2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි.

1. රාජ්‍ය සේවක වැටුප්
රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් ලැබී නැහැ. මේ නිසා රාජ්‍ය අයවැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා.

රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000) ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩියි. මේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන්නේ රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා.
මහා භාණ්ඩාගාරයට වසරේ ආදායම් ලැබෙන්න පටන් ගන්නේ පෙබරවාරි, මාර්තු මාස වන විටයි. ඒ නිසා මේ දීමනාව වැඩි වීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදු වෙන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට අප පියවර ගන්නවා.

2. විශ්‍රාම වැටුප්
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000 ක්. ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500 කින් වැඩි කරනවා. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා. 2024 වසරේ දී රු. බිලියන 386 ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරනවා.

3. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6‐7 ක දායකත්වය ලබා දෙනු ලබන දායකත්ව විශ්‍රාම වැටුපක්. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රු. බිලියන 65 ක් පමණ වැය කරනවා. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රු. බිලියන 38 ක් වනවා. එම නිසා, රාජ්‍ය සේවකයන්ගෙන් අය කර ගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.

2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම ගැලපීම මඟින් වසරකට රුපියල් බිලියන 9 ක් එකතු කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාවය ඒ මඟින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවා.

4. ආහාර හා නවාතැන් දීමනා
පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුර බැහැර රාජකාරී කටයුතු සඳහා යන එන අවස්ථාවන්හි දී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුන සඳහා සුදුසු ගැලපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීමට අප ක්‍රියා කරනවා.

5. ආපදා ණය
රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන්, රාජ්‍ය වියදම සැළකිලිමත්ව කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළා. එම ක්‍රියාවලිය තුළ, රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන අනපේක්ෂිත හා සූදානම් නොවූ දුෂ්කරතාවයන්වල දී ඔවුන්ට ලබා දෙන ආපදා ණය හිමිකම යම් සීමා කිරීම්වලට යටත් කෙරුණා. 2024 ජනවාරි මස 1 වැනි දින සිට සියලු රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පහසුකම පෙර පරිදිම ලබා දීමට යෝජනා කරනවා.

6. අස්වැසුම
අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම අප ආරම්භ කළේ ලෝක බැංකුව ද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිවයි. නමුත්, ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලසන්නේ අපේම මුදලෙන්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අප වැය කළේ රුපියල් බිලියන 60 ක මුදලක්. දැන් එය රුපියල් බිලියන 183 ක් දක්වා ඉහළ නංවා තියෙනවා. සමාජ ආරක්‍ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල මෙන් තුන් ගුණයක් 2024 වසරේ දී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2 කට සහන සැලසෙනවා.

අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරාගැනීමේ නිර්ණායක මතයි. නව වැඩසටහන වෙත මාරු වීමේ දී ඇති වී තිබෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිවැරදි කෙරෙමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා.

සමෘද්ධි නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා උපයෝගී කරගන්නවා.

ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් 130,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මෙම දීමනාව රු. 7,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එය සියයට 50 ක වැඩි වීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රු. 2,000 ක මාසික දීමනාව ද රු. 3,000 දක්වා වැඩි කරනවා. මෙමගින් පුද්ගලයන් 530,000 කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.

පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීන්ගේ ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138 ක් වෙන් කරනවා.

සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැක. පවුලේ ආදායම් උපයන්නා මිය යා හැක. අනතුරකට ලක් විය හැක. රැකියා අහිමි විය හැක. ඒ වගේ අවස්ථාවන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්න මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්න සෑහෙන කලක් බලා සිටින්නට සිද්ධ වෙනවා. නමුත් අප ඉදිරියේ දී මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කරනවා. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීමේ අවකාශය මෙමඟින් උදාවෙනවා.

අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන් කරන මුදල ලබන වසරේ දී රුපියල් බිලියන 205 දක්වා වැඩි කරනවා.

ගර්භනී මව්වරුන් වෙත රුපියල් 4,500 ක මාසික දීමනාවක් ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් අප හඳුනාගෙන තියෙනවා. එම අඩුපාඩු සකසා මෙම වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.

7. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වයන් හේතු කොට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් දැවැන්ත අර්බුදයකට ලක් වුණා. මෑතක දී කළ සමීක්‍ෂණයකින් හෙළි වුණේ මෙවන් ව්‍යවසායන්ගෙන් සියයට 20 ක් පමණ තාවකාලිකව හෝ ස්ථිරව වසා දමා ඇති බවයි. එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ව්‍යවසායයන්ගේ කාර්යසාධන පරිමාවේ පහළ යාමක් ද එම සමීක්‍ෂණයෙන් අනාවරණය වුණා. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තව තවත් වේගවත් කිරීමට අපට අවශ්‍යයි. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තව තවත් ශක්තිය, ධෛර්යය හා පහසුකම් ලබා දිය යුතුයි. මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ද ඇතිව රුපියල් බිලියන 30 ක පමණ සහනදායී ණය පහසුකමක් අප හඳුන්වා දෙනවා.

මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශාල අනුබලයක් ලබා දෙන ක්‍රියාමාර්ග ගණනාවක පළමු අදියරයි. සහන ණය පහසුකම්වලට අමතරව එයට සහභාගී වන ආයතන සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. කාර්මික ක්ෂේත්‍රයන්හි විශාල සමාගම්වල අගය දාමයන් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සම්බන්ධ කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා වන ප්‍රතිපාදන අයවැය 2024 සඳහා වෙන් කර ඇත.

ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා වෙන්වන මුළු මුදල රුපියල් බිලියන පණහක්. මේ නිසා, රුපියල් බිලියන 250 ක පමණ වටිනා මූල්‍ය වපසරියක් නිර්මාණය වෙනවා.

