PUC-consultation

එළඹෙන ජූනි මාසයේ කළ යුතුව තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ මිළ සංශෝධනය පිළිබඳ මහජන උපදෙස් ලබාගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙහිදී කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන මිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමයි.

ලංකා විදුලි බල මණ්ඩලය 2023, 2024 වසරවලදී ලාභ ලබමින් සිටි මුත්, 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 18කට වඩා පාඩු ලැබීය. එයට හේතුව වන්නේ, 2025 වසර මුලදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මගපෙන්වීම මත විදුලි බිල 25%කින් අඩු කිරීමයි. මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ එකතු වූ පාඩුව රු. බිලියන 300ක් පමණ වේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය පහසුකමේ හතරවන වාරිකය ලබාදීම සඳහා පිරිවැයට අනුකූලව විදුලි ගාස්තු සංශෝධනය කරන ලෙස දැනුම් දී තිබේ. මෙම වසරේ ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන පාඩුව රු. බිලියන 25ක් බව වාර්තා විය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරන ලද විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කරන ලද උපදේශන පත්‍රිකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව පවසයි.

මැයි 23 සිට ජුනි 23 දක්වා කාලය තුළ ලිඛිත අදහස් කොමිෂන් සභාව වෙත යොමු කළ හැකි අතර, පළාත් මට්ටමෙන් වාචික අදහස් විමසීමේ සැසි පැවැත්වෙන දින නිවේදනයේ දැක්වේ.

 

More Stories