ගෝඨාවාදීන්ගේ අවසන් සටන

මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම්  සමිති දැන් 15 දා වැඩ වරණ බව පමණක් කියති. මේ සියල්ල උපාය, උපක්‍රම වන්නට ද බැරි නැත. එසේ නැත්නම් තමන්ගේ හයිය ගැන ඇත්ත තක්සේරුව නිසා ද වෙන්නට පුළුවන.

හැරී බැලු විට පෙනෙන්නේ මේ ගෝඨාභය බලයට ගේන්නට ක්‍රියාත්මක වූ සහ පාර කැපු කට්ටියම බවයි. සයිටම් විශ්ව විද්‍යාලය වසා දැමීමට ක්‍රියා කළේ මෙම කණ්ඩායම යි. වෙළෙඳ ගිවිසුම්වලට එරෙහිව අරගල කළේ මොවුන් ය. පට්ට පල් බොරු කියා ඇමෙරිකාවේ එම් සී සී ගිවිසුම නවතා රටට නිකම් ලැබෙන්නට තිබූ ඩොලර් මිලියන 480 ක් අහිමි කළේ මෙම සංවිධාන යි. ඔවුන් තමන් හඳුන්වාගන්නේ වෘත්තියවේදීන් වශයෙනි . එදත්, අදත් එයට නායකත්වය දුන්නේ, දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නට වැඩ කළ මේ කට්ටිය ඔහුට දුන් ලොකු ම ලනුවක් නම් බදු අඩු කළ විට ආර්ථිකය දියුණුවෙනවා යන්න යි. එම ලනුව කෑ ජනාධිපති ගෝඨාභය බදු කපාගෙන රජයේ ආදායම් අහිමි කරගෙන ණය වැඩිකර ගත්තේ ය. ඒ අතර ඔවුහු ගෝඨාට තවත් දිරවන්නට බැරි ම ලනුවක්  දුන්නෝ ය. ඒ කාබනික ගොවිතැන් ලනුව යි.

මේ ඊනියා වෘත්තීයවේදීන්ගේ ලනු කා අමාරුවේ වැටුණු ගෝඨාභයට සිද්ධ වුනේ ජනාධිපතිකම අතහැර පළා යන්නට ය. එවිට මේ කට්ටිය හිටියේ “ අනේ අපි ඕවාට නෑ “ කියන ගානට ය.

කෙසේ වෙතත්, මොවුන්ගේ එම විනාශයෙන් රට ගොඩ ගන්නට හදන විට, ඒකට ද  කෙළවන්නට දැන් මේ කට්ටිය පෙරට විත් සිටිති.

මොවුන් ඉදිරියට දමා ඇත්තේ ලක්ෂ ගණන් වැටුප් ලබන අයට පනවා ඇති බදු පිළිබඳ ප්‍රශ්නය යි. ඒ කියන්නේ  ගෝඨා ඉවත්කළ බදු නැවත පැනවීම යි. මහජන සහය ගන්නට එයට වෙනත් ප්‍රශ්න ටිකක් ද අමුණාගෙන තිබේ.

නමුත් තේරුම් ගන්නට තිබෙන ප්‍රශ්නය නම් මෙය හුදු බදු විරෝධයක් නොවන බව යි. බදු එන්නේ මුල්‍ය අරමුදල සමග ගිවිසුම් පැකේජයේ කොටසක් වශයෙනි. ඒ සමග තවත් දේ එන්නට තිබේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ විකිණීම, විදේශ ආයෝජන, වෙළෙඳ ගිවිසුම් ආදී මෙකී නොකී ප්‍රතිසංස්කරණ රාශියක් එන්නට නියමිත ය. මේ සටන තිබෙන්නේ ඒ සියල්ල සමග ය.

මුල්‍ය අරමුදලේ සහ ඉන්පසු එන ජාත්‍යන්තර සහය ලැබී රට ගොඩයන්නට පටන් ගත්තොත් එය පරාජය කිරීම පහසු වන්නේ නැත. ඒ නිසා කළ යුතුව තිබුණේ මේ පළමු අවස්ථාවේ දී ම බදු පරාජය කිරීම යි. එමගින් මුල්‍ය අරමුදලේ වැඩ සටහන මුල දී ම බකල් කිරීම යි.

ඔවුන්ගේ පැත්තෙන් මේ ගණන් බැලීම වැරදි නැත.

එමෙන් ම ඔවුන් ඒ සඳහා වෙලාව යොදා ගත්තේ පළාත් පාලන ඡන්දයක් පැවැත්වෙනු ඇතැයි විශ්වාස කළ සහ මැතිවරණ කොමිසමේ සභාපති විසින් ප්‍රකාශයට පත්කොට තිබු මොහොත යි. මාර්තු 9 දා මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කොට තිබිය දී ඔවුහු 8 දා සිට මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළෝ ය. අත්හදා බැලීම මාර්තු 1 දා සංකේත වර්ජනය යි.

මෙරට ඡන්ද යනු පක්ෂ රට ගැන නොව ඡන්ද ගැන සිතන වේලාවකි. එනිසා බදු ප්‍රශ්නයේ දී, තමන්ගේ මතයට සහය ගැනීම ගෝඨාවාදී කණ්ඩායමේ අපේක්ෂාව වී ය. එය ඉටු කරමින් පළමුවෙන් ජාතික ජන බලවේගයත්, පසුව සමගි ජන බලවේගයත් බදු සහන පැකේජ ඉදිරිපත් කළේය. ඒවා ගෝඨාභයගේ බදු කැපීමෙන් වැඩි වෙනසක් නැත. ඔවුන් ඒ ගැන කතාව නවතා දැම්මේ ඡන්දය කල් යාමත් සමග ය.