8. “උරුමය වැඩසටහන”
1897 දී ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්පත් කර ගත්තා. ඉන් පසුව, 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු සියයකට ආසන්න කාලයක් ගෙවී ගියත්, මේ ගොවි බිම්වල අයිතිය ඒවා හිමි ගොවි ජනතාවට යළි පවරා දීමක් සිදු වුණේ නෑ. හුණුවටයේ කතාව නාට්‍යයේ කියැවෙන පරිදි, “ගොවි දන මනා වූ; ලැබිය යුතු වූ සේම ගම්බිම්” අප ඒ ගම්බිම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා.

බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මෙම කාර්යය 2024 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීම අපගේ අපේක්‍ෂාවයි. පවුල් ලක්‍ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන්, රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.

9. නාගරික නිවාස හිමිකම
විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබා දී තිබෙනවා. රුපියල් 3,000 ක පමණ මාසික කුලියක් ඒ පවුල් වෙතින් ලබා ගන්නවා. මේ පවුල්වලින් කුලී අය කර ගැනීම මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ඒ විතරක් නෙවෙයි, මේ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල්වලට ලබාදීමට ක්‍රියා කරනවා. 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දෙනවා.

ඉඩම් සහ නිවාස අයිතිය ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට අවසන් වන විට මේ රටේ ජනතාවගෙන් සියයට 70 ක් පමණ දෙනා ඉඩම් හා නිවාසවල උරුමකරුවන් බවට පත්වෙනවා.

10. වතුකරයේ නිවාස
වතුකරයේ ජීවත් වන්නේ ඉඩම් හිමි ජනතාවක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමට අප පියවර ගන්නවා. මෙහි ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

11. බිම්සවිය
1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12 ක් පමණ වූ ඉඩම් කට්ටි අතරින් මේ වන විට ඉඩම් කට්ටි මිලියනයක් පමණ ආවරණය කර තියෙනවා. මෙම වැඩසටහන කඩිනමින් නිම කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන වෙන් කරනවා.

12. විමධ්‍යගත අයවැය
රටේ පැවති දුෂ්කර තත්ත්වය හා විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා අතීතයේ දී ප්‍රමාණාත්මක අරමුදල් නොමැති වීම හේතුවෙන්, ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. මෙම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීම නිසා ග්‍රාමීය වශයෙන් සංවර්ධන කටයුතුවලට දායක වීමට මහජන නියෝජිතයන්ට හැකි වූයේ නෑ. අප යළිත් විමධ්‍යගත අයවැය වැඩපිළිවෙල ආරම්භ කරනවා. මේ සදහා රුපියල් මිලියන 11,250 ක මුදලක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ලබා දෙනවා. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රමවත් හා විධිමත් පිළිවෙතක් ඔස්සේ මෙය ක්‍රියාවට නංවනවා.

13. ″කඳුකර දශකය″
විවිධ හේතු නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි වර්ධනය සාපේක්ෂව අඩුයි. මෙම විෂමතාවයන් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ද දක්නට ලැබෙනවා. කඳුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබෙනවා. සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවලට අයත් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ඇතුළත් දස වසරක බහුකාර්යය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 වසරේ ආරම්භ කරනවා. මේ සඳහා 2024 වසරට රුපියල් බිලියන 10 ක් වෙන් කරනවා.

14. සංවර්ධන ව්‍යාපෘති යෝජනා අනුමත කිරීම
අප සංවර්ධන ව්‍යාපෘති අනුමත කරලීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව මුදල් ඇමතිවරයා ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙනවා. මේ ක්‍රමවේදයෙන් බැහැරව සිදු කරන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මුදල් වෙන් කරන්නේ නෑ.

ආර්ථික වර්ධනය කෙරෙහි ඉහළ දායකත්වයක් ලබාදීමට හැකිවන අයුරින් රජයේ ප්‍රාග්ධන වියදම් යෙදවීමට මෙමඟින් හැකිවෙනවා. රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරභාවය සඳහා මෙය ඉතා වැදගත්. මේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 2024 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 1,260 ක් දක්වා ඉහළ නංවනවා. එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක්.

ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘති ගණනාවක් වැඩ කටයුතු තාවකාලිකව නවතා දමා තියෙනවා. මෙම ව්‍යාපෘති යළි ආරම්භ කර නිම කිරීමට සහ මා විසින් අයවැය කතාවේ දී ඉදිරිපත් කළ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට තවත් රුපියල් බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.

මේ මුදල අප ලබා ගන්නේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය වෙතින් රුපියල් බිලියන 55 ක් ප්‍රාග්ධන වියදම් ශීර්ෂය වෙත මාරුකිරීම මගින්. එවිට ඉදිරි වසරේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් අප යොදවන ප්‍රාග්ධනය රුපියල් බිලියන 1,260 ක්.

ඒ වගේම විදේශ ණය සහ ආධාර මත සිදු කෙරුණු ව්‍යාපෘති ගණනාවක්ද අතරමග නැවතී තියෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යව්‍යුහත කිරීමේ කාර්යයන් සාර්ථක වූ පසු ඒ ව්‍යාපෘති නැවත ඇරඹිමේ අවස්ථාව අපට හිමි වෙනවා.

සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත අරමුණු නිසි කලට ඉටුකිරීමට ව්‍යාපෘති කළමනාකාරණ කමිටු අපොහොසත් වී ඇති බව පෙනී යනවා. එබැවින්, සෑම අමාත්‍යාංශයකම 2024 වසරේ සිට ඒ සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටත්, ව්‍යාපෘතිවලට අදාළ කාර්යයන් ස්ථිර කාර්ය මණ්ඩලයේ රාජකාරි ලැයිස්තුව තුළට අන්තර්ගත කිරීමටත්, රාජ්‍ය සේවය තුළින් අදාළ අත්‍යාවශ්‍ය විශේෂඥ පිරිස් සපයාගත නොහැකි අවස්ථාවන්වල පමණක් අවශ්‍ය මානව සම්පත් කොන්ත්‍රාත් හෝ පැවරුම් පදනමින් ප්‍රසම්පාදන කිරීමටත් මා යෝජනා කරනවා.

