ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමෙන් යළි කරළියට එන පසුගාමී යටත් විජිත වගන්තිය

sehanmalak

රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම්සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන අදහස් හේතුවෙනි. බැලූ බැල්මට ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාපටිපාටියට පටහැනිය.

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඇතිව මෙන්ම ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිවද අත්අඩංගුවට ගැනීමේ හැකියාව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සාම නිලධාරීන්ට තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) ව්‍යවස්ථාවට අනුව අත්අඩංගුවට ගැනීමට හේතුව ෂෙහාන් මාලකට ප්‍රකාශ කිරීම ඕනෑකමින්ම සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් මගහරින බව එම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේදී ෂෙහාන් මාලක විසින් සමාජ මාධ්‍යයට නිකුත් කල වීඩියෝ පටයට අනුව පෙනුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාට අනුව ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනෙන්නේ ඔහුවිසින් පාස්කු ප්‍රහාරය පිළිබද මාධ්‍ය වෙත කරනු ලැබූ අදහස් දැක්වීමක් හේතුවෙනි. එනම් ඔහුගේ අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ අදහස් දැක්වීමක් හේතුවෙනි. භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස පරදුවට තබා ඇත.

ආණ්ඩුවට විරුද්ධ අදහස් දැක්වීමකදී ඉහත කී මූලික අයිතිවාසිකම යටපත් කරමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් යොදා ගැනෙන දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය මෙම අත්අඩංගුවට ගැනීමේදීද යොදා ගෙන ඇතැයි වාර්තා වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යනු පසුගාමී වැඩවසම් යටත් විජිත නීතියකි.

“කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැගීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත්කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමෙහි දී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත්කරතොත් හෝ නීත්‍යනුකූල මාර්ග වලින් නොව අන් ලෙසකින් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබදු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූද අසමරැගි වූද හැගීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ යුතුය ”

මේ එකී 120 වගන්තියයි. වර්ෂ 1885 ජනවාරි පළමුවැනි දින ස්ථාපිත කල දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් මෙම වගන්තිය රජතුමාගේ වැඩවසම් පාලනය ආරක්ෂා කොට පවත්වාගෙන යාම සදහා පැනවූවක් මිස අන් යමක් නොවේ.

වගන්තියේ සදහන් වන පරිදිම එදා රජතුමා සහ රජතුමාගේ ආණ්ඩුව තිබුණද අද ලංකාවේ පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටය.

පාලකයන් පත් වන්නේ මහජන ඡන්දයෙන්ය. මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය යනු ජනතා පරමාධීපත්‍යයේ අනන්‍ය කොටස්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව කියන්නේ එයයි. මෙම 120 වගන්තිය සම්පූර්ණයෙන්ම ජනතා පරමාධිපත්‍යයට පටහැනිය.

මෙම 120 වගන්තිය භාවිතා කල ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරද මෙම වගන්තිය ආණ්ඩුවට විරුද්ධ අදහස් දැක්වීම් මර්ධනය සදහා භාවිතා කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය 2018 වසරේදී අත්අඩංගුවට ගැනීමටද මෙම වගන්තිය යොදා ගන්නා ලදී.

වර්ෂ 2021 ජූනි මස 08 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණයන් සිදු කරමින් කොවිඩ් 19 මර්දනය කිරීමේ වැඩපිළිවෙලට බාධා පමුණුවන්න් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පවසමින් ඒ සදහා යොදා ගන්නා නීති ගණනාවක් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන ලදී.

එකී නීති අතර පළමුවෙනියට සදහන් කර ඇත්තේද මේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියයි. මේ ආකාරයට අවස්ථා ගණනාවකදී 120 වගන්තිය යොදා ගනිමින් භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

විරෝධතාවයක් හෝ දේශපාලන මතයක් ඉදිරිපත් කිරීම අපරාධ වරදක් කරීම හා එය යටපත් කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවද පාර්ශවකරුවකු වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනයක්.

