ධනේශ්වර විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ?

danawadaya

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම තුලින් ජනතාව බලාපොරොත්තු වූයේ ඔහු විසින් සංකල්පගත කරන ලද සිහින ලෝකයට පිවිස එහි වාසය සඳහා අවස්තාවක් උදාකර ගැනීමයි.

මෙම බලාපොරොත්තු ව වූ කලී 2005 න් ඇරඹි රාජපක්ෂ විධික්‍රමය මඟින් පීලි පන්නනු ලැබූ එවකට වැඩෙමින් තිබුනු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවට ආදේශකයක් වශයෙන් ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබූ ගජමිතුරු ධනවාදයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ ම සහෝදරයා විසින් ජනතාව වෙත දෙනු ලැබූ සංකල්පගත සිහින ලෝකයකට පිවිසීමට තිබූ ආශාවයි.

2015 දී බලයට පැමිණි යහපාලකයන් විසින් මෙම ගජමිතුරු ධනවාදි පිලිවෙත ඉවතලා නැවතත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද රාජපක්ෂවරුන් විසින් බිහිකරන ලද ගජමිතුරු ව්‍යාපාරික ප්‍රජාවේ ක්‍රියාකාරිත්වය විසින් යොදන ලද පීඩනය තුලින් එම යහපාලන උත්සහය ව්‍යවර්ත කරන ලදුව ඔවුන් විසින්ම ඔසවා තබන ලද ඔවුන්ගේ නියෝජිත ගෝඨාභය රාජපක්ෂ, එම රාජපක්ෂ විධික්‍රමය හෙවත් ගජමිතුරු ධනවාදි පිලිවෙත ඉදිරියට ගෙනයාමේ අවබෝධය පිට බලයට පමුනුවන ලදී.’

රාජ්‍යය සූරාකන ගජමිතුරු ධනවාදය

මෙම ගජමිතුරු ධනවාදයේ පැහැදිලි ලක්ෂණය වනුයේ බලයට පැමිණෙන ආණ්ඩු විසින් රාජ්‍යය සූරාකෑම යි. මෙම සූරාකෑම බොහෝ විට කළ හැකි වන්නේ රාජ්‍යය ව්‍යායාපාරවලට අරක්ගෙන සිටින රටවල පමණි. එසේ රජයේ ව්‍යපාර වලින් මුදල් සයිෆන් කිරීම යනු, රාජ්‍යය මුදල් ටෙන්ඩර් මගඩි හා අනිකුත් ක්‍රම මගින් තම හිතමිතුරන් අතට පත්කිරීම හා රාජ්‍යය ආයතන වල මහා පරිමාන ව්‍යපෘති හරහා තම කොටස වෙන්කර විදේශවල වල තැන්පත් කිරීම ආදිය යි. මෙම හේතුන් නිසා දේශීය සම්පත් රැකගැනීම යන ලේබලය මුවාවෙන් රජයේ ආයතන ප්‍රතිව්‍යහගත නොකර දිගට ම එම තත්වයෙන් පවත්වාගෙන යෑමට බොහෝ දේශපාලකයෝ උත්සුක වෙති. එසේ ම 2005න් පසු ඊට පෙර රජයන් සතුව තිබී විකුණා දැමූ සමහර ව්‍යාපාර ආයතන නැවතත් රජය යටතට පත්කිරීම හරහා රජයේ ව්‍යාපාර වපසරිය පුලුල් කිරීමටද කටයුතු කරනු ලැබීය.’

දේශපාලකයන් රාජ්‍ය ව්‍යාපාර වලට අතපෙවීම නිසා නොවැලැක්විය හැකි ලෙස සිදුවන දුෂණහා අක්‍රමිකතා හෙලිවීම තුලින් මතුවන විරෝධය මැඩ පැවැත්වීම සඳහා අල්ලස් වශයෙන් ඉහළ නිලධාරීන් එම දුෂණ වලට සම්බන්ධ කර ගැනීම, වාහන පර්මිට්, විදේශ සංචාර, ඉන්ධන ආදිය ද, සාමාන්‍ය ජනතාවට මහා පරිමාන රජයේ රැකියා සැපයීම ද කරගෙන යනු ලැබීය. එක් රැකියා අවස්ථාවක් සඳහා කීප දෙනෙක් බඳවා ගැනීම තුළින් බොහෝ විට මිනිස්බල අතිරික්තයක් පැවතීම ද කාර්යභාරයක් නොමැතිව වැටුප් ලබාගන්නා අවස්ථා ද තම නිල බලය භාවිත කොට සේවාදායකයන්ගෙන් අල්ලස් ලබාගැනීම ද රාජ්‍ය යන්ත්‍රය තුල සුලභව දක්නට ඇති ලක්ෂණ බවට පත්ව ඇත.’