15. ග්‍රාමීය මාර්ග
පසුගිය වසර කිහිපයේ සිටම ග්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ සහ කළමණාකරණය කිරීමේ අසීරුතාවන් ඇති වුනා. අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

16. ස්වාභාවික විපත්
පසුගිය මාස කිහිපය තුළ අපට අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුණා. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියටත් පාලම් ගණනාවකටත් හානි සිදුවුණා. මේ ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කරනවා.

17. පානීය ජලය
රටේ හැම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටළු තියෙනවා. විමධ්‍යගත අරමුදල් යෙදවීමේ දී හා විදේශ ණය ආධාර ලබා ගැනීමේ දී අප පානීය ජල ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවා.

අධ්‍යාපනය

රටක අනාගතය සශ්‍රීක කරගන්න පුළුවන් වෙන්නේ යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමෙන්. අපේ රටේ පැවතෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්නන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය යටතේ නිර්මාණශීලීන් බිහිවෙන්නේ නෑ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ජනතාවට ලැබෙන්නෙත් නැහැ.

ඒ නිසා අපි පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අපි විද්වතුන් 25 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කළා. එම යෝජනා මගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක මඟ පෙන්වීම මඟින් වඩාත් ඔපවත් කළා. මෙම ප්‍රතිපත්ති රාමුව දැන් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටුවන ප්‍රධාන ආයතන කිහිපයක් පිළිබඳව මම මේ සභාවට දැනුම් දෙන්නට කැමතියි. අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සවිස්තර තොරතුරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉදිරි සති දෙක තුළ මේ සභාවට ගෙනහැර දක්වාවි.

මෑතකදී අජානා රණගල මුහුණු පොතේ ලියා තිබූ මේ සටහන මගේ අවධානයට ලක්වුණා.

“දේශීය විශ්ව විද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරා ගැනීම වෙනුවෙන් මගේ දරුවා දින, සති, මාස මතු නොව අවුරුදු වලින් වන්දි ගෙවමින් සිටියි. ජාත්‍යන්තර විෂය ධාරාව හැදෑරූ ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙති”

මේ තමයි සැබෑ තත්ත්වය. ඒ නිසා අපි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොපමාව ලබා ගැනීමේ අවස්ථාව උදා කරනවා.

18. විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීමවර්තමානයේ තාක්ෂණික ක්ෂේත්‍ර වෙනුවෙන් ඇති ප්‍රවණතාවන්ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා.
(අ). සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය (මෙයට ලලිත් ඇතුළත්මුදලි පශ්චාත් උපාධි ආයතනය ඇතුළත් කරනවා.)
(ආ). කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය
(ඇ). කළමනාකරණ හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය
(ඈ). ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය
එමෙන්ම, පහත සඳහන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළයුතු යැයි මම යෝජනා කරනවා.

(අ). එන් එස් බී එම්
(ආ). ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT)
(ඇ). හොරයිසන් කැම්පස්
(ඈ). රෝයල් ඉන්ස්ටිටියුට්

13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඉදිරියේ දී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ආරම්භ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

19. ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලය
අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට මම යෝජනා කරනවා. දැනට ක්‍රියාත්මක විද්‍යා පීඨයක අවුරුදු 4 ක පාඨමාලාව නිම කළ පසු අදාළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධ්‍යාපනවේදී උපාධිය මෙම නව විශ්ව විද්‍යාලය මඟින් පිරිනැමෙනවා. පියවරෙන් පියවර මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2024 සඳහා මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.

20. නව තාක්‍ෂණික විශ්ව විද්‍යාලය
ඉන්දියාවේ චෙන්නෙයි නගරයේ පිහිටි අයි අයි ටී විශ්ව විද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්‍ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ඉන්දියාව අපට පූර්ණ සහය ලබා දෙනවා.

21. රාජ්‍ය විශ්ව විද්‍යාල
රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩිදියුණු කරලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මෙය ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.

2042 වර්ෂයේ යෙදෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශත සංවත්සරය ඉලක්ක කර ගනිමින් සිදු කරන මේ වැඩපිළිවෙලේ ආරම්භක සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා අංශය, ජාතික අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා ආයතනය ලෙස උසස් කරනවා. ඒ සදහා අවශ්‍ය වන විද්‍යාගාර හා අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩ සැලසුමට ඉදිරි වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 40 ක් වෙන් කරනවා.
ඉන් පසුව අපේ අවධානය යොමු වෙන්නේ කොළඹ, කැළණිය සහ මොරටුව විශ්වවිද්‍යාල වෙතට. ඒ සඳහා විධිමත් සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

22. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්ව විද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා. උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට වගේම විදේශීය දරුවන් මඟින් විදේශ විනිමය උපයා ගැනීමටත් මෙමඟින් අවකාශ උදාවෙනවා.
මෙම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවන්නට අවකාශ සලසනවා.

23. ජාතික උසස් අධ්‍යාපන කොමිසම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. උසස් අධ්‍යාපනය පුළුල් හා ශක්තිමත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙන්ම නියාමන බලතල ද එම කොමිසමට ලබා දෙනවා.

24. ජාතික නිපුණතා කොමිසම
වත්මන් අභියෝගයන්ට අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ජාතික නිපුණතා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ඒ යටතේ, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ආදී ආයතන ඒකාබද්ධ කරනවා.

25. පළාත් සභා සඳහා වෘත්තීය අධ්‍යාපනය

දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා නවය වෙත පැවරීමට මා යෝජනා කරනවා. නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම හා නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවනවා. ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපන කටයුතු නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මගපෙන්වීම පමණක් සපයන අතර අධ්‍යාපන හා පුහුණු කාර්යයන් සහ සේවා සියල්ල ක්‍රියාත්මක කරන්නේ පළාත් සභා මගින්.

තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව ඉදිරි වර්ෂයේ දී රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.
26. තොරතුරු තාක්‍ෂණ පුහුණුව

තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ පුද්ගලික ආයතන සමග එක්වී රැකියා අපේක්‍ෂිත උපාධිධාරීන් පුහුණු වැඩසටහනක් දියත් කරනවා. මේ උපාධිධාරීන්ට අවම මාස 6 ක කාලයක් තුළ පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කරනවා.
ඉදිකිරීම්, සාත්තු සේවා, සංචාරක වැනි අනෙකුත් නිපුණතා හිඟයන් පවතින ක්ෂේත්‍ර සඳහාත් මෙවැනි පුහුණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

27. තරුණ සහ වැඩිහිටි අධ්‍යාපනය

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන තරුණ ප්‍රජාවට දේශීය හා විදේශීය රැකියා ලබා ගැනීමට අවකාශ සැලසිය යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයන්හි රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද සකස් කළ යුතුයි. මේ අරමුණු ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලා සහ සේවාවාන් සැපයීමට අවශ්‍ය තාක්‍ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

28. සැමට ඉංග්‍රීසි

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. 2034 වන විට දී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණයි. දස වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

29. සුරක්‍ෂා

2016 වසරේ දී හඳුන්වා දෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්‍ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවත හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව, සියලු පාසල් සිසුන් හට මෙම රක්ෂණ අවාරණය ලබා ගැනීමට හිමිකම ලැබෙනවා.

සෞඛ්‍ය සේවා සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය රැක ගැනීම උදෙසා අප කැපවෙනවා. අඩුපාඩු, දුර්වලතා සහ අර්බුද හඳුනාගෙන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පියවර ගැනීමට අප ක්‍රියා කරනවා.

30. ඖෂධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ

ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනමම ආයතනයක් පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු වී තියෙනවා. මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුවයි.

31. වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා.
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට තුන් වසරක සැලැස්මක් යටතේ ලබන වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කරනවා.

32. බදුල්ලට හෘද පෙනහලු පුනර්ජීවන ඒකකයක්.
ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙනහලු පුනර්ජීවන පහසුකම් නැහැ. අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. බදුල්ල ශීක්ෂණ රෝහලේ පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහාත්, ඊට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහාත් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කරනවා.

33. වෛද්‍ය නිළධාරීන් සඳහා උසස්වීම්
විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් දෙපාර්ශ්වයටම ගැලපෙන පරිදි උසස් වීම් ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම කඩිනම් කරනවා.

34. පශ්චාත් උපාධි අවස්ථා
වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 අයවැය මඟින් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අප ඉදිරිපත් කළා. දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලයන්ට අමතරව ලබන වසරේ සිට කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්ව විද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරනවා.
පාරම්පරික වෙදකම
අප දේශීය වෛද්‍යවේදය ශක්තිමත් කරන්නත්, ප්‍රචලිත කරන්නත් ක්‍රියා මාර්ග ගන්නවා.

35. ශ්‍රී ලාංකේය සුවතාව
පාරම්පරික වෙද වට්ටෝරුවලින් තැනූ දේශීය ඖෂධ, ආහාර අතිරේක, ඖෂධීය විලවුන් හා ශාකසාර අමුද්‍රව්‍යවලට ජාත්‍යන්තර ඉල්ලූමක් තියෙනවා. මේ අවස්ථාව හරියාකාරව පාවිච්චි කළොත් තව තවත් ජාත්‍යන්තර වෙ‍ෙළඳපොල පුළුල් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ එවැනි ආයෝජනයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අප ක්‍රියා කරනවා.

සංචාරකයන් වෙත දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීම සඳහා, “ශ්‍රී ලාංකේය සුවතාව” යන සංකල්පය අනුව සංචාරක හෝටල්, නිවාඩු නිකේතන තුළ සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුමක් දියත් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.

කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරණය

නව ආර්ථිකය යටතේ කෘෂිකර්මය තරගකාරී මට්ටමකට ඔසවා තැබිය යුතුයි. අගය වැඩි කෘෂි නිෂ්පාදන බිහි කළ යුතුයි. අපනයන ඉලක්ක කරගනිමින් කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි.

කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මූලාරම්භයන් සහ බෝග විවිධාංගීකරණය සඳහා මේ අයවැය මගින් මුදල් වෙන් කරනවා.
එසේම ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත්, නවීන තාක්‍ෂණ දැනුම ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීම ගැනත් අප විශේෂ වැඩ සැලසුම් දියත් කරනවා.

36. කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල
කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවනු ලබනවා. සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන ලෙස වැඩි දියුණු කරනවා. මේ සඳහා රජය, පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයින්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2023/24 මහ කන්නයේ සිට ක්‍රියාත්මක කරනවා. මේ කාර්යයන් සඳහා රුපියල් මිලියන 2,500 වෙන් කිරීමට මා යෝජනා කරනවා.

මෙහි අරමුණ වී නිෂ්පාදනය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමයි. මෙමඟින් වියලි කළාපයේ වී අස්වැන්න ඉහළ ඵලදායී තත්ත්වයකට පත් කර ගනිද්දී වගා නොකරන කුඹුරු වෙනත් ප්‍රයෝජනවත් වගා කටයුතු සඳහා උපයෝගී කර ගැනීමේ අවස්ථාව අපට උදා වෙනවා.

තෙත් කලාපීය ප්‍රදේශයන් හි මඩ ඉඩම්වල වී වගාවේ ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක පවතිනවා. එම ඉඩම්වල වී වගාවෙන් බැහැරව වෙනත් බෝගයක් වගා කිරීමට ද නීතිමය ඉඩකඩක් නැහැ. කිසිදු වගාවක් නොකර මුඩු බිම් ලෙස පැවතෙන එවැනි ඉඩම්වල වෙනත් වගාවක් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කළ යුතු යැයි මා යෝජනා කරනවා.

ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි ඒ සහ බී කලාප, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්‍ෂ 3 ක් වෙන් කරනවා.

37. ධීවර අංශය
ධීවර අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම, ධීවර ජීවනෝපාය සහ ආදායම් වැඩිදියුණු කිරීමේ වඩාත්ම තිරසාර මාර්ගයයි. මේ සඳහා රජය ධීවර වරායන් කළමනාකරණයේ දී පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කරනවා. නාස්තිය අවම කිරීම සහ ඵලදායිතාව ප්‍රශස්ත කිරීම සඳහා අවශ්‍ය වන ගබඩා ඇතුළු යටිතල පහසුකම් මේ ඔස්සේ සංවර්ධනය කර ගැනීමට පුළුවන්.

රටේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 35 ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන්. ඒ කාර්යයන් අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන්කරනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 29 ක් ලැබෙන්නේ මිරිදිය ධීවර හා ජලජීවී වගා අංශය මඟින්. ශ්‍රී ලංකාවේ ස්ථිර හා තාවකාලික ජලාශ 12,000 ක් පමණ තියෙනවා. මුළු ජලාශ ප්‍රමාණය හෙක්ටයාර් 260,000 ක් පමණ වෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.

මෙම වැඩසටහනේ තිරසාර බව ඉදිරියේ දී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය තුළින් චක්‍රීය අරමුදලක් පිහිටුවීම මඟින් ධීවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට තවදුරටත් යෝජනා කරනවා.

38. වැව් ප්‍රතිසංස්කරණය කිරීම
කුඩා වැව් රටේ වාරිමාර්ග හා කෘෂිකර්මාන්තයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ මෙය වඩාත් වැදගත් වෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම් ඒ ඒ ප්‍රදේශයන්හි ගොවි කමිටු වෙත පැවරීය යුතු යැයි මා යෝජනා කරනවා. ඊට අවශ්‍ය බලය සහ සහය අප ගොවි කමිටු වෙත ලබා දෙනවා. එවිට පුද්ගලික අංශය සමග එක්ව කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන්ට පුළුවන්. මේ ක්‍රියාමාර්ග ඔස්සේ ගොවි නිෂ්පාදන ඉහළ නැංවීම අපේ අරමුණයි.

39. කිරි නිෂ්පාදන
කිරි ගොවීන් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙන්නේ ජීවනෝපායක් හැටියටයි. නමුත් අප එය ලාභ ලබන කර්මාන්තයක තත්වයට ඉහළ නංවා කිරි ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම සහ මධ්‍ය පරිමාණ ලාභදායී කිරි නිෂ්පාදන ඒකක පිහිටුවීම වැදගත් වනවා. ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ ද දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ සියයට 53 කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිය අවසන් වෙද්දී දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20 දක්වා ඉහළ නැංවෙනවා. එය පස් ගුණයක වැඩි වීමක්.

මෙම වැඩසටහන යටතේ අඹේවෙල ගොවිපළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා. අඹේවෙල ගොවිපළේ දිනකට ලීටර් 1,600 ක් ව තිබූ දෛනික කිරි නිෂ්පාදනය දැන් කිරි ලීටර් 50,000 ක් දක්වා ඉහළ ගොසින් මෙය දිනකට කිරි ලීටර් 75,000 ක් දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණයි.

40. ඉදිකිරීම් අංශයට සවියක්.
පසුගිය කාලයේ දී වඩාත් පසුබෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ආනයන සීමා ආදී විවිධ හේතු නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුනට සහය වීම උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

රජයේ ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා. ඒ ඉඩම්වල ඒ ඒ රාජ්‍ය ආයතනවල සැලසුම් අනුව ගොඩනැගිලි ඉදි කිරීමේ අවස්ථාව අප ඉදිකිරීම් සමාගම් වෙත ලබා දෙනවා. ඉදිකිරීමෙන් පසු එම ආයතන විසින් ඉදි කිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීම් වියදම සහ ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැගිල්ලේ පූර්ණ අයිතිය රාජ්‍ය ආයතනය වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා.

කොළඹ නගරයේ වතු නිවාසවල ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නට අප බලපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලයේ ඔවුන්ට ලබා දෙනවා. එහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචිව සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. එකී පවුල් එම නිවාස සංකීර්ණයේ නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්නේ නම් ඒ ඉල්ලීම ඉදිකිරීම සමාගම විසින් ඉටු කළ යුතුයි.

41. ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමකරණය
ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැගී සිටීම සඳහා මෙතෙක් භාවිතයට නොගත් විභවතාවයන් බොහොමයක් ඇත. මෙම විභවතාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ දිශානතිය නැවත පෙළ ගස්වා ගැනීමට හා හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මෙරට තත්ත්වය යළි අත්පත් කර ගැනීමට රජයේ ආයතන, ව්‍යාපාර, පුරවැසියන්, සංස්කෘතික ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ නැවත ප්‍රයත්න දැරීම මඟින් ජාතික සන්නාමකරණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් මා වෙන් කරනවා.

42. සැපයුම්
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගෙන එය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැවැන්ත ආර්ථික වටිනාකමක් තිබෙනවා. කෙසේ වෙතත්, මේ දිගු කාලීන සිහිනය සැබෑ කරගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. එහි පළමු පියවර වශයෙන්, රජය සියළුම පාර්ශවකරුවන් සමඟ එකතු වී ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ගොඩබිම් සබඳතා පවත්වාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. කොළඹ වරාය නිරිතදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත්, ත්‍රිකුණාමලය වරාය අග්නිදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත් යෙදා ගැනීම අපේ බලාපොරොත්තුවයි.

බටහිර පර්යන්තය හා 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුර වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරායේ ධාරිතාවය වැඩිදියුණු වෙනවා. ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය වෙනවා. දකුණු ඉන්දියානු කලාපයේ වේගවත් වර්ධනය හා කාර්මීකරණය ප්‍රතිලාභ අත්විඳීමට ශ්‍රී ලංකාවට මෙමඟින් මනාව හැකි වෙනවා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉහළට ඔසවා තැබීමයි.

43. කාන්තාවන් සවිබල ගැන්වීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය හඳුන්වා දීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද අප කටයුතු කරනවා.

