මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!

2020 මුල මං බණ්ඩාරගම ඉඩමක් ගත්තා. ටවුමට කිලෝමීටරයයි. මං බණ්ඩාරගම තියෙන පුළුල්, තැනිතලා අවකාශයට, ටවුම වටේ තියෙන ජලාශවලට කැමතියි. අපි පදිංචිය මාරුකරන්න හිටියෙ එහෙට.

ඒත්, කොරෝනා පිස්සුව යද්දි මට දැනුණා රට ආර්ථික වශයෙන් අනාථ මාවතේ කුණාටු සාගරේ බව. මට බණ්ඩාරගම ගේ හදන්න වෙන්නෙ නැති බව. එහෙම හිතුවෙ සිමෙන්ති කොට්ටෙ රුපියල් අටසීයක් වෙන්නත් කලින්. ඒත්, ඒ වෙනකොට අපි මුලින් හදපු ගමේ ගෙදර එපාවෙලා තිබුණෙ. ඊට වඩා පහසු තැනකට යන්න ඕනැ කියල තීරණය කරලයි තිබුණෙ.

ඒ නිසා මං 2021 මුල මතුගම – කලුතර පාරෙ පොදු ප්‍රවාහනයට ඉතා පහසු තැනක බාගෙට හදපු ගෙයක් අරගෙන ඉතුරු ටික 2021දීම සම්පූර්ණ කරගත්තා. බිරිඳ, ළමයි එහෙම ගෙයි ප්ලෑන් එකට එච්චර කැමති වුණේ නැති වුණත්, මං විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා ලොකු වෙනස්කම් නොකර ගේ සම්පූර්ණ කරගෙන 2021 ඔක්තෝබර්වල පදිංචියට ආවා.

බණ්ඩාරගම ඉඩම සුළු මිලක් වැඩියෙන් තියාගෙන විකිණුවා. යට කරපු මුදලට ලැබිය යුතු ප්‍රතිලාභය මදි නිසා ඇත්තෙන්ම පාඩුයි. වයිෆ් පොඩි ලෝන් වගයක් ගත්තා. කොම්පැනියෙන්, මල්ලි කෙනෙකුගෙන් එහෙම ගත්ත ණයත් පහුගිය දවස්වල ගෙව්වා. ගෙවල් හදන චැප්ටර් එක ක්ලෝස් කළා. බණ්ඩාරගම ගෙවල් හදන්න හිටිය නම්, අපි තාම ඒකෙ ස්ලැබ් එකක් විතරක් යන්තමට දාගෙන පරණ ගෙදර.

ඔය අතරෙ මට පොඩි පැන්ෂන් එකක් ලැබෙන්න පටන්ගත්තා. බැංකුවලින් කතාකරලා විශ්‍රාමිකයන්ට දෙන ණය දෙන්න ඉදිරිපත් වුණා. මට හිතුණා අර අපේ පරණ ගෙදර ඉංග්‍රීසි අධ්‍යාපන කඳවුරු කරන්නට පුළුවන් තැනක් හෝ හෝම් ස්ටේ නවාතැනක් විදියට සංවර්ධනය කරන්න.

ඔය අතරෙම තමයි ආර්ථික අර්බුදය උත්සන්න වුණේ. මං ආයෝජන සැලැස්ම වෙනස් කළා. තව ටිකක් කල් යනකල් ආයෝජන කරන්න බලාපොරොත්තුවක් නැහැ.

මං මේ විස්තරේ කිව්වෙ මේකයි. මං සාමාන්‍යයෙන් ජීවිතේ කරපු තරමක් කරල තියෙන්නෙ ආර්ථික වශයෙන් ගොන් තකතීරු වැඩ. ශ්‍රී ලංකාව වගේම තමයි. මගේ ජීවිතේ ව්‍යවසායකත්වය පැත්තෙන් ටර්න් එකක් ගත්තෙ මගේ පොඩි කාලෙ ඉඳන් යාළුවෙකු වන රාජේන්ද්‍ර විජේසිංහ එක්ක හවුල් බිස්නස් එකක් පටන්ගත්තට පස්සෙ. කොරෝනා එන්නත් කලින් මං යූඑන් එකේ කරමින් හිටපු රස්සාව අතෑරලා පූර්ණකාලීනව බිස්නස් එකට බැස්සා. ‍කොරෝනා සහ ආර්ථික අර්බුදය මැද්දෙ මං ගත්ත නිවැරදි තීන්දු ගැන මට ටිකක් සතුටුයි.

