අල ලාභද? ලූණු ගණන්ද?

potato

මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා.

ඉතිං මට නිකමට රට වටේ ඉන්න මගේ යාළුවන්ට කතාකරලා ඒ අයගෙනුත් අහන්න හිතුනා දැන් සැපයි ද කියලා. අල ලාභද? ලූණු ගණන්ද? කියලා අහන්න හිතුනා. ඉතිං මම ඇහැව්වා. මෙන්න උත්තර ටික..

ආනන්ද බලහරුව

බලහරුව තියෙන්නේ වැල්ලවායට කිට්ටුවෙන්, හම්බෙගමුවට යාව, තණමල්විල සුවඳ හමන ගමක්. මගේ මිත්‍රයා ආනන්ද කඩයක් සහ හාඩ්වෙයාර් එකක් කරනවා. ඉතිං මට මුලින්ම මතක් වුණේ මේ හාදයා.

මල්ලී කොහොමද සැපෙන් සනීපෙන් ඉන්නවාද? මම කතාවට බැස්සා ජංගමයා හරහා. ‘අමාරුවෙන් කාල බීලා ඉන්නවා. හාඩ්වෙයාර් එක ගැනනම් කතාකරන්න එපා සිමෙන්තිවල ඉඳලා බඩු නෑ. අනික මිනිස්සුන්ට ගෙවල් හදන්න තියා කන්න බොන්නවත් සල්ලි නෑ.’

මල්ලී ඔයාගේ කඩේ හාල් මිල කොහොමද? මම හාඩ්වෙයාර් කතාව සිල්ලර බඩු කඩේට ගෙනාවා. ‘සුදු හාල් මම ගන්නේ 160ට. මම විකුණන්නේ රුපියල් 170ට. හාල්මැස්සෝ 900යි. පරිප්පු නෝමල් එක කිලෝ එකක් රුපියල් 260, කප් පරිප්පුනම් රුපියල් 300‍යි. සීනී රතු රුපියල් 175 යි. දැන් මිනිස්සු එළවළු හොයන්නේ නෑ.  බිත්තරයක් රුපියල් 26යි 27යි. චිකන් රුපියල් 690යි. කඩේ බඩු 50%ක් දැන් අඩුයි. ගොඩක් බඩු එන්නේ නෑ. සමහර බඩු මිනිස්සු ගන්නෙත් නෑ.’

මල්ලී ණයට ඉල්ලන ප්‍රමානය වැඩි වෙලාද? මම බඩු තුන්ඩුවේ ගණන් මිනුන් වලින් ටිකක් අහකට යන්න හිතාගෙන ඇහුවා. ‘ අම්මෝ ණයට දෙන එක නැවැත්තුවා අයියා. දැන් ණයට ඉල්ලන ප්‍රමානය වැඩි වෙලා. හරි අමාරුයි ණයට දීලා කරන්න’ බලහරුව කියලා කියන්නේ සරුවට කුඹුරු කරන පැත්තක්. කෙසෙල් වුණත් එහෙමයි. ඒත් ආනන්ද කියන විදිහට මෙදාපාර අස්වැන්න 50%කින් අඩුවෙන්න නියමිතයි. ඒ ගෝඨාභය සර් ගේ කාබනික ගොවිතැනට පිං සිද්ධවෙන්න. දැනටමත් ගොඩාක් ගෙවල්වල සහල් මලු අහවරයි. කඩෙන් තමයි ගොඩක් දෙනෙක් සහල් ගේන්නේ.

බිබිල හසිත්

ඊළඟට මම කතා කළේ බිබිලේ මගේ මිත්‍රයාට. මිනිහා කියන විදිහට සුදු කැකුළු සහල් මිල එක එක කඩේ එක එක ගණන්. රුපියල් 130 ඉඳලා 160 වෙනකම් සුදු කැකුළු සහල් ගන්න පුලුවන්. මිනිහා කියන විදිහට, මිනිහ වෙනදට රුපියල් 500ට ගන්න එළවළු මල්ලට මේ සතියේ 1050ක් ගිහිං. ඒක තමයි එළවළු වල කතාව. හාල් පොල් ගෙදර තියෙන නිසා වෙනදට රුපියල් 25000ක් විතර ගිය ගෙදර කෑම වියදම දැන් 60000කට ආසන්න වෙලා. ඒ කියන්නේ දෙගුණයකටත් ටිකක් වැඩියි. මිනිහා කියන විදිහට බිබිලට ටිකක් එහායින් තියෙන නිල්ගල, රතුගල, බුලුපිටිය, ගල්ගමුව, දෙහිගම වගේ ගම්වල මිනිස්සුන්ට එක වේලක්වත් කන්න තියෙනවාද සැකයි. හසිත් එහෙම කීවට පස්සේ මට හිතුනා පොල්ලෙබැද්දේ වැදි ගම්මානේ මගේ මිත්‍රයාට කෝල් එකක් ගන්න. පොල්ලෙබැද්දේ පුංචි අප්පොහාමි කීවාම නොදන්න කෙනෙක් නෑ. පොල්ලෙබැද්දේ නායකහූරා.