44. අත්යන්ත්‍ර
අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

45. අවතැන් ජනතාවට නිවාස
උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14 ක් ගත වී ඇතත්, තවමත් එම ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මෙවර අයවැයෙන් මෙම පිරිස් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත්, නිවාස වැඩසටහන කඩිනම් කිරීමට සහ නිවාස නොමැතිව ඉතිරිවී ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන සැලසීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රු. මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

46. අතුරුදන් පුද්ගල වන්දි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ල වූ අතුරුදන් වූවන් සහ විපතට පත් වූවන් 181 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී ඇති අතර, තවත් 170 දෙනෙකුට 2023 වසර අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි. ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම්වලින් සිදුවීම් 6,300 කට වැඩි ප්‍රමාණයක මූලික කටයුතු මේ වනවිට සම්පූර්ණ කර තිබෙන අතර විසර්ජන පනතින් දැනටමත් රුපියල් මිලියන 1,500 ක් වෙන්කර තිබෙනවා. මෙම වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

47. යාපනයේ ජල ප්‍රශ්නය
යාපනය ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ බරපතල ගැටළු පවතිනවා. වසර ගණනාවක් ගණනාවක් ගත වුණත් තවමත් මේ ගැටළුව විසඳී නෑ. මෙම සංකීර්ණ වූ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනය දැන් අවසන් වී තියෙනවා. ඒ අනුව අපට ඇති හොඳම විසඳුම පාලි ආරු ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු 2024 වසරේ මුල් භාගයේ දී ආරම්භ කිරීමට මා අපේක්ෂා කරනවා. මෙම වැඩසටහනේ මූලික කටයුතු ඇරඹීමට 2024 වසර සඳහා රුපියල් මිලියන 250 ක් ලබා දෙනවා.

48. පුනරීන් නගර සංවර්ධනය
යාපනය ‐ මන්නාරම ප්‍රධාන මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම අසල පිහිටා ඇති පුනරීන් නගරය, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් නගරයක්. පුනරීන් නගර සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් අප ලබා දෙනවා.

49. ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරය
2019 වසරේ දී ආරම්භ කළ ගාලූ දිස්ත්‍රික් ශ්‍රවණාගාරයෙහි ඉදිකිරීම් අතරමග නැවතී තියෙනවා. පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී තත්වය ඊට හේතුවයි. සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ දක්වා ආයෝජනය කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් අවශ්‍ය වෙනවා. එහි රජයේ දායකත්වය ලෙස රු. මිලියන 500 ක් වෙන් කරනවා.

50. බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය
බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම බණ්ඩාරවෙල මහ නගර සභාවේ සහ රජයේ සම මුල්‍ය දායකත්වය ඇති ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 250 ක් අප ලබා දෙනවා.

51. පහල මල්වතු ඔය ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ලබා දී ඇති අයවැය ප්‍රතිපාදනවලට අමතරව, තවත් රුපියල් මිලියන 2,500 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින්, ව්‍යාපෘතියේ කටයුතු වඩාත් කඩිනම් කර ගැනීමට අපට හැකිවෙනවා.

සංස්කෘතිය

වසර ගණනාවක සිට අපේ සංස්කෘතිය සීමාවන්ට යටත්ව තියෙනවා. සංස්කෘතිය යනු රාජ්‍ය සම්මාන උත්සව පැවැත්වීම පමණක්ය කියා බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා. රටේ සංස්කෘතිය පෝෂණය කරලීම උදෙසාත්, අතීත උරුමයන් අනාගතයට දායාද කිරීම සඳහාත් විධිමත් ක්‍රියා පිළිවෙත් ඇත්තේම නැති තරම්. විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ වුවද, අප සංස්කෘතික ව්‍යාපෘති ගණනාවක් මේ අයවැය මඟින් ක්‍රියාත්මක කරනවා.

52. මහා විහාර විශ්වවිද්‍යාලය
අනුරාධපුර මහා විහාරය 19 වන සියවසේ අග භාගය දක්වා වැඩි අවධානයක් නොමැතිව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. ථෙරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහා විහාරය විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ කරුණු සලකා බලා මහාවිහාරයේ ඉතිහාසය හා මහා විහාරයීය භූමිකාවන්හි සියලු අංග ඇතුළත් කරමින් මහාවිහාර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඉදිරි දශකය තුළ එහි මූලික කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි කටයුතු සැලසුම් කර මාස හයක් ඇතුළත වැඩ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කාර්යසාධන කමිටුවක් පත් කරනවා. මෙහි මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කරනවා.

53. අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය
මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අනුපූරක කාර්යයක් ලෙස අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවනවා. ජාත්‍යන්තර බෞද්ධ රටවල අතීත ලේඛන සුරක්ෂිත කිරීම සහ ඒවා තම පර්යේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍ය විද්වතුන්ට පහසුකම් සැලසීම මේ පුස්තකාලයේ අරමුණයි. වසර තුනක කාල සීමාවක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.

54. මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්‍ර කර ගනිමින් පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා, ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මා අපේක්ෂා කරනවා. විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට සම්බන්ධ මෙවැනි කෞතුකාගාර තියෙනවා. ඒවා පර්යේෂණ කාර්යයන් සඳහාත්, සංචාරක ආකර්ශනය සඳහාත් යොදා ගන්නවා.

අදියර වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන කෞතුකාගාරය වෙනුවෙන් ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 200 ක් යොදවනවා.
මේ කාර්යයන් ඔස්සේ ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේ අභිප්‍රායයි.

55. ක්‍රිකට් සංවර්ධනය
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණපා ඇති බව අප දන්නවා. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහාත්, පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මේ අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කරනවා. මේ මුදල් ප්‍රතිපාදන ලබාදීමේ දී අඩු පහසුකම් ඇති පාසල් සහ පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා.

56. ප්‍රවාහන ක්ෂේත්‍රය
2024 වර්ෂය තුළ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කරනවා.

බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විදුලි බස්රථ 200 ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.

