මැයි 9 දා පෙරළිය තේරුණේ රනිල්ට විතර ම ද ?

may9

අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා බී බී සී ය සමග පැවති සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ රාජපක්ෂවරයකුට මින් පසු ජනාධිපති වනවා තබා මන්ත්‍රීවරයකුවත් විය නොහැකි වන බව යි. ඒ මැයි 9 දා සිදුවීම්වල ප්‍රතිවිපාක වශයෙනි. දේශපාලන තත්ත්වය වෙනස් වූ ආකාරය රනිල් වික්‍රමසිංහ මහතා දකින්නේ ඒ ආකාරයෙනි. ඒ ඔහුගේ දේශපාලන තක්සේරුව යි. මෙලෙස වෙනස් වන දේශපාලන තත්ත්ය්වයන් නිවැරදි ලෙස තක්සේරු කර ගැනීම දේශපාලඥයකුට ඉතා වැදගත් වෙයි.

සති හයකට පමණ පෙර වික්‍රමසිංහ මහතා මෙබඳු ම තවත් තක්සේරුවක් කළේය. ඒ මාර්තු 31 දා මිරිහාන ජුබිලි කනුව ප්‍රදේශයේ පැවති විරෝධතාව ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වීමෙන් පසුව ය. ඉන් පසුවදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එතෙක් පැවති ආර්ථික අර්බුදය එම සිදුවීමත් සමග දේශපාලන අර්බුදයක් බවට පත් වූ බව යි. ඔහුගේ එම තක්සේරුව කොතරම් නිවැරදි ද යන්න ඉන් පසු මේ දක්වා සිදුවීම් මගින් පැහැදිලි වී ය.

මෙබඳු තක්සේරු කිරීම් නිවැරදිව කරගෙන නිවැරදි තීරණ ගැනීම දේශපාලන වශයෙන් සාර්ථක වීමට අත්‍යවශ්‍ය සාධකයකි.
තක්සේරුව නිවැරදි නම් සාර්ථකත්වය ලැබිය හැකි වෙයි. වැරදි තක්සේරුවක් මත ක්‍රියා කළ හොත් විනාශයක් පවා අත්විය හැකි ය.

එලෙස වැරදි තක්සේරුවක් මත ක්‍රියාකර විනාශය අත්කර ගැනීම පිලිබඳ මෑත කාලීන හොඳ ම උදාහරණය සපයන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට පෙර “ මයිනා ගෝ ගම “ සහ “ගෝටා ගෝ ගම “ උද්ඝෝෂකයන්ට එල්ල කළ ප්‍රහාරය යි. තම බලය පෙන්වා උද්ඝෝෂකයින් බියපත් කොට මර්දනය කළ හැකි යයි ඔවුන් එදින තක්සේරු කොට තිබුණා විය යුතු ය. අරලියගහ මැදුරේ සිට ප්‍රසිද්ධියේ පැමිණ ප්‍රහාර එල්ල කරන්නේ එනිසා ය.

මෙහි දී ඔවුහු රටේ ජනතාවගේ මානසිකත්වය සහ ආණ්ඩු විරෝධය අව තක්සේරු කොට තිබිණි. එය ඔප්පු වන්නට ගියේ පැය කිහිපයක කාලයකි. දුවන්නට වුණේ චණ්ඩින්ට ය. වැඩේ කෙරවල වුණේ මහා විනශයකිනි. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන් ම එම පරපුරේ ද දේශපාලන අනාගතය ද ඒ සමග ම විනාශ වී ය.

රාජපක්ෂ පරපුරේ ම දේශපාලන අනාගතය අවසන් ය යන්න බොහෝ දෙනා තේරුම් ගත් කාරණයක් විය හැකි ය. එසේ වුව ද මහජන මානසිකත්වයේ වූ වෙනස රනිල් වික්‍රමසිංහ මහතා තරම් හොඳින් අනෙක් දේශපාලඥයින් තේරුම් ගත්තේ ද යන්න සැක සහිත ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර භාර ගැනීමත්, අනෙක් බොහෝ දේශපාලඥයින් එයට දැක් වූ ක්ෂණික ප්‍රතිචාරයත් තුළින් එය පැහැදිලි වී ය.

රනිල් අගමැතිකම භාරගන්නේ තනි මන්ත්‍රී කමක් තබාගෙන ය. තමන්ට වැඩ කරන්නට වන්නේ රාජපක්ෂලාගේ පක්ෂය වන පොහොට්ටුව සමග බවත්, ජනාධිපති ගෝටාභය සමග වැඩ කරන්නට සිදුවන බවත්, ඔහු නොදැන සිටින්නට හේතුවක් නැත. මෙයට එරෙහිව අනෙක් පක්ෂ අවි අමෝරාගෙන නැගී සිටින බවත්, ඔහු තේරුම් ගත යුතුව තිබිණි.