එකී සම්මුතියේ 19 වන වගන්තිය මගින්ද මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශණයේ 19 වන වගන්තිය මගින්ද භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස බාධාවකින් තොරව පුරවැසියන්ට සහතික කරන ලෙස රාජ්‍යයන්ට බල කර සිටියි. ජාත්‍යන්තර සම්මුති කොයි හැටි වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යයයේ කොටසක් වන මූලික අයිතිවාසිකම් යටතේ 14 (1) (අ) ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇති බවත් එය 15 (2) ව්‍යවස්ථාවෙන් පෙන්වා දී ඇති වාර්ගික හා ආගමික සහයෝගිතාවය තහවුරු කිරීම සදහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබූ සීමා කිරීම් වලට යටත්ව භාවිතා කල යුතු බවත් දක්වයි. 120 වගන්තියේ සීමා කිරීම් මෙම 15(2) ව්‍යවස්ථාවෙන් ආවරණය නොවන බව පැහැදිලිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරන ලද SC/FR 768/2009මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ගුණරත්න ප්‍රකාශ කලේ මහජන සාමය කඩවීමට හේතු නොවන්නේ නම් ආණ්ඩුවට එරෙහිව කොතරම් දැඩි වචන මගින් කුමන ආකාරයක අදහසක් පළ කලද 120 වගන්තිය යටතේ පුද්ගලයකුට නඩු පැවරීමට පදනමක් කර ගත නොහැකි බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ 120 වගන්තියේ හරය වන්නේ ප්‍රශ්නයට තුඩු දී ඇති වචන ප්‍රචණ්ඩත්වයට හෝ මහජන සාමය කඩකිරීම් සදහා මිනිසුන් පෙළඹවන්නේද යන්න මිස එකී වචන අපහාසාත්මකද නැද්ද යන්න නොවන බවයි.

(https://www.supremecourt.lk/images/documents/sc_fr_768_2009.pdf)
මෙම 120 වගන්තිය ඉංග්‍රීසි පොදු නීතියේ එන දේශද්‍රෝහීත්වය නම් වරදට බොහෝ සෙයින් සමානය. මෙම 120 වගන්තියේ සදහන් කරුණු නිශ්චිත නොවන අතර අපැහැදිලිය. එමෙන්ම එය අනවශ්‍ය ලෙස පුළුල්ය. මේ හේතුව නිසාම මෙම වගන්තිය ආණ්ඩුවට හෝ රාජ්‍යයයේ බලාධිකාරීන්ට අවශ්‍ය පරිදි ඔවුන්ට එරෙහි විවේචන හා අදහස් යටපත් කිරීමේ අරමුණින් භාවිතා කිරීමේ මග සැලසෙයි.

බොහෝ විවේචකයන්ගේ අදහස වන්නේ මෙම වගන්තිය මගින් රාජද්‍රෝහිත්වය වරදක් කරමින් නිශ්චිත නොවන පුළුල් නිර්වචනයක් සපයන බවත් එය ආණ්ඩුවේ හා එහි නිල බල ධාරීන්ට එරෙහි අදහස් යටපත් කිරීම සදහා ඉතා ලිහිල් ආකාරයෙන් භාවිතා කර ඇති බවත්ය. (https://www.cpalanka.org/wp-content/uploads/2018/09/Confronting-Accountability-for-Hate-Speech-in-Sri-Lanka-2018.pdf)

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට සමානව යටත් විජිත සමයේ සම්පාදනය කෙරුනි. එම නිසා දණ්ඩ නීති සංග්‍රහය සම්බන්ධ ප්‍රශ්නගත අවස්ථාවලදී ලංකාවේ නඩු නීතියේ හිස්තැන් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන් වෙත යොමු වෙයි. මෙම 120 වගන්තියට සමගාමී ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තිය 124 (A) වගන්තියයි.

ඉන්දියානු නඩු තීන්දුවක් වන KenderNath V State of Bihar (1962) හිදී පැහැදිලිවම සදහන් කරන්නේ මෙම දේශද්‍රෝශිත්වය වරදක් බවට පත්කරන 124 ඒ වගන්තිය යටතේ වරදක් ස්ථාපනය කිරීමට නම් ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම පැවැතීම අනිවාර්ය අංගයක් බවයි.

ඉන්දියානු අගවිනිසුරුවරයකු වන එන්.වී රමානාද මෙම යටත් විජිත යුගයේ නීතියක් වන මෙම දේශද්‍රෝහීත්වය වරදක් බවට පත් කරන නීතියේ අනිසි භාවිතය පිළිබද සිය කණස්සල්ල පළ කරමින් එහි අඛණ්ඩ පැවැත්ම ප්‍රශ්න කරයි.