ප්‍රශ්නය වුයේ මොවුන්ට සටන් කරන්නට සිදුව තිබුණේ රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් රජයක් සමග වීම ය. ගෝඨා කල්ලියේ ගණන් බැලීම, ඒ අයුරින් ම ගණන් බැලීමේ හැකියාව ද රනිල් සතුව තිබිණි. ඔහු ගානට වැඩේ කළේය. ඒ පළාත් පාලන ඡන්දයට මුදල් නැති බව ප්‍රකාශ කිරීමෙනි. එය දේසපාලන තීන්දුවකි. මේ මොහොතේ ඡන්දය තිබ්බේ නම් ගෝඨාවාදීන්ගේ සටන ජය ගෙන බදු අඩු කරන්නට සිදුවිය හැකිව තිබිණි. එවිට මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ ද ඉවර ය. ප්‍රතිසංස්කරණ ද කළ නොහැකි වෙයි. රනිල්ගේ දේශපාලනය ද ඒ සමග අවසන් වන්නට ඉඩ තිබිණි.

එබැවින් රනිල් කළේ තම ප්‍රතිසංස්කරණ විනාශ කරන්නට හදන බලවේග විනාශ කරන්නට කටයුතු කිරීම යි. රනිල් කළේ සහ කරමින් සිටින්නේ ඒක ය. එය රනිල් විරෝධීන්ට සහ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ විරෝධීන්ට දිරවන්නට බැරිව තිබෙන්නේ ද ඒ නිසා ය.

මෙම සටන රනිල්ට පරදින්නට හෝ පසු බසින්නට ඉඩක් ඉතිරි කොට නැති සටනකි. එක්කෝ සටන ජය ගත යුතුය. නැත්නම් පරාජය වී ගෙදර යා යුතුය. ඔහුට යන්නට ගෙදරක් ද නැත.

ගෝඨාවාදී වෘත්තියවේදීන්ට ද දැන් පසු බහින්නට බැරිය. මේ සටන පැරදුනොත් ඉදිරියේ කිසිදු සටනක් ගැන විශ්වාස තැබිය නොහැකි ය. එදිරියේ සිදුවන ප්‍රතිසංස්කරණ නවත්තන්නට බැරිය. සිදුවන්නේ දිගට ම පසු බසින්නට ය.

මේ ගෝඨාවාදීන්ට පසු බසින්නට මාවතක් විවර කර දෙන්නේ නම් එය කළ හැක්කේ ද රනිල්ට ය. ඒ ඔවුන්ට නම්බු පිටින් පසු බසින්නට හැකි කිසියම් සහනයක් ප්‍රකාශයට පත් කිරීමෙනි. එය සිදුවන පාටක් නැත. එයට හේතුව, මේ සටනින් ජයග්‍රාහී පරාජයක් ඔවුන්ට දුන්නොත් ඉදිරි සටන වඩා අමාරු විය හැකි බව දන්නා නිසා ය.

දැන් තිබෙන්නේ ගල උඩ සටනකි. එක්කෝ ගෝඨාවාදී වෘත්තීය සමිති සමස්ත වැඩ වර්ජනයකින් රට අඩපන කොට ආණ්ඩුව දන ගස්වා රනිල්ගේ දේශපාලනය අවසන් කළ යුතු ය.

එසේ නැතිනම් රනිල් වැඩ වර්ජකයින් දන ගැස්විය යුතු ය. එයින් ප්‍රජාතන්ත්‍ර විරෝධය පිළිබඳ චෝදනා රනිල්ට එල්ල විය හැකිය. ඒකට කරන්නට දෙයක් නැත.

රනිල් ඉදිරියේ ද ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. ඔහු එක්කෝ තම ප්‍රජාතන්ත්‍රවාදී බව පෙන්වීමට සම්මුතිවලට ගොස් අනෙක් පැත්තෙන් තම ආර්ථික දේශපාලන වැඩ පිළිවෙළ විනාශ වෙන්නට ඉඩ හැර තමන්ගේ දේශපාලන විනාශයට මුහුණ දිය යුතුය. නැතිනම් වැඩ වර්ජන මර්දනය කොට ඉදිරි ලිබරල් ප්‍රතිසංස්කරණ රැක ගත යුතු ය.

පෙනෙන විදිහට රනිල් දෙවැනි මාවත තෝරාගෙන ඇත. ගෝඨාවාදී ප්‍රතිගාමීත්වය පරදා ලිබරල් ආර්ථික , දේශපාලන ප්‍රතිසංස්කරණ රැක ගැනීමට ඔහු තීන්දු කොට ඇත. එයින් සිදුවන හානි තාවකාලික ය. ලැබෙන වාසි දිගු කලක් පවතිනු ඇත.

සටන බලවත් වුවහොත් රනිල්ට වන හානිය ද විශාල ය. සටන දියාරු වන තරමට රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදී විය හැකිය. සමීකරණය සැකසී ඇත්තේ එහෙම ය.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මැනිය යුත්තේ මතුපිට පෙනුමෙන් නොව හරයෙනි. ඒ අනුව රටේ සහ බහුතර ජනයාගේ යහපත වෙනුවෙන් පියවර ගන්නා විට එය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙයි.

සී ජේ අමරතුංග

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….