ජාතික ධනය ගිලින ඊනියා “ ජාතික සම්පත් “

ඒ සමඟම සියලු දූෂණයන්ගෙන් ගහන ඉතා අකාර්යක්ෂම, නීතිගත ඒකාධිකාරී බලය නිසා ම පවත්වාගෙන යන ජාතික ධනය අධික ලෙස පරිභෝජනය කරන ආයතන ජාතික සම්පත් ලෙස අර්ථදැක්වීමට තරම් ඒවායේ සෙවා නියුක්තිකයන් නිර්භය වී ඇත. එබැවින් මෙම ආයතන ප්‍රතිව්‍යහගත කිරීම මඟින් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට දේශපාලකයන් මෙන්ම ඒවායේ සේවකයන්ද කැමති නැත.
ආර්ථිකයේ මර්මස්ථාන සියල්ලම පාහේ රජය අරක්ගෙන සිටිම සහ ඒවායේ ඒකාධිකාර පවත්වාගෙන යෑම හරහා සිදුවෙමින් පවතින්නේ රජයේ ජානගත අකාර්යක්ෂමතාවය සහ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ උද්දච්ච සහ තක්කඩි හැසිරීම ඉවසා දරා ගෙන ලැබෙන දෙයකින් සතුටු වී කාලය ගතකිරීමට ජනතාවට සිදුවීම විනා අදාළ ක්ෂේත්‍ර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සමාන්තරව යාවත්කාලීන කරගැනීම සඳහා අවශ්‍ය සංවර්ධනය ලඟාකර ගැනීමට නොවේ.

වඩාත්ම හානිදායක තත්ත්වය උදාවී ඇත්තේ මෙම මතවාදය රටේ සිවිල් සමාජයේ මතවාදය ලෙස ස්ථාපනය වී තිබීම නිසා යි. මෙයට හේතුසාධක විය හැක්කේ සමාජයේ මතවාදය පතුරුවන්නන්ගෙන් වැඩිකොටස රජ්‍ය සේවයේ යුතු වූවන් වන බැවිනි. මෙහි පවතින හානිදායක තත්ත්වය නම් ඒ තුළින් මේ අවස්ථාවේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ප්‍රතිගාමී ලෙස අර්ථ නිරූපනය කිරීම මඟින් මහජන විරෝධය අවුලුවාලීමත් ඒවා වලකාලීමට තමන්ගේ ආයතනික සහ සිවිල් බලය පාවිච්චි කිරීමටත් මෙම කණ්ඩායම් පෙළඹී සිටීම යි.’

වෙළෙඳ ගිවිසුම් වැනසූ වෘත්තිකයින්ගේ සංවිධාන

යහපාලන සමයේ යෝජනා කළ ද්විපාර්ෂවික සහ බහුපාර්ෂවික වෙළඳ ගිවිසුම් සියල්ල නිෂප්‍රභ කිරීමට සියලුම වෘත්තිකයින් පොළඹවා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකිවීම මෙම තත්ත්වය විග්‍රහ කිරීමට දියහැකි හොඳම උදාහරණය යි.
අතාර්කික මතවාදයන් මත පදනම් වූ රාජපක්ෂ ගජමිතුරු ධනවාදී ක්‍රමය විසින් ඇතිකරනු ලැබූ ව්‍යාජ සංවර්ධනය සහ එයට සමාන්තරව සිදු වූ ශ්‍රී ලංකා රාජ්‍ය එම ආණ්ඩු විසින් කොල්ලකෑම යන අකටයුතු ජනතාවගෙන් වසංකර තැබුණේ එම අස්ථානගත වූ මුදල් විදේශීය ණය මගින් ප්‍රතිපූර්නය කිරීම මඟින් තුලනය කරනලද අයවැයක් ජනතාවට පෙන්වීම මාර්ගයෙනි. එසේ ජනතාවගෙන් සගවා තබන ලද විදේශ ණය ආපසු ගෙවීමට ඔවුන්ගේ ම මුග්ධ මුදල් කළමණාකරණය නිසා අපොහොසත් වීම හේතුවෙන් අද වන විට රට ආර්ථික අතින් බංකොළොත් භාවයට පත් වී ඇත.

මෙම අතාර්කික මෙන් ම විනාශකාරී විධික්‍රමය අද වනවිට බහු අවයව අක්‍රිය වීමේ රෝගයට ගොදුරු වීම නිසා රජයේ සියලු ව්‍යාපාරික අවයව අක්‍රිය තත්ත්වයකට පැමණීමෙන් තීරණාත්මක අවසානයකට පැමිණ ඇත. මේ සඳහා ස්වභාවික ඖෂධ නොමැති අතර අවශ්‍ය නම් ජනතා කැමැත්ත නැමැති ඖෂධය ලබාදීමෙන් පමණක් යළි පනගැන්විය හැකිය.