පොල්ලෙබැද්ද

‘ අනේ අපේ හූරා කියන්න දෙයක් නෑ. අපි දැන් එක වේලක් තමයි කන්නේ. අපේ රැහේ එවුන්ට හොඳටම අමාරුයි. මෙහේ පවුල් 300ක් විතර ඉන්නවා හැවෝටම එකම විලම්බෑසිය තමයි. අපේ හූරා අපේ කැකුලෝ දෙන්නෙක් ඉස්කෝලේ ගියා දැන් උන් ඉස්කෝලේ යන්නේ නෑ. උන්ගේ අප්පලාට උන් ඉස්කෝලේ යවන්න ක්‍රමයක් නෑ. අපිට කුඹුරු නෑ. හේන්වල තිබුණ මඤ්ඤොක්කා අල බතලත් දැන් ඉවරයි.’

පොල්ලෙබැද්ද කියලා කියන්නේ මහඔය කලාපයේ තියෙන අති දුෂ්කරම ගමක්. මේ මිනිස්සුගේ බඩ පොත්තට ඇලිලා කන්න නැතුව. මහින්ද රාජපක්ෂ ජෙටෙකේ තිරුපති යනකොට නාමල් රාජපක්ෂ රුවල් ඔරු පදිනකොට මේ මිනිස්සුන්ගේ දරුවෝ මන්දපෝෂණයෙන් බඩවල් ඉදිමිලා ඔහොක් කරගෙන හුළං බොනවා.

ඊට පස්සේ මම කතා කළේ පොළොන්නරුවේ විජේරත්න අයියට. ඒ මිනිහා කුඩා සහල් මෝල් හිමියෙක් නිසා, මට හිතුනා අපේ සහල් අනාගතය ගැන නිකං අහන්න. මොකද ක්‍රෝටන් කොළ කන්නත් ඒවා තියෙන්න එපැයි.

පොළොන්නරුවේ කුඩා මෝල් හාංසියි

‘ අනේ සංජීව මෝල වැහුවනේ. පොළොන්නරුවේ කිසිම කුඩා මෝලක් දැන් දුවන්නේ නෑ. කුඩා මෝල් හිමියා හාංසිම කළා මේ ආණ්ඩුව. දැන් මම ගමේ මිනිස්සුන්ගේ වී ටික තම්බලා දෙනවා විතරයි. මගේ අක්කර 5ක කුඹුරත් මේ පාර අසාර්ථකයි. මාර්තු 15 වෙනකොට මෙහේ කුඹුරු කැපෙනවා. අස්වැන්න 50%කින් විතර අඩුයි කියලා තමයි අපිට දැනට පේන්නේ. සමහර වෙලාවට ඒක ඊටත් වඩා අඩු වෙන්න පුලුවන්. වෙනදට රුපියල් 5000න් කරන කුඹුරු කෑල්ලක් කරන්න මෙහේ මිනිස්සුන්ට මේ ගමන රුපියල් 50000ක් ගියා. තෙල් බෙහෙත් උනත් වෙළෙන්දෝ තමන්ට හිතුන ගණන්වලට තමයි විකුණන්නේ. රුපියල් 2000ට තිබුණ තෙල් ලීටරය දැන් රුපියල් 6000යි. නැත්තන් රුපියල් 8000යි. පොළොන්නරුවේ මිනිස්සුන්ට නම් මඤ්ඤොක්කා හරි තියෙනවා. ඒත් එගොඩපත්තුවේ මිනිස්සුන්ට ඒකත් නෑ. ඒවා අලි කාලා. එහේ මිනිස්සු එක වේලක්වත් කනවද කියලා මට නම් හිතාගන්න බෑ.’