විපක්ෂයේ රනිල් විරෝධීන් ද සිතුවේ දැන් රනිල්ට පහර දෙන්නට පහසු වන බව යි. රාජපක්ෂ විරෝධය රනිල්ට ද යොමු කොට ඔහුව ද විනාශ කළ හැකි යැයි ඇතැම් පක්ෂ සිතු බව ඔවුන්ගේ ප්‍රථම ප්‍රතිචාර මගින් පැහැදිලි වී ය. බොහෝ පක්ෂ මාධ්‍ය සාකච්ඡා තබමින් රනිල් ව පතුරු ගැසුවේ ය. ඒ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයකු බව කියමිනි.

අරගලය තම අතට ගන්නට උත්සහ දරමින් සිටි ඇතැම් වාමාංශික පක්ෂ ද එම වරද ම කළේය. රනිල් ගෝ ගමක් හදන්නට ද සමහරු උත්සහ කළහ.

දින කිහිපයකින් පෙනී ගියේ වෙනත් තත්ත්වයකි. රනිල් විරෝධය උස්සන්නට බැරි වීය. ඒ වෙනුවට සිදු වුයේ පක්ෂ එකින් එක තැටි මාරු කරමින් රනිල්ට කොන්දේසි යටතේ සහය දීමට ඉදිරිපත් වීම යි. උද්ඝෝෂණ තුළින් ද රනිල් විරෝධය දිය වී ගිය බවක් පෙනෙන්නට තිබිණි.

මේ කියන්නේ රනිල්ට තිබු සියලු විරෝධය තුරන් වූ බව නොවේ. රනිල්ට එරෙහිව රාජපක්ෂ විරෝධය යොදා ගැනීමේ උත්සාහය අසාර්ථක වූ බව යි.

මෙයට හේතු කිහිපයකි. පළමුවැන්න නම් රාජපක්ෂවාදයේ බලගතු තර්ජනය තුරන් වීම යි. රාජපක්ෂවරයෙකුට යළිත් මන්ත්රීධුරයකටවත් පත්වෙන්නට බැරි වෙනවා යැයි රනිල් කියන්නේ එම කතාව යි.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින බව සැබෑ ය. එසේ වුව ද ඔහුගේ ද දේශපාලන ඉරණම තීරණය වී අවසන් බවත්, ඔහුගේ නික්ම යෑම දින වකවානු පිලිබඳ ප්‍රශ්නයක් පමණක් බවත්, දැන් බොහෝ දෙනා තේරුම් ගෙන ඇති කාරණයකි.

බොහෝ දෙනා තේරුම් ගෙන නැති තවත් කාරණයක් වන්නේ රාජපක්ෂවරුන් කෙරෙහි මහජන විරෝධයේ වෙනසක් නැතත්, ඔවුන් කෙරෙහි වූ කෝපය මැයි 9 දා සිදුවීමත් සමග යම් ප්‍රමාණයකට සංසිඳී තිබීම යි. රාජපක්ෂ වරුන්ටත් ඔවුන්ගේ ගෝල බාලයින්ටත් ඔවුන්ගේ දෙපළවලටත් එදින එල්ල වුයේ ඇදහිය නොහැකි තරමේ ප්‍රහාරයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැළපෙන්නකි. එසේ වුව ද, එය එසේ නොවිය යුතුව තිබුණේ යැයි කිව නොහැකි ය. කිව හැක්කේ එයට මුල් වූ සිදුවීම් වල සිට සියල්ල සිදු නොවිය යුතුව තිබු බව ය.
කෙසේ වෙතත්, එම සිද්ධි මගින් වුයේ මහජන කෝපය පිට වීමකි. ඒ සමග රාජපක්ෂවරුන් කෙරෙහි මහජන කෝපය යම් තරමකට සංසිඳී ඇති බව තේරුම් ගත යුතු කාරණයකි. මෙහි දී අප කතා කරන්නේ මහජන විරෝධය ගැන නොව මහජන කෝපය ගැන බව අවධාරණය කළ යුතුව ඇත.

මෙය ද රාජපක්ෂ විරෝධය තව දුරටත් පවත්වාගෙන යාම සහ එය රනිල්ට ද එරෙහිව එල්ල කිරීම සීමා කරන සාධකයකි.
රනිල්වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාරගන්නා විට මෙම වෙනස් වු තත්ත්වයන් පිළිබඳව තක්සේරුවක් තිබු බව ඔහුගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් පෙනෙන්නට තිබේ.

රනිල් විරෝධය අවුළුවන්නට උත්සහ දැරූ පක්ෂ, කණ්ඩායම්වලට මෙම වෙනස් වූ තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නැත. ඔවුන් අසාර්ථක වුයේ සහ ඔවුන්ට පසු බසින්නට සිදු වුයේ එහෙයිනි.
රනිල්ට එරහිව තවත් අවියක් ද යොදාගත් බව පෙනෙන්නට තිබිණි. ඒ පසුගිය මැතිවරණයේ දී ඔහු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බව යි. එය ඇත්තකි.

