු ඒ විදියට ඉගෙනගන්නවා.

ඔවුන්ගෙන් මාත් ගණිතය, විද්‍යාව වගේ විෂයයන් නැවත ඉංග්‍රීසියෙන් ඉගෙනගන්නවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව ප්‍රාථමික අධ්‍යාපනය මව්බසින් සිදුවිය යුතුයි. මව්බසින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම ළමා අයිතිවාසිකමක්. රජය ඒකට ගරු කළ යුතුයි. හැබැයි ඉතින් ලාංකික (ගොරකා) ඉංග්‍රීසිය මව්බස කරගත් සංකර පරපුරක් දැනටත් බිහි වී තිබෙන යථාර්ථයත් අප පිළිගත යුතුයි.

ඔවුන්ගේ දරුවන්ට බලෙන් සිංහල උගන්වන්නට යන එකත් ළමා අයිතිවාසිකම් උල්ලංඝනයක් නිසා ඉංග්‍රීසියෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීමේ ගැටලුවක් නැහැ. හැබැයි, ඒ සඳහා දරුවන් තෝරාගන්නා විට ඔවුන්ටත්, මව්පියන්ටත් ඉංග්‍රීසි කතා කළ හැකිද යන්න සම්මුඛ පරීක්ෂණයක් මගින් විමසා බැලිය යුතුව තිබෙනවා.

අජිත් පැරකුම් ජයසිංහ (Praja)

Related posts