ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය

civil

ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත  2022 ජනවාරි 27 දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී.

යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පහත අත්සන් තබන අපි දැඩි කලකිරීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත් බව අපි අවධාරණය කරන්නෙමු.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හා එතෙක් එම නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස වන අපගේ ඉල්ලීම අපි නැවත කරන්නෙමු.

මෙය එම නීතිය නිසා අහිතකර බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ ඉල්ලීම හා අනුකූල වේ. ඇප පනත යටතේ සුදුසුකම් නොලබන පුද්ගලයන් හැර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුදෙනා නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

ඊනියා පාපෝච්චාරණය පමණක් එකම මූලික සාක්ෂිය බවට පත්කරගෙන නඩු පැවරීම අත්හිටුවන ලෙස අපි ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) වැනි ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර තිබෙන, එම නිසා ගරු කළ යුතු හා ආරක්ෂා කළ යුතු වන ජාත්‍යන්තර සම්මුති සමග අනුගත ප්‍රමිතිවලට යෝජිත සංශෝධන අනුකූල වන්නේ නැත. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ විධිවිධාන සමග අනුකූල වන්නේ ද නැත.

එහි තිබෙන ප්‍රධාන අඩුපාඩු මෙසේය:

1.      යෝජිත සංශෝධනයෙහි ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයක් නැත. ඒ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ විශේෂ විධිවිධාන වරම් හිමිකරුවන් විසින් 2021 දෙසැම්බර් 9 දින ශ්‍රී ලංකා රජය වෙත එවන ලද ලිපිය අනුගමනය කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචනවල අන්තර්ගත විය යුතු කරුණු එහි පැහැදිලිව දක්වා තිබේ.

වර්තමාන නීතිය අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන්නේ කුමන අවස්ථාවේදී ද යන්න තීරණය කරනු ලබන්නේ පෞද්ගලික පූර්ව විනිශ්චයන් හා අගතීන් සමග අනුගතව මනෝමූලික ලෙස වන අතර විෂයමූලික ලෙස නොවේ. අරාබි බසින් ලියන ලද පොත් හා අලංකාර කඩු ළඟ තබාගැනීම හා යුද සමයේ ඝාතනයට ලක්වූ පුද්ගලයන් අනුස්මරණය කිරීම වැනි ව්‍යාජ හේතු මත අතීතයේදී සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් කෙරෙහි අපි අවධානය යොමුකරන්නෙමු.

2.      පරිපාලනමය රඳවා තබාගැනීම් මාස 18 සිට මාස 12 දක්වා අඩුකර තිබේ. එමගින් පරිපාලන රැඳවුම් පිළිබඳ මූලික ගැටලුව ආමන්ත්‍රණය කරන්නේ නැත. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් වැළැක්වීමේ මූලික පටිපාටිමය ආරක්ෂක විධිවිධාන තවදුරටත් ප්‍රමාණවත් නොවේ.

3.      සහකාර පොලිස් අධිකාරීවරයකු හමුවේ කරන ලද පාපෝච්චාරණයක් සාක්ෂියක් ලෙස පිළිගැනීමේ 16වන වගන්තිය එසේම පැවතීම පිළිබඳ අපි දැඩි අවධානය අසතුටින් යුතුව යොමුකරන්නෙමු.

දශක ගණනාවක් තිස්සේම මෙමගින් සිදුවී තිබෙන්නේ පාපෝච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසනය භාවිතා කිරීමට අවස්ථාව ලැබීමයි. මෙම නීතිමය විධිවිධානය හේතුවෙන් දැඩි මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු කෙරෙහි අපි අවධානය යොමුකරන්නෙමු. නඩු විභාගය තුළදී පාපෝච්චාරණය පිළිගත නොහැකි බව තීරණය වුව ද, එම නීතිමය විධිවිධානය පැවතීම හේතුවෙන් පුද්ගලයකු වධහිංසනයට ලක්කිරීම සඳහා අවකාශය විවර කෙරේ.

මෙමගින් වරදක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන පුද්ගලයකු සම්බන්ධ මූලික නිසි පටිපාටිය හා සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය උල්ලංඝනය වේ.

එයට හේතුව වන්නේ පාපෝච්චාරණය ලබාගත්තේ පීඩනයකට ලක්කිරීමෙන් බව ඔප්පු කිරීමේ වගකීම විත්තිකරුට පැවරීමයි. පුද්ගලයන්ට එරෙහිව පාපෝච්චාරණ පදනම් කරගෙන නඩු පැවරීමේදී භාවිතා විය යුතු අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමයෙහි කාර්යක්ෂමතාව ද එමගින් ප්‍රශ්න කිරීමට ලක්වේ. අසම්මත භාවිතාවක් වන එවැනි නීතිමය විධිවිධානයක් නීතිය තුළ පැවතිය යුතු නැත.

