dailyreporter

කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි.

ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි.

මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් ඊයේ (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය.

ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම පාප් තුමන්ගේ කොළඹ සිටින නියෝජිත හිමියන්ට ද තම ගැටලු ඇතුළත් සංදේශයක් භාර දෙන ලදි.

ඉන් අනතුරුව කොළඹ අගරදගුරු නිවාස බලා ගිය ඔවූහූ, ධීවර ලෙල්ලමේ අයිතිය තමන්ට දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූහ.

මේ ආරවුල කුමක් ද?

2008 වසරේ දී එවකට කොළඹ අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන් විසින් පිටිපන එක්සත් ධීවර සමිතියට එරෙහිව නඩු පවරා ඇත්තේ ලෙල්ලම ලබා දීමේ දී පනවා ඇති කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමිනි.

අදාළ ඉඩම කොළඹ අගරදගුරු හිමියන්ට අයත් බවට නියෝගයක් ලබා දෙන ලෙසත් එසේ නියෝගය ලබා දෙන තුරු තම නියෝජිතයෙකු ලෙල්ලමේ පරිපාලනයට හා භාරකාරීත්වයට පත් කරන ලෙසත් කොළඹ එවකට සිටි අගරදගුරු හිමිපානන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට අනුව පෙබරවාරි 02 වැනිදා මීගමුව දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබා දෙමින් ලේලලමේ පරිපාලනයට සහ කළමනාකාරිත්වයට නියෝජිතයෙකු පත් කරන ලෙස නියෝග කර ඇති අතර එසේ පත්කරන ලද භාරකරුට එම දේපළට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලු මුදල් ද භාර දෙන ලෙසටත් නියෝග කර තිබුණි.

ධීවර ජනතා වෘත්තිය සංගමයේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු චෝදනා කරන්නේ මුදල් අර්බුදයක සිටින කතෝලික සභාව ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට ය.

“පැහැදිලිව තමුන්ගේ බැටළුවන් රැවැට්ටුවා. සින්නක්කර අපේ මුදල්වලින් ගන්න ආපු භාණ්ඩයක් ඒක අපිට සින්නක්කරව ලියලා දෙන්න ඕනේ. සින්නක්කරව ලියලා දුන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ හොරකමක්, වංචාවක් තිබ්බ නිසා. දිර්ඝ අරමුණක් ඔලුවේ තියාගෙන තමයි ඕක තෑගි ඔප්පුවක් විදියට ලියලා දුන්නේ සහ ඒකට කන්ඩිෂන් දැම්මේ.” යැයි ඔහු කියා සිටියේය.

කොළඹ අගරදගරු මැදුර මොකද කියන්නේ ?

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර සිටියේ ඊයේ දින විරෝධතාවට සහභාගි වූ ඇතමුන් පිටිපන ලෙල්ලම පිළිබඳව අසත්‍ය පවසමින් ධීවර ප්‍රජාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ කළ බව දුටු බව ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ මීගමුව පිටිපන ලෙල්ලමේ මුල් අයිතිය හිමිව තිබුණේ කොළඹ අගරදගුරු හිමිපාණන්ට බව ය. 1963 දී එවකට කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මගින් කොන්දේසි කිහිපයක් ඉටු කිරීමේ එකඟතාවයට යටත්ව එම ලෙල්ලම මීගමුව පිටිපන මිසමෙහි එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී තිබේ.
එහෙත් පසුකාලීනව පත් වූ එම එක්සත් ධීවර සමිතියේ නිලධාරීන් විසින් අදාළ තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපළේ කොටසක් සහ කඩ කාමර වෙනත් පිරිස් වෙත බදු දෙමින් ද එම දේපොළේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත් වන ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීම සඳහා පිටිපන දේවස්ථානයට දිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංඝණය කරමින් එම ආදායම දිගින් දිගටම තනිව භුක්ති විදිමින් ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙයි.
මෙම නඩුව තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර දිර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මීගමුව දිසා අධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර තිබුණි.

මීගමුව, පිටිපන ධීවර ලෙල්ලම එම ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත සිය ගණනක් වු ධීවර ප්‍රජාව තම මත්ස්‍ය අස්වැන්න අලෙවි කරගන්න ප්‍රධානතම ස්ථානයකි.

දිවා/ රාත්‍රි දෙකෙහිම මාළු වෙළඳාම් කරනු ලබන ලෙල්ලමක් ලෙස පිටිපන ධීවර ලෙල්ලමද ප්‍රසිද්ධියක් ද උසුලයි.

 

Similar Posts