සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්

සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 11 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES)
වැඩසටහන් අධ්‍යක්ෂ, සමන් සෙනවිරත්න මහතාද එම සංවිධාන ජාලය නියෝජනය කරමින් මුජීබ් මවුලවිතුමා, ධම්මික ලක්ෂ්මන්, සෙන්දිල් සිවඤානම්, සචිත් නන්ද්‍රජිත් සහ සදිස් කුමාර යන අය සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකානු සත්‍ය සහ සංහිඳියා කොමිසම (South Africa TRC) වැනි යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන අතර ඒ සඳහා දකුණු අප්‍රිකාව සහ ජපානය වැනි රටවල සහයෝගය ලබා ගන්නා බවයි. මෙම යාන්ත්‍රණය දේශීය විනිසුරුවන්ගෙන් සමන්විත වන අතර විදේශීය නිරීක්ෂකයින්ගේ සහයෝගයද ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

සමන් ඒකනායක මහතා අදහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සෑම කාලයකදීම ජාතික සංහිඳියාව ගොඩනැංවීම පිළිබඳව කටයුතු කර ඇති බවය. ඒකනායක මහතා එසේ පැවසුවද වික්‍රමසිංහ මහතාගේ දේශපාලනික ප්‍රකාශ සහ භාවිතය පිළිබඳ සිවිල් සමාජයට ඇත්තේ වෙනස් වූ මතයකි. ඔහු බොහෝ දේ කතා කලත් ක්‍රියාවට නංවන්නේ වෙනත් දෙයකි. මෙය වික්‍රමසිංහ මහතාට පමණක් ආවේනික වූ දෙයක් නොවේ. පසුගිය කාලය තුළ ජනාධිපතිවරුන් සහ වරියන් විසින් පත් කළ කොමිෂන් සභා පිළිබඳ ජනතාව තුළ එතරම් විශ්වාසයක් නැත. ජනතාව තුළ පවතින මතය වන්නේ ආණ්ඩු මෙවැනි කොමිසන් සභා පත් කරනු ලබන්නේ ජාත්‍යන්තර බලපෑම් හෝ සුළුතර ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිව බවය. උදාහරණයක් ලෙස 1988/89 කාලයේ රටතුළ පැවැති භීෂණය නිමා කිරීමෙන් පසු තරුණ අසහනය පිළිබඳ පත් කළ කොමිසම, යුද්ධය පැවැති කාලයේ පත් කළ උදලාගම/පරණගම කොමිසම, යුද්ධයෙන් පසුව පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම (LLRC) වැනි ජනාධිපති කොමිෂන් ගෙනහැර දැක්විය හැක.

මෙවැනි කොමිෂන් වලින් ලබාදී ඇති අවම නිර් දේශ පවා ක්‍රියාත්මක කිරීමට පැවැති රජයන් උත්සුක වී නැත. ඇමතිවරයා පවසන පරිදි මෙම යාන්ත්‍රණයෙන් රජය අපේක්ෂා කරනු ලබන්නේ පහත සඳහන් කරුණුය.

1. සත්‍ය සොයා බැලීම
2. රට තුළ සංහිඳියාව ගොඩනැංවීම
3. වගවීම
4. හානිපූර්ණය කිරීම
5. ආයතනික ප්‍රතිසංස්කරණය

උක්ත අරමුණු මෙවැනි කොමිසමක් හරහා ලඟාකර ගැනීමට හැකි වන්නේ රජය තුළ ඇති අවංකභාවය සහ කැපවීම තුළින් පමණි. මෙය ජනතාව රැවටීමට හෝ ජාත්‍යන්තරය රැවටීමට ගන්නා පහත් උත්සාහයක් ලෙස භාවිතා කළහොත් උක්ත අරමුණු කරා ලඟා විය නොහැක. මෙම කොමිසමට දැනටමත් තාවකාලීකව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව පෙනේ. ඔහු සහ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු වලින් පෙනී ගියේ මෙම කොමිසමේ වරම 1983 ජුලි සිට 2009 මැයි දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවෙි පැවැති යුද්ධයෙන් වින්දිතභාවයට පත්වූවන්ගේ පැමිණිලි විමර්ශණය කර ඔවුන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම වේ.