4.      නීතිමය අත්අඩංගුවෙන් පුද්ගලයන් වෙනත් තැන් කරා රැගෙනයාමේ අවසරය ලබාදෙන 7(3) වගන්තිය සහ රිමාන්ඩ් කිරීමෙන් පසුව පවා පුද්ගලයකු රඳවා තබාගන්නා ස්ථානය තීරණය කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනු ලබන 15අ වගන්තිය නොවෙනස්ව පවතී.

මෙමගින් පුද්ගලයකු අධිකරණමය ආරක්ෂාව යටතට පත්වීම ඉවත්වන බව අපි නැවත පවසන්නෙමු. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය අධිකරණ නියෝගයට වඩා බලවත් වේ. බන්ධනාගාර පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ජාතික අධ්‍යයනයේදී වාර්තා වී තිබෙන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ අත්අඩංගුවෙන් පිටතට රැගෙන යාමෙන් පසු හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි වෙනත් ස්ථානවල රඳවා තබාගන්නා විට දැඩි ලෙස වධහිංසනයට ලක්වේ.

5.      පුළුල් පරාසයක සිවිල් නිදහස සීමා කිරීමේ නියෝග නිකුත් කිරීමට ආරක්ෂක ඇමතිවරයාට තිබෙන බලතල නව පනත් කෙටුම්පතෙහි 11 වගන්තිය විසින් ආරක්ෂා කර තිබේ. නියෝගය නිකුත් කිරීමට පෙර පුද්ගලයකු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත සහ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමේ විධිවිධානය මගින් සිවිල් නිදහස උල්ලංඝනය වීම වළකින්නේ නැත.

6.      ඇප ලබාදීම සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන මගින් පුද්ගලයන් නඩු විභාගයන් ආරම්භ වීමට පෙර දිගුකලක් අත්අඩංගුවේ සිටීම නවතින්නේ නැත. යෝජිත නව විධිවිධාන මගින් කියැවෙන්නේ, ඇප ලබාදිය හැක්කේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් හෝ රඳවාතැබීමෙන් මාස 12කට පසුවත් නඩු විභාගය ආරම්භ වී නොමැති නම් හෝ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර මාස 12ක කාලයක් ගතවී නොමැති නම් හෝ පමණක් බවයි. නඩු විභාගය ආරම්භ කර තිබේ නම්, චූදිතයා විභාගය අවසන් වනතෙක්ම අත්අඩංගුවේ තබාගත හැකිය. එම නිසා, භාවිතාවෙහිදී මෙමගින් රඳවා තබාගැනීමට ලක්වන පුද්ගලයාගේ තත්වයෙහි සැලකිය යුතු වෙනසක් සිදුවන්නේ නැත.

7.      යෝජිත සංශෝධනයෙහි විධිවිධාන අනුව, වධහිංසනය වැළැක්වීම සඳහා අඩු වශයෙන් මාසයකට වරක් හෝ මහේස්ත්‍රාත්වරුන් රඳවා තබාගන්නා ස්ථාන අධීක්ෂණය කිරීම සඳහා යා යුතුය. එම කොටස අනුව,  පුද්ගලයා වධහිංසනයට ලක්වී තිබෙන බව මහේස්ත්‍රාත්වරයා අනුමාන කරන්නේ නම්, එම පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත යොමුකිරීමට ‘හැකියාව’ මහේස්ත්‍රාත්වරයාට තිබේ.

ඒ අනුව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකිරීම අභිමතය අනුව සිදුකරන කාර්යයකි. එය අනිවාර්ය වන්නේ නැත. වධහිංසනය සම්බන්ධ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත යොමුකරනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අභිමතය ද මේ අනුව මහේස්ත්‍රාත්වරයා වෙත පැවරේ.

8.      ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ රිට් ආඥාවක් මගින් පරිපාලනමය රඳවා තබාගැනීම අභියෝගයට ලක්කිරීමේ විධිවිධාන යෝජිත සංශෝධනයෙහි තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ඇතුළුව අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ තබාගැනීමට අභියෝග කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත බව ද, යෝජිත සංශෝධන මගින් රඳවනු ලැබූවන්ට ලබාදිය යුතු අලුත් අයිතිවාසිකමක් නොවන බව ද අපි පෙන්වා දෙන්නෙමු.

භාවිතාවේදී, පිළිසරණ ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති වීමෙන් හා නීති ආධාරවල අඩුපාඩු හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ තබාගන්නා ලද බොහෝ පුද්ගලයන් හට තමන් වෙනුවෙන් නිසි නීතිමය නියෝජනයක් ලබාගැනීම දුෂ්කර වේ. ඔවුන් එම නියෝජනය ලබාගත්තද, අධිකරණ ක්‍රියාවලියේ තිබෙන දීර්ඝ ප්‍රමාදයන් හේතුවෙන් සහන ලබාගැනීම සඳහා ඔවුන්ට මාස හෝ අවුරුදු හෝ ගණනාවක් බලාසිටීමට සිදුවේ.

9.      ඒ හා සමානව,  සිවිල් නිදහස අහිමි කරන ලද පුද්ගලයන්ගේ සුබසාධනය සම්බන්ධ වගකීම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින් ද කොමිෂන් සභාව වෙත පවරා තිබේ. පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම රැඳවුම් ස්ථානයක් කරා ළඟාවීමේ බලය කොමිෂන් සභාවට තිබේ.