දැන් අපට වාහනයක අවශ්‍යතාවත් අඩුයි. ප්‍රධාන පාරක් අසල ඉන්න නිසා වැඩිපුර පාවිච්චි කරන්නෙ පොදු ප්‍රවාහනය.

අපි දැන් සූදානම් වෙන්නෙ මහා ආර්ථික අවපාතයකට මුහුණදෙන්න. ඒක අවුරුදු ගණනාවක් ගතවෙයි කියලයි අපි හිතන්නෙ. අපේ ළමයින් වැඩිහිටියන් වෙන්නෙ අර්බුදකාරී පරිසරයකට. ව්‍යවසායකත්වය ගැන බැරෑරුම්ව හිතන්න ඕනැ. ළමයිනුත් ඒ පැත්තට යොමුකරන්නට ඕනැ. ඒක තමයි අනාගත බලාපොරොත්තුව. රටේ අනාගතය රැඳෙන්නෙත් මහජනයාගේ ව්‍යවසායක මැදිහත්වීම් මත. අපි වැඩ කළොත් රටත් ගොඩ. වෙන ගොඩයන පාරක් නැහැ.

මේ අතරෙ මට පේනවා, අපේ සමාජයේ චර්යාවන්. මට නම් ඇත්තටම පිස්සු වගේ. මිනිස්සු පෝලිම්වල වේලෙනවා. තෙල් ගහගෙන වෙනදා වගේම වහනවලින් එහෙ මෙහෙ යනවා. මං නම් කල්තබාම අවුරුද්දකට කලින් බයිසිකලයක් ගත්තා. ළමයින්ගෙ ටියුෂන් මළවදේ නැතිනම් මං මෝටර් සයිකලෙත් පාවිච්චි කරන්නෙ නැහැ.

මේක ලියන වෙලාවෙ කිට්ටුව ගෙදරක කොටහලු මගුලක බෑන්ඩ් එකක් දවලුත් ප්ලේ කරලා දැනුත් ප්ලේ කරනවා. පාර අයිනෙ වෙල ගොඩකරගෙන යන්තං ගෙයක් අටවගත්ත පවුලක්. මේ මගුල් කන්නෙ ණය වෙලා වෙන්න ඇති. අපේ ගෙදරත් ගෑනු ළමයි දෙන්නෙකු ඉන්නවා. වැඩිවිය පැමිණිදාට පහුවදාත් ඉස්කෝලෙ ගියා. ඒකෙ කිසිම ඉවන්ට් එකක් තිබුණෙ නැහැ.

මේ මෝඩ ජනතාව ගැන පුදුම වෙන්න ඕනැ නැහැ, මතුගම අවට මේ ආර්ථික අර්බුදය පටන් ගනිද්දි අලුතෙන් කීල්ස්, කාගිල්ස් බිග්සිටි, සම්පත් ෆුඩ් සිටි, රත්න සුපර් ආදී වශයෙන් සුපර් මාකට් රැසක් විවෘත වුණා. ඔය ලොකුවට සුපර් මාකට් දාන පොඩි බිස්නස්කාරයන්ට නම් බිස්නස් ඇනැලිසිස් එකක් කරන්න තේරෙන්නෙ නැහැ කියමුකො. ඒත්, කාගිල්ස් වගේ කොම්පැනියක් මතුගම දෙවෙනි සුපර් මාකට් එකකුත් විවෘත කළා. දැන් මේ සුපර් මාකට්වල කෝ බඩු? ඔක්කොමත් හරි, මේ දවස්වල කීල්ස් එක හරියෙ පීසා හට් එකක් දාන්න ගොඩනැගිල්ලක් හදනවා. පීසා! දවස් දෙක තුනකට කලින් මට යාළුවෙකු කිව්වා බදුරලිය පැත්තෙ හාල්වලට මිනිසුන් ගහගත්තාය කියලා.