මෙම කොමිසම සාමාජිකයින් 21 දෙනෙක්ගෙන් සමන්විත වන බව ඔවුහු පවසති. කොමිසම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇත. ඉහත සඳහන් කළ පරිදි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇත. සාක්ෂි විභාග කිරීම සඳහා මධ්‍යගත කාර්යාලයක් සහ පළාත් කාර්යාල ස්ථාපනය කරන බව ද ඔවුහු පැවසූහ. මෙම ක්‍රියාවළිය තුළින් සත්‍ය සොයාබැලීමේ යාන්ත්‍රණයක් සැකසීම, ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, සාමය සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, සහජීවනය සඳහා මග පෙන්වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවද ඔවුහු ප්‍රකාශ කළෝය.

දකුණු අප්‍රිකානු සත්‍ය සහ සංහිඳියා කොමිසම දැනට ලෝකයේ පැවැති සාර්ථකම කොමිසම බව දේශපාලන විද්වතුන්ගේ මතය වේ. එම කොමිසම 1995 වසරේදී ස්ථාපනය කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසිනි. මෙම කොමිසමේ සභාපති ධූරය හෙබවූවේ බිෂොප් ඩෙස්මන් ටුටූය. මෙම කොමිසම ලෝකයේ පැවැති අනෙකුත් කොමිෂන් වලට වඩා වෙනස් වන්නේ සිද්ධි විමර්ශනයකර ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය සහ සීමාසහිත අධිකරණ බලය හිමිව තිබීමයි. ලෝකයේ පැවැති අනෙකුත් සත්‍ය සහ සංහිඳියා කොමිෂන්වලට අධිරකරණ බලය හිමිව නොතිබුණි. දකුණු අප්‍රිකානු කොමිසමට සීමාසහිත අධිකරණ බලය හිමිව තිබූ බැවින් ගැටුමේ අපරාධකරුවන්ට සමාවදීමට වින්දිතයින් එකඟවන්නේ නම් ඔවුනට එසේ සමාවදීමට කොමිසමට හැකියාව තිබුණි. එලෙස සමාව ලැබූ සංඛ්‍යව 1500 පමණ වේ. විදේශ ඇමති අලි සබ්‍රි මහතා පවසන්නේ එසේ සමාව දීමේ බලයක් රජය විසින් ස්ථාපනය කිරීමට අපේක්ෂිත කොමිසමට නොමැති බවයි. තවද සාක්ෂිකරුවන්ට බියෙන් සැකයෙන් තොරව නිදහසේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව රජය විසින් සකස් කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් පිළිබඳ රටේ සිවිල් සංවිධානවලට මෙන්ම ජනතාවට එතරම් විශ්වාසයක් නොමැත. නංගි පෙන්නා අක්කා දීමේ න්‍යාය අපි නිරතුරුවම දේශපාලනඥයින් තුළින් වසර ගනනාවක් තිස්සේ අත්විඳ ඇත්තෙමු. කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් ගන්නා මෙම උත්සාහය එක්වරම බැහැර නොකර වින්දිතයින් සූදානම් කිරීමේ කාර්ය සහ විදේශීය නිරීක්ෂකයින්ට බලපෑම් කරීමේ ක්‍රියාවලියක සිවිල් සමාජයට නිරත විය හැකිය. එහෙත් රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට භාහිරව සිවිල් සමාජ ක්‍රියා කළ යුතුය. එබැවින් ස්වාධීනව ක්‍රියාකරන සිවිල් සමාජ සාමුහිකයක් ගොඩනැංවීම මේ මොහොතේ අප විසින් සිදුකළ යුතු බව පෙනේ.

සටහන
සමන් සෙනෙවිරත්න,
වැඩසටහන් අධ්‍යක්ෂ,
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….