කෙසේ වෙතත්, 2020 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තවදුරටත් නීතිමය වශයෙන් ස්වාධීන ව්‍යූහයක් නොවේ. එහි කොමසාරිස්වරුන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදිය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් කරන ලද අහිතකර බලපෑම අවම කිරීමේ කිසිදු හැකියාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධනවලට නැත.

10.  පසුගිය වසර කීපය තුළදී, සිවිල් සමාජයට, මානව හිමිකම් ආරක්ෂකයන්ට හා ජනමාධ්‍යවේදීන්ට හිංසා පීඩා කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන ලදී.

විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වලදීත්, ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන්ගේ කාර්යාල වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් යාම මගිනුත්, මූල්‍ය සම්පාදනයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඔවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම මගිනුත්, අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම මගිනුත් එසේ හිංසා පීඩා සිදුකරන ලදී. එහෙත්, මේ දක්වාම, සිවිල් සමාජ සංවිධාන නීති විරෝධී මූල්‍ය සම්පාදනයන් සමග හෝ ත්‍රස්තවාදී වැරදි ක්‍රියා සමග සම්බන්ධ බවට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නැත.

ඉදිරි මග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත්ය. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.

කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය හා ප්‍රධාන පාර්ශ්වකරුවන් වෙතින් උපදෙස් ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්  අප විසින් කරන ලද අඛණ්ඩ ඉල්ලීම් නොතකා හරින ලද බව අපි අවධාරණයෙන් පෙන්වා දෙන්නෙමු.

දැනටමත් වෙනස්කම් කිරීමට හා කොන්කිරීමට ලක්වී සිටින ප්‍රජාවන් අතර අනාරක්ෂිතබව නිර්මාණය කිරීමෙන් ජාතික ආරක්ෂාව ස්ථාපිත කළ නොහැකි බව අපි නැවතත් ප්‍රකාශ කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස අපි නැවත නැවතත් ඉල්ලාසිටින්නෙමු.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සලකා බැලිය යුත්තේ, ශ්‍රී ලංකාවේ දැනටත් ක්‍රියාත්මක ත්‍රස්ත විරෝධී හා මහජන ආරක්ෂක නීති රාමුව තුළයි. ඉතිහාසය පුරාම රාජ්‍ය ආයතන විසින් බලය අවභාවිතා කර තිබෙන ආකාරය ද සැලකිල්ලට ගත යුතුය.
ඉදිරි මාර්ගයෙහිදී භෞතික නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිසි පිළිගැනීම ලබාදිය යුතුය.

විධායකය විසින් භෞතික නිදහස සීමාකිරීම සිදුකළ යුත්තේ කිසියම් තත්වයක් තුළදී අවසන් විසඳුම ලෙසයි. ඒ සඳහා විෂයමූලික සාධක නිර්ණය කරන ප්‍රමාණවත් පදනමක් ද, එම පදනම් සම්බන්ධයෙන් අධිකරණ අධීක්ෂණය ද, නීති ආධාර, ඉක්මන් නඩු විභාග හෝ නිදහස් කිරීම ද දැඩි ලෙසම අවශ්‍යය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සම්බන්ධ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඕනෑම ක්‍රියාවලියක් තුළ අහිතකර බලපෑමට ලක්වන පුද්ගලයන්ට යුක්තිය ලබාගැනීමේ ක්‍රමවේද අඩංගු වන බව තහවුරු කළ යුතු බව අපි වැඩිදුරටත් පෙන්වාදෙන්නෙමු.

අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම සම්බන්ධයෙන් වන්දි ලබාගැනීම සඳහා වන ක්‍රියාත්මක කළ හැකි අයිතිය ද එහි අඩංගු විය යුතුය. අත්තනෝමතික ලෙස නිදහස සීමාකිරීම තහනම් කිරීම වර්තමානය වන විට ජාත්‍යන්තර නීතියේ සාමාන්‍ය තත්වයක් වී තිබේ. තම පුරවැසියන් වෙනුවෙන් එම නීතිමය තත්වය සුරක්ෂා කිරීමේ වගකීමක් ශ්‍රී ලංකාවට තිබේ.

පුද්ගල නිදහස හා ජාතික ආරක්ෂාව අතර නිර්මාණය කරගැනීම සඳහා රජයට අවශ්‍ය වී තිබෙන තුලනය අත්පත් කරගත හැක්කේ ගැටුම් හා ප්‍රචණ්ඩත්වයට හේතුවන මූලික කාරණා සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමෙන් පමණි.

ජාතික ආරක්ෂාවේ නාමයෙන් වැඩිදුරටත් සිවිල් නිදහස සීමාකිරීමට දරණ උත්සාහයන් මගින් සියලු ප්‍රජාවන්ගේ අනාරක්ෂිතබව තවත් වැඩි වන අතර ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වේ.

Related posts