විජේරත්න අයියා වැඩ කරන්නේ වැලිකන්දේ. වැලිකන්ද කියන්නේ දරිද්‍රතාවයේ පතුලේ ජීවත් වෙන මිනිස්සු ඉන්න පැත්තක්. මම මිනිහගෙන් ඇහුවා ඒ පැත්තේ තත්ත්වය. ‘එක වේලක්වත් කනවාද සැකයි මල්ලී’ ඒක තමයි වැලිකන්ද සිංහපුර වගේ අලුතින් යුද්දෙත් එක්ක හැදුව පුරවල තත්ත්වය. වැලිකන්දෙන් පස්සේ මම මට සුපුරුදු වැලිඔයට කතා කළා.

වැලිඔය

‘ පරාක්‍රමපුර ටවුන් එකේ කැකුළු හාල් කිලෝ එකක් රුපියල් 160 ක් වෙනවා, ගමේ ඊට වඩා ගණන්. නාඩු හාල් නම් කන්න බෑ රුපියල් 200ක් වෙනවා. හාල් පහක් කන්න පුලුවන් දවස් තුනයි. අපි දෙවේලයි කන්නේ මහත්තයෝ. ඒක කන්නෙත් කිරි හරකෙක් ඉන්න නිසා. ඌ දවසට කිරි ලීටර් 03ක් විතර දෙනවා. අපි ලීටරය දෙන්නේ රුපියල් 100කට, දවසේ ආදායම රුපියල් 300යි. මෙහේ ගොඩක් තැන්වල වේල් දෙකයි කන්නේ, උදෙයි රෑටයි. දවල්ට නෑ. ඉතුරු උනොත් කනවා. තේ බීලා ඉන්නවා’ මේක තමයි ගොවිතැනක් කරන්න වතුර නැති වැලිඔය කතාව. දවසට රුපියල් 300ක් උනාම මාසෙට සතියට ආදායම රුපියල් 2100යි. සතියට හාල් කිලෝ 10ක් යනවා මේ පවුලට සාමාන්‍යයෙන්. හිතලා බලන්න තත්ත්වය. සමහර ගෙවල්වලට දවසට රුපියල් 300 ආදායමත් නෑ.

මම ඊට පස්සේ කතා කළේ මොනරාගල ධම්මික ට. මිනිහා වෙනස් මානයක් ලකුණු කළා.

මොනරාගල වතුවල තතු

‘මොනරාගල රබර් වතුවලින් අලියාවත්ත මොනරකැලේ වත්ත වගේ වතුවල කුළිය කරලා ජීවත් වෙන අය විතරයි ඉන්නේ. මේ ගම්දෙකේම පවුල් 1000ක් විතර ඉන්නවා. රස්සාවල් නෑ දැන් මිනිස්සු කුලී දෙන්නෙත් නෑ. මේ වතුත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් මේ මිනිස්සුන්ට කන්න සල්ලි නෑ. වේල් දෙකක් නෙවෙයි එක වේලත් කොහොම හොයා ගන්නවාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි. ‘

මොනරාගල වතුවල තත්ත්වය මෙහෙම වෙනකොට බඩඉරිඟු කරලා බඩවියත රැකගත්ත කොටියාගල ඇතිමලේ වගේ පැතිවල මිනිස්සුන්ට සොරි වෙලා තියෙන්නේ. ඒ බඩ ඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙච්ච නිසා.

ඉතිං ලංකාව වටේම ඉන්න, වාටියේ මිනිස්සු, එහෙම නැත්තං ගෝඨාභය රාජපක්ෂට රට බේරා ගන්න ඡන්දය දුන්න පොඩි මිනිස්සුන්ගේ බඩේ ප්‍රමානය තමයි ඔය මම ලීවේ. දැන් ගොඩක් අයගේ ආමාශේ හැකිලිලා. උස් හඬින් රට ජාතිය ගැන කතා කරන්න වචන පිටවෙන්නෙත් නෑ. දැන් ෂැපද? කියලා අහන්නවත් පණක් මේ මිනිස්සුන්ට දැන් නෑ. දැන් ඉතිං සවුබාග්ගේ තමයි මේ උදාවෙලා තියෙන්නේ..

ඉතිං දැන් ෂැපයි අපිටනම්…!!

කේ. සංජීව

aithiya

Related posts