අද මතුගම ශ්‍රවණාගාරෙ ලාෆ් ගෑස් සිලින්ඩර් 650ක් එනවාය කියලා උදේ සිට පෝලිම. මං ගාවත් අවුරුද්දකින් පුරෝපු නැති කහපාට කිලෝ පහේ සිලින්ඩරයක් තියෙනවා. ඒක පුරවන්න පෝලිමේ දවසක් යනවට වඩා හොඳයි දරලිපක් හදාගන්නවා. පුළුවන් තරම් මයික්‍රො වේව් එකෙයි, රයිස් කුකර් එකෙයි උයාගන්නවා. ඔක්කොම එකට දාලා වන්පොට් මීල් හදලා බලන්න. ඒක වෙනස් රසයක්. එක එක ජාති තැම්බෙන්න ගතවෙන වෙලාව ගැන අවබෝධයක් තියෙනවා නම් රසට හදාගන්න පුළුවන්. සවස 5 පහුවෙලා මං වෙන වැඩකට ගිහින් ශ්‍රවණාගාරෙ ළඟින් ආවා. ගෑස් ඇවිත් තිබුණෙ නැහැ. ඒ මදිවට ටවුමෙ පාරවල් ඔක්කොගෙම තෙල් පෝලිං.

මං දන්නවට වඩා නොදන්න ආර්ථික විද්‍යාව අනුව, ලංකාවට තව අවුරුදු පහකටවත් වර්තමානයෙදි අත්‍යවශ්‍ය යයි සලකන ආනයනවලට ප්‍රමාණවත් තරම් අපනයන ආදායමක් ලැබෙන්නෙ නැහැ. විදේශ සංචිත ශක්තිමත් කරගන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිතන තරම් ලොකු උපකාරයක් ලැබෙන්නෙත් නැහැ. ණය ප්‍රතිව්‍යූහගත කරගන්න එකත් ලේසි නැහැ. එහෙම කරගත්තත් අලුතෙන් ණය ගන්නත් අමාරුයි.

මේ රට ඉතා දීර්ඝ කාලයක් දිව්වෙ විදේශ ණයවලින්. එහෙම ණයට ගත්ත සල්ලි විදේශ සංචිතවල දාලා ඉන් පස්සෙ රුපියල ශක්තිමත් කරන්න වියදම් කළා. ඒ විදියට, රටට ආනයනය කළ සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම ආණ්ඩුව ණයට ගත්ත විදේශ විනිමය වැය කරලායි තිබුණෙ. අපි චූන් එකේ හිටියෙ එහෙම. ආයෙත් අපි දේශපාලකයන්ගෙන් අපේක්ෂා කරන්නෙ ඒ චූන් එක. හම්බවෙයි උඹලට! ණයට ගත්ත සල්ලි ඔක්කොම රාජපක්ෂලා හොරකං කළාය කියලා තව රැවටියල්ලා. උන් හොරකං කරන්න ඇති. හැබැයි, මතක තියාගනිල්ලා ඒ ණයවලින් සෑහෙන ප්‍රමාණයක් රුපියල ශක්තිමත් කරන්න වැය කළා. අපට ලාබෙට ලැබුණු සියලු බඩු ආනයනය කරන්නත් කලින් ආණ්ඩුව ඒව වෙනුවෙන් සල්ලි ගෙව්වා.

වැදගත්ම කාරණය තවදුරටත් ලෝකෙ කිසිම රටක් අපට පිනට දෙන්නෙ නැහැ.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න අපට සෑහෙන කාලයක් ගතවෙනවා. ඊට කලින් දෛනිකව අතිවිශාල දුෂ්කරතා ප්‍රමාණයකට අපට මුහුණදෙන්නට සිදුවෙනවා. ව්‍යාපාර, කර්මාන්ත වැහෙනවා. රස්සා නැතිවෙනවා. ආහාර හිඟවෙනවා. රුපියල නැත්තටම නැතිවෙන්නට පවා ඉඩ තියෙනවා. දැන් ඔය මට දුන්නොත් මං කරනව කිය කිය කයිවාරු ගහන වෙන්ඩ ජනාධිපතිලා පෝලිමේ ෆේල් වෙනවා. ජනතාව හාමතේ මැරෙනවා.