එසේ වුව ද ඒ කියන හැම දෙනා ම කී තවත් කතාවක් නම් ජනාධිපතිවරණයේ හැට නව ලක්ෂයක් ඡන්ද ලබාගත් ගෝටාභය රාජපක්ෂ මහතා ජනතාවට එපා වී ඇති බව යි. ඔහුගේ ජනවරම අහෝසි වී ඇති බව ද පොදු පිළිගැනීමක් බවට පත්ව ඇත.
එමෙන් ම මහින්දටත් ගෙදර යන්නට කියන තැනට ජනතාව පත්ව ඇති බව ද බහුතර ජනමතය වී ඇතැයි පෙනෙන්නට තිබිණි. ඔහුට සහ එම පක්ෂයට ලැබුණු ජනවරම ද අහෝසි වී ඇත යන්න පොදු පිළිගැනීමකි.

දැන් ප්‍රශ්නය වන්නේ පෙරකී දෙදෙනාට දුන් ජනවරම අවලංගු වී තිබිය දී රනිල්ට දුන් ජනතා තීන්දුව පමණක් වලංගු වන්නේ කෙසේ ද යන්නයි.

රනිල් ගෙදර යවන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් දුන් ජනවරම තුලින් ම ය. එම ජනවරම අවලංගු බව කියති. එලෙස ඡන්දයේ ජයග්‍රාහකයන්ගේ වරම අවලංගු නම් පරාජිතයන්ගේ පරාජය පමණක් වලංගු වන්නේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී පිළිගැනීමකට අනුව ද යන්න ප්‍රශ්නයකි.

ජනතාව දැන් කියන්නේ තමන්ට වැරදී ඇති බව යි. එය නිවැරදි කරන්නේ නම් එමගින් ම රනිල්ට දුන් තීන්දුව ද අවලංගු වෙයි. අද රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගැනීමට ජනතාව සුදානම් වී ඇත්තේ ඒ අනුව ය.
පසුගිය කාලයේ ගෝටාභය සහ මහින්ද ඔවුන්ගේ ක්‍රියා මගින් ජනතා විරෝධයට ලක් වූවා මෙන් ම, රනිල් වික්‍රමසිංහ මහතා යම් ප්‍රසාදයක් දිනාගත් බවක් ද පෙනෙන්නට තිබිණි. ඔහු පාර්ලිමේන්තු පැමිණ කළ මිනිත්තු හයක පළමු කතාවේ සිට මෙම තත්ත්වය දක්නට ලැබිණි. පමණට වඩා වර්ණනාවක් ලෙස පෙනී යා හැකි බැවින් ඒ ගැන වැඩිදුර කතා නොකරමි.

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා තවත් පැත්තකින් ලකුණු රැස් කළේය. එනම් ජනතාවගේ ගැලවුම්කරුවාගේ භූමිකාව භාර ගැනීමෙනි.

ආර්ථික සහ දේශපාලන අර්බුදය දිග් ගැසීමෙන් ජනතාව සිටියේ දැඩි පීඩනයකිනි. එයින් ජනතාව ගලවා ගැනීමට කිසිදු වෙනත් නායකයකු වගකීම භාරගත්තේ නැත. අගමැති තනතුර රනිල් භාරගත් විට දේශපාලන අර්බුදය අඩු තරමින් තාවකාලිකව හෝ සමනය වූ බවක් පෙනෙන්නට තිබිණි. ජනතාවගේ ගැලවුම්කරුවා වුයේ රනිල් වික්‍රමසිංහයි. එම තත්ත්වය ගොඩ නැගෙන බව ද ඔහුගේ දේශපාලන තක්සේරුව තුළ තිබුණා විය හැකි ය.

ආර්ථික අර්බුදයෙන් ජනතාව යම් පමණකට මුදා ගන්නට රනිල්ට හැකි වුවහොත් ඔහු ගේම ගැහුවා බවට පත්වෙයි.

කෙසේ වෙතත්, රනිල් ම කියන පරිදි ඔහුට දැන් තිබෙන්නේ අනුන්ගේ දරුවකු වඩාගෙන ගැඹුරු හෙළ මැදින් වැල් පාලමෙන් එගොඩ වන්නට ය. ඔහුට එගොඩ වන්නට ඉඩ නොදී වැල් පාලම සොලවන්නට ද බොහෝ දෙනා සිටිති.

එය අපට බලපාන්නේ ඔහු අතේ සිටින දරුවා අන් කවරකු හෝ නොව අප සියලු දෙනා ඇතුළු මෙරට සමස්ත ජනතාව වන නිසා ය.
රනිල් වැටුණොත් වැටෙන්නේ අප සියලු දෙනා සමග ය.

සී ජේ අමරතුංග

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….