වඩුවකුට කියතක් ලබා දී ඇත්ත‍ෙ ලී කැබැල්ලක් කැපීමට නමුත් ඔහු එම කියතින් වනාන්තරයම කපා දැමීමක් සිදු කිරීම වැනි කටයුත්තක් මෙම නීතියේ අනිසි භාවිතය තුළ සිදු වන බවයි ඉන්දීය අගවිනිසුරුවරයා ප්‍රකාශ කරන්නේ. මෙම ප්‍රකාශය හා මෑත කාලීනව ලබා දුන් නඩු තීන්දු මගින් මෙම නීතියේ අනිසි භාවිතය පිළිබද සංවාදයක් නිර්මාණය කර තිබේ.(https://www.orfonline.org/expert-speak/sedition-law-threat-indian-democracy/ )

ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරුගේ රජය එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ මතභේදාත්මක පළමු සංශෝධනය මගින් මෙම නීතිය නැවත පැනවීමට කටයුතු කරන ලදී.

එසේ වුවද එම සංශෝධනය ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ, 124 ඒ වගන්තිය අතිශයින් විරුද්ධ සහ පිළිකුල් සහගත බවත් ප්‍රායෝගික හා ඓතිහාසික හේතූන් මත එයට තැනක් නොතිබිය යුතු බවත්ය. අවංකව ප්‍රකාශ කිරීමක් සිදු නොවුනත් මෙම නීතියෙන් ඉක්මනින් මිදිය යුතු බවක්ද ඔහුගේ අදහසේ ගැබ් ව තිබේ. (https://www.orfonline.org/expert-speak/sedition-law-threat-indian-democracy/ )

The Landmarks in the Law කෘතිය තුළදී ඩෙනින් සාමි වරයා, මෙම දේශද්‍රෝශිත්වය සම්බන්ධ නීතිය දැන් යල් පැන ගොස් ඇති බවත් එය මගින් රාජ්‍යයේ කටයුතු පිළිබද සාකච්ඡාව අනවශ්‍ය පරිදි සීමා කරන බවත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ මෙම පනත මෑතකදීම භාවිතා වූ අවස්ථාව වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම තුළින්ද පෙන්නුම් කරන්නේ මෙම වගන්තිය ඉතා පහසුවෙන් ආණ්ඩුවට එරෙහි අදහස් ඉදිරිපත් කරන්නන් මර්ධනය සදහා රාජ්‍යයයේ මර්ධනකාරී හස්තයන් යොදා ගන්නා බවයි. ෂෙහාන් මාලක මෙලෙස මාධ්‍ය මගින් සිදු කල ප්‍රකාශයක් හේතු කොට ගෙන අත්අඩංගුවට ගන්නේ ඔහු මීට පෙර දින 4ක් පුරා අඛණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබා දුන් පසුබිමකය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කරන “Confronting Accountability for Hate Speech in Sri Lanka:ACritique oftheLegal Framework” නම් පර්යේෂණ ග්‍රන්ථයේ සදහන් වන්නේ 2015 පිහිටවූ රජයට පෙර පැවැති රජය සමයේ මෙම 120 වගන්තිය යොදා ගනිමින් ජනමාධ්‍යවේදීන් 187 දෙනෙක්ද විරුද්ධ මත දැරූ පුද්ගලයන් 188 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ෂෙහාන් මාලක සිදුවීම මෙන්ම අනෙක් සිදුවීම් මගින්ද පෙනී යන්නේ අනවශ්‍ය ලෙස පුළුල් මෙන්ම නිශ්චිත නොවන 120 වගන්තිය සෑම විටම භාවිතා වන්නේ ආණ්ඩුවට එරෙහි විරුද්ධ මත දරන්නන් යටපත් කිරීම සදහායි. විශේෂයෙන් මෙවන් යටත් විජිත සමයේ පැනවූ නීති මහජන කේන්ද්‍රීය ලෙස පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන අයුරින් සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක්.

ජනතාව වෙත සහතික කර ඇති පරමාධිපත්‍යය අභියෝගයට ලක් කරන පුරවැසි අයිතිවාසිකම් නීතිමය වශයෙන්ම මර්ධනය කිරීමට සැකසුනු මෙම නීති මහජන කේන්ද්‍රීය ලෙස සංශෝධනය කිරීම සදහා බලපෑම් කිරීම පුරවැසියන්ගේ වගකීමකි.

දුලාන් දසනායක

Related posts