මේ ටික කාටද තේරෙන්නෙ? මධ්‍යම පන්තිකයන්ට වගේ වගක් නැහැ. අපේ ළමයි ගුරුවරුන් දෙන එක එක උපදෙස් අනුව එක එක දේ ඉල්ලනවා.

“පරිසර නියමු එකට නෝට් ගොඩක් තියෙනවා ප්‍රින්ට් අවුට් ගන්න ඕනැ තාත්තෙ.”

තාත්තට මළ පනිනවා. “මොකක්ද යකෝ පරිසර නියමු එකට ගහන ප්‍රින්ට් අවුට්. කඩදාසිත් නැහැ, ටෝනරුත් නැහැ. පරිසර නියමු ඕනැ නැහැ. මයියොක්ක දණ්ඩක් හිටවන්න වරෙන්.”

“තාත්තෙ, පොසොන් එකට සීල ව්‍යාපාරෙට ළමා සාරියක් ඕනැ.”

“ළමා සාරියක් මැහුව කියමුකො. සිල් අරගත්තට පස්සෙ ඒකට මොකක්ද කරන්නෙ?”

“ලබන අවුරුද්දෙ සීල ව්‍යාපාරෙට තමයි ඉතින්.”

“එතකොට උඹල හැදිල ඒක අඳින්න බැහැනෙ. ඒ නිසා ගවුම උඩින් උතුරු සළුව දාගෙන සිල් ගනින්.”

ලබන මාසෙ ස්කූල් සර්විස් එකට ළමයි දෙන්නට රුපියල් අටදාහක් විතර වේවි. ඒ අස්සෙ ඉස්කෝල ගුරුවරු රිසල්ට් පෙන්නන්න හැමදාම හවස පන්ති දානවලු. අර අටදාහක් ගෙවන බස්සෙකේ හවසට එන්න විදියක් නැහැ. මං යන්න ඕනැ තෙල් ගහගෙන වෙනම.

“තෙල් නෑ. වරෙව් බස්සෙකේ.”

ඒ දවස්වල අපි කාපු බීපු දේවලින් දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් කපාහැරලා ඉවරයි. කඩවලින් කන්නෙම නැති තරම්. ට්‍රිප් යන්නෙම නැහැ. වියදම් අහස උසට. පඩිය එතනම. මගේ බිරිඳ පෝච්චිවල වවනවා. දැනටත් අපි පළා වැඩි හරියක් නෙළාගන්නෙ වත්තෙන්මයි. තණකොළ වවපු ඉඩ අඩු කරලා තව පෝච්චි ටිකක් තියන්නයි සැලැස්ම. මේ හරියෙ හොඳ පස් නැහැ. ගේන්නෙ ගමෙන්. අපි එහෙමයි. මේ වෙලාවෙ අර කොටහලු මගුල් ගෙදර ස්‍රැතියට කිට්ටුවෙන් සිංදුවක් යනවා ‘හිතවත මේ ලෝකෙ බොරූවෙන්ද ජය ගන්නේ – සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ’. අනේ උකහාගනිල්ලා.

මේ සමාජයෙ ජනාධිපතිගෙ ඉඳන් පාරෙ ඉන්න හිඟන්නා දක්වාම හැමෝටම පිස්සු. මධ්‍යම පන්තිකයන්ට තවම සල්ලි තියෙනවා. ඒ නිසා උන් හිතන්නෙ උන්ගෙ හිතාදර පක්ෂෙ බලයට ගෙනාවොත් වැඩේ හරි කියලයි. මොකා ආවත් අපි තාම වලේ පතුලවත් හරියට දන්නෙ නැහැ. තවම වැටෙනවා.

වලට වැටෙන අතරෙ ‘ගත දැවටෙන මේ – සීත සුළං රැල් – අහෝ සැපයි කීවාලූ.’

මං වගේ ස්මාට් පුරවැසියෙක් වෙයව්! එහෙම බැරිනම්, බෝට්ටුවෙන් හරි වෙන රටකට පලයව්!

අජිත් පැරකුම් ජයසිංහ

praja

Related posts