අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු !

pahana
ශ්රී ලංකාව වර්තමානයේ උග්ර ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇතිබව අප සියලු දෙනාම හොඳින්ම දන්නා කාරණයකි. මේ අර්බුදයට නිදහසෙන් පසු ⁣ලංකාවේ පාලනයට දායක වූ පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ට වගකීමක් ඇති බව අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණයකි. එසේම මේ අර්බුධයට රටේ ජනතාවටද වගකීමක් ඇත.
ඊට හේතුව ලංකාවේ ජනතාව තුල පවතින යැපුම් මානසිකත්වයයි. බහුතරයක් දෙනා බලා සිටින්නේ තමන්ට දෙයක් නිකන් ලැබෙනතුරුය. තමන් මහන්සිවී උපයාගැනීමට බහුතරයක් ලාංකිකයන් අකමැතිය.
ලංකාවේ මහපොළොව සැබැවින්ම නිධානයකි. නමුත් වර්තමානයේ එවැනි නිධානයක් උඩ සිටගෙන අනෙකාට අතපාමින් හූල්ලන ජාතියක් බවට ලාංකිකයන් පත්ව ඇත්තේ කම්මැලිකම නිසාවෙන්ය. ඕනෑම භෝගයක් වගාකිරීමට සුදුසු කාලගුණික සහ දේශගුණික තත්ත්වයක් ලංකාවේ තිබේ.
ශීත රටවල පමණක් හැදෙනා ඇපල්, දොඩම්, මිදි වැනි පළතුරු පවා ලංකාවේ සාර්ථකව වගා කළ හැකි බව වර්තමානයේ ඔප්පු වී හමාරය. ඒ දේවල් පසුපස හඹා⁣ගොස් පරීක්ෂණ පවත්වා සාර්ථක වූ ගොවිමහතුන් ලංකාවේ සිටී. නමුත් බහුතරයක් ලාංකිකයන් කම්මැලිකම නිසා තමන් මහන්සි වී දෙයක් කිරීමට උත්සාහ නොකරති.
කොවිඩ් වසංගතය නිසාවෙන් පසුගිය කා⁣ලයේ මාස ගණන් රට වසාගෙන සිටීමට සිදු විය. ඒ කා⁣ලයේද ආනයන සීමා වී තිබුණත් අද තරම් ආහාර පිළිබඳ ගැටළුවක් ⁣ඒ කාලයේ නොතිබුණි. ඊට හේතුව ඒකා⁣ලයේ බහුතරයක් නිවෙස් වල මිරිස් පැල කිහිපයක් හෝ වගාකර එදිනෙදා ආහාර අවශ්යතාවයට සරිලන පරිදි එළවලු, පළතුරු තම ගෙවත්තේම වගා කරගත්හ.
නමුත් අද වන විට⁣ නැවතත් ජනතාව ගෙවතු වගා වලින් ඈත් වී ඇතිමුත් ගෙවතු වගා ක්රමයට යොමු විය යුතුම කාලයක් අද අපි පසුකරමින් සිටී. වර්තමානයේ ලෝකයම මුහුණ දී සිටින ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අපට ඇති එකම විසඳුම හැකි සෑම තැනකම කුඩාව⁣ට හෝ වගා කිරීමයි. අපි අදම පටන් ගමු නැවත මේ රට පෙරදිග ධාන්යාගාරය බවට පත්කිරීම අපට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.
සංදේශය

Related posts