අර්බුදය, අවස්ථාවක් වීම

මේ අතර ඉන්ධන අර්බුදය තුළින් අත්විඳින්නට සිදුවී ඇති තත්වය සමනය කරගැනීම සඳහා මෙතෙක් කල් පවත්වාගෙන ආ ඉන්ධන ඒකාධිකාරය බිඳ දමා එය විවෘත වෙළඳපොළක් බවට පත්කිරීමට ආණ්ඩුවට සිදුව ඇත. මෙම අවස්ථාවේ මෙතෙක් ජාතික සම්පතක් ලෙස අර්ථදැක්වූ ඛනිජ තෙල් සංස්ථාව රැක ගැනීමට ජනතා සහාය ලබාගැනීම අසීරු වී ඇත. ඒ එම ව්‍යාජ මතවාදය තුළින් පවත්වාගෙන ආ ආර්ථික ක්‍රමයේ අසාර්ථකභාවය තවදුරටත් ජනතාවගෙන් වසංකර තැබීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බැවිනි. මෙම පියවර රජයේ අනිකුත් ව්‍යාපාරවල ඉදිරි පැවැත්ම පිලිබඳ ඉගියක්, එනම් ඒවා ප්‍රතිව්‍යහගත කළ යුතු බවට නිවේදනයක් බවට පත්වෙයි. මෙම ආරම්භය පාදක කරගෙන අනෙකුත් ක්ෂේත්‍ර රජයේ ග්‍රහනයෙන් මුදාගෙන නිසි නියාමනයක් යටතේ තරගකාරී වාතාවරනයක් ඇතිකර පවත්වාගෙන යෑම සඳහා රජයට බලපෑම් කිරීම මේ අවස්ථාවේ ජනතාව සතු වගකීමකී.

මෙසේ ග්‍රහනයෙන් මුදාගත යුතු අනෙකුත් ක්ෂේත්‍ර ලෙස විදුලිබලය, ප්‍රවාහනය, වරාය, ගුවන් සේවා, බැංකු සහ ඉඩම් ප්‍රධන වශයෙන් ඇතුළත් වෙයි.

විපක්ෂයට බැරි “ සිස්ටම් චේන්ජ් “

ඒ හැර මේ දිනවල විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ ප්‍රකාශන පරිදි වංචා හා දුෂණ යෙන් තොරව, පවතින ක්‍රමය ඔවුන්ගේ නායකත්වයෙන් ඉදිරියට ගෙනයාම කළ හැකි බව ප්‍රකාශ කළ ද මෙතෙක් පැවති ජනප්‍රිය ක්‍රමවේද තුළින් අපේක්ෂිත ප්‍රතිඵල කිසිදා ලබාගත නොහැකි වන අතර අරගලය අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක ද කිසිදා සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත.
මාර්තු 31 මිරිහානින් සංකේතවත්ව ඇරඹි නුතන අරගලයේ බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක, ඵල දැරීමේ සාධනීය ලකුණු මෙ වන විට එලිදකිමින් පවතී.

ඒ ඉහත දැක්වූ වෙනස්කම් සිදුකිරීමෙහි ආරම්භයත් සමගිනි.

එහෙත් මෙම තත්වය තේරුම් ගැනීමට පවතින කිසිම දේශපාලන පක්ෂයකට හැකිවූයේ ද යන්න සැක සහිත ය. මෙ වන විට තත්ත්වය යම් තරමකට හෝ තේරුම් ගත් දේශපාලකයන් කීපදෙනෙකුගේ සහභාගිත්වයෙන් නව ආණ්ඩු ව නිල නොවන මට්ටමෙන් සර්ව පාක්ෂික ලෙස ගොඩනැගුෂණ ද එය නිල වශයෙන් සර්ව පාක්ෂික ලෙස පිලිගැනීමට හෝ නිල වශයෙන් සර්ව පාක්ෂික බවට පත්කර ගැනීමට හෝ බරපතළ උතිසාහයක් පවතින බවට සාක්ෂි නැත.

තේරුම් නොගත් පණිවිඩය

මෙයින් පෙනීයන්නේ රටේ ප්‍රධාන විපක්ෂය හෝ අනෙකුත් පක්ෂයක් හෝ අරගලයේ පණිවිඩය තේරුම් නොගත් බව හෝ තම දිගුකාලීන පාක්ෂික බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමේ අරමුණ හමුවේ රටේ අවශ්‍යතාවය දෙවැනි තැනට දමා ඇති බව යි.
ඔවුන් කෙසේ කල්පනා කළ ද අරගලය ඉල්ලූ වෙනස සිදුවෙමින් පවතින අතර එය සම්පූර්ණ කර ගැනීම සඳහාද මීට වඩා සුදුසු කාලයක් නැවතත් ඇතිවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බැවින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම ජනතාව සතු වගකීමකි.

කීර්ති ගොඩිගමුව

Related posts