ඓතිහාසික මහනුවර නගරයෙහි වාහන හා මඟී තදබදය ඉවත් කොට, දුම්රිය, බස් රථ හා වෙනත් කුලී රථ ඒකාබද්ධව ලෝක බැංකු ණය අධාර යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ජනවාරි මාසයේ දී ආරම්භ කරනවා. මෙම මධ්‍යස්ථානයෙහි ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5 ක් ලබා දෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය 2024 ජනවාරි මාසයේ දී නිමවන අතර, මිහින්තලාවේ දුම්රිය ස්ථාන පරිශ්‍රය පදනම් කොට ගෙන ප්‍රවාහන ආර්ථික හා බහලූම් සහ ගබඩා පහසුකම් සහිතව පෞද්ගලික අංශයේ ද මූල්‍ය සහභාගීත්වයෙන් විසල් නගරයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 200 ප්‍රතිපාදන වෙන් කරනවා.

පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහ නගර ආශ්‍රිත සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම යටතේ ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ලෙස ස්ථාපනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටත් අප බලාපොරොත්තු වෙනවා.

57. මහජන සේවා සැපයීම
මහජන සේවා සැපයීමේ දී වගකීම සහ වගවීම යන කරුණු දෙක ගැනම අපේ අවධානය යොමු විය යුතුයි. රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කරලීමේ දී දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක්.

58. අයවැයට අදාළ කරුණු සම්බන්ධයෙන් වගකීම.
අයවැය අරමුණු සඳහා පළාත් සභා විශේෂ වියදම් ඒකක ලෙස සැලකිය යුතු බව මා යෝජනා කරනවා. ඒ අනුව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, අනෙකුත් රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ යුතුයි. අයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාව, පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා.

තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම් වූ අයවැයකරණය අයවැය සකස් කිරීමේ දී සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන වෙත ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම ආයතන විසින් ඒ සඳහා කටයුතු කළ යුතුය.

59. පළාත් තුළින් ලබන ආදායම
පළාත් සභාවලින් එකතු වන ආදායම පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පමණක් සීමා නොකොට පළාතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස භාවිතයට ගැනීම වඩාත් සුදුසු බවට යෝජනා කරමි. කෙසේ වෙතත්, මෙතෙක් අඛණ්ඩව සිදු කරගෙන එමින් පැවති ක්‍රියාවලිය හදිසියේ වෙනස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් සියයට 50 ක් පමණක් පුනරාවර්තන වියදම් ලෙස යොදවා ගෙන අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට මා යෝජනා කරනවා.

60. පළාත් සභා මඟින් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය
1990 අංක 46 දරණ කාර්මික ප්‍රවර්ධන පනත යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් සභා සතු බලතල සීමා කර තියෙනවා. අපනයන කර්මාන්ත සඳහා අවසර දීමට ඔවුන්ට බලතල නෑ. ඔවුනට අවසර දිය හැක්කේ රුපියල් මිලියන 4කට අඩු ප්‍රාග්ධන ආයෝජනයක් සහ ස්ථිර සේවක සංඛ්‍යාව 50 කට අඩු කර්මාන්ත ශාලා සඳහා පමණයි. අප මේ විධිවිධාන අහෝසි කරනවා. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600 දක්වා මෙම සීමාව වැඩි කරනවා. එමඟින් පළාත් සභාවලට අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට හැකි වෙනවා. එසේම සෑම පළාතකම කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා.

61. පළාත් පාලන ආයතනවල ස්වයං මුල්‍යකරණය
පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට බලය පවරා තියෙනවා. නමුත් එම ආයතනවල වැටුප් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වන වියදම් දරන්නේ රජය විසින්.

දැනට පවතින මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගෙන, ස්වයං මූල්‍යකරණ ආකෘතියක් යටතේ ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂමව සැපයීමට පළාත් පාලන ආයතන දිරිමත් කරනවා. එහි පළමු පියවර ලෙස 2024 වසරේ ජනවාරි පළමු වන දින සිට මහ නගර සභාවලට වැටුප් ගෙවීම සඳහා සියයට 80 ක මුල්‍යයනයක් පමණක් ලබා දීමට අප පියවර ගන්නවා. 2025 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මුදල තවත් අඩු කරනවා. ඉදිරි වසර 5 තුළ පළාත් පාලන ආයතනයන්හි ස්වයං මුල්‍යකරණය ක්‍රමානුකූලව දිරිමත් කිරීමටත් මා යෝජනා කරනවා.

62. ජාතික ජනසභාව
ජනසභා ක්‍රමය යටතේ ග්‍රාමීය මට්ටමේ නොවිසඳුණු සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජාතික මට්ටමින් සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලිය ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ද සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මෙමඟින්, ගමේ ජනතාවට පක්ෂ, ජාති, හා ආගම් භේදයකින් තොරව සාමූහිකව තම සංවර්ධන ප්‍රමුඛතා තීරණය කර සම්පත් වෙන් කිරීමටත්, එම සංවර්ධන ප්‍රමුඛතා රජයට සෘජුවම ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනවා. එසේම මහජන නියෝජිතයන්ගේ සිට සාමාන්‍ය ගැමියා දක්වා සියල්ලන්ටම මේ වැඩපිලිවෙලට දායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගමේ තරුණ තරුණියන්ට මේ සඳහා සෘජුව දායක වීමට අවස්ථාව ලැබෙනවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටුවීමට රු. මිලියන 700 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

63. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල
කලක් තිස්සේ විවිධ පරිමාණයේ සාකච්ඡා පැවතුණ ද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වී නැහැ. එබැවින් එහි මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.

64. මධ්‍යම අධිවේගී මාර්ගය
විදේශ ණය ප්‍රතිව්‍ය්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ විගස මධ්‍යම අධීවේගී මාර්ගයේ දෙවන අදියර, එනම් කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි වැඩ කටයුතු චීනය සමඟ එක්වී ආරම්භ කරනවා. කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අප සැලසුම් කරන්නේ කටුගස්තොට දක්වාම අධිවේගී මාර්ගය තැනීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීමටයි.

65. තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන
විවිධ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන විසින් තරුණයන්ගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ. නමුත් මෙම සියළු වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර ඊට නව ආර්ථික හා සමාජ තත්ත්වයන්ට ගැලපෙන නව වැඩසටහන් ද අන්තර්ගත විය යුතු වේ. මෙම ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහන ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමටත් යෝජනා කරනවා.

66. මැණික් කර්මාන්තය
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවමත් පූර්ණ ධාරිතාවය අත් කර ගැනීමට සමත් වී නොමැති අතර ඒ සඳහා පොදුවේ එකඟ වූ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර නැහැ.

විදේශ රටවලින් මැණික් ගෙන්වා වටිනාකම් එකතු කිරීමත්, මෙරට මැණික් කර්මාන්තයේ පවතින ගැටළුත් සලකා එහි දියුණුවට පොදු වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

එම වැඩපිළිවෙල මධ්‍යකාලීන වශයෙන්, රජය, පුද්ගලික අංශය සහ අදාළ සියළු පාර්ශව එකතු වී ක්‍රියාත්මක කළ යුතු වනවා. ඒ සඳහා රාමුගත සැලැස්මක් ඉදිරි මාස 3 තුළ සකසා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

67. ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය
රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. විශේෂයෙන් වරාය ආශ්‍රිත විවිධ සංවර්ධන කටයුතුවලින් රටේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දිය හැකියි. මෙය දිගු කාලීනව සිදුකළ යුතු සංවර්ධන වැඩසටහනක්. මහා පරිමාණ කෘෂි වැඩසටහන් හා වෙරළබඩ සංචාරක කලාපයක් ද මීට ඇතුළත්. ඉන්දියානු ආයෝජකයන් සමඟ එක්ව මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.

68. ගාලූ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය
ගාලූ දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීමේ පියවරක් ලෙස ගිං ගඟ ජල කළමනාකරණ වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ යුතුයි. මධ්‍යකාලීන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. එහි මූලික වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා.

69. ණය ප්‍රතිව්‍යුහගත කිරීම
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඟින් ඇති කරනු ලබන අවකාශය හේතුවෙන් සහන පියවර සඳහා සම්පත් සොයා ගැනීමට රජයට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සහාය දක්වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2022 වසරේ දී සියයට 128 සිට 2032 වසරේ දී සියයට 95 ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා. මේ ඉතිරිකිරීම් වල ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව, සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගන්නට දැන් අපට හැකිවී තියෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේ ප්‍රධාන අංග සම්පූර්ණ කර හමාරයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ ශුද්ධ ණය වර්තමාන අගය අනුව අඩු කරනවා. දැනට පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පියවීම සඳහා එක්සත් ජනපද ඩොලර් පදනම් කරගත් නව මූල්‍ය මෙවලම් නිකුත් කළ යුතුයි. ඒ අනුව, පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම් සඳහා රාජ්‍ය ගිණුම් පොතේ ගනුදෙනුව සටහන් කිරීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා.

ඒ අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහි පියවීම සඳහා රු. බිලියන 3,000 ක් මේ අයවැය මගින් මම වෙන් කරනවා.

70. මූල්‍ය අංශයේ ස්ථායීකරණය
දිගු කාලීනව බැංකු ස්ථායීතාව සම්බන්ධයෙන් සියලූ විචක්ෂණ ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීමට රජය උනන්දු වෙනවා. මේ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් සහාය දක්වන පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු සඳහා ස්වාධීන වත්කම් තත්ත්ව සමාලෝචනයක් පැවැත්වුණා. මෙම වත්කම් තත්ත්ව සමාලෝචනයේ මූලික ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ විචක්ෂණ පදනමක් මත අමතර ප්‍රාග්ධන එකතුවක් ගොඩ නැගීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා, රුපියල් බිලියන 450 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.

බැංකු අංශයේ ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ප්‍රතිපාදන දිගුකාලීනව බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරනවා. බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඇති බර අවම කිරීම සඳහා ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20 ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දිය යුතු යැයි මා යෝජනා කරනවා. රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළැක්වීම සඳහා, ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති රීති සහ තනි ණය ගැණුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයනු ඇති අතර එය 2024 වසරේ මුල් භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.

71. ණය ගැනීමේ සීමාව වැඩි කිරීම

බැංකු නැවත ප්‍රාග්ධනීකරණය සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල්පිරීම් කාලයක් සහිත නව ණය මෙවලම් නිකුත් කිරීම අවශ්‍ය වනවා. එබැවින් දැනට පවතින ණය පියවීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වනවා මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීම ද අවශ්‍ය වෙනවා. ඒ අනුව, ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,900 සිට රු. බිලියන 7,350 ක් දක්වා රු. බිලියන 3,450 කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා

72. නීති ප්‍රතිසංස්කරණ
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සහ සුරක්ෂිත ගනුදෙනු පනත් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර නව ක්ෂුද්‍ර මූල්‍ය පනත මඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත නෛතික බලයක් ලබා දෙනවා. නව සුරක්ෂිත ගණුදෙණු නීතිය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වත්කම්වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගැනීමට සහ වර්ධනය සඳහා ණය ලබා ගැනීමට හැකි වනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යහපාලන මූලධර්ම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය නව නීති හඳුන්වා දෙමින් සිටිනවා. රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දැනටමත් අවසන් කර ඇති අතර ඒවා දෙසැම්බර් මාසයේ හෝ 2024 පළමු කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයෝජන හිතකාමී නෛතික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව ආයෝජන නීතිය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතිය හඳුන්වා දීම අප ආරම්භ කළා. ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය විසින් නව ආයතනික වෙනස්කම් සමඟ නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා.

ඉහත ගෙන හැර දැක්වූ නීතිවලට අමතරව රටේ ප්‍රගතියට අනුබල දීම සඳහා නව නීති ගණනාවක් හඳුන්වා දීම සහ පවතින යල් පැනපු නීතිවලට සංශෝධන ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අප දැනටමත් ආරම්භ කර තියෙනවා. මේ අයුරින් නව නීති හා සංශෝධන නීති 60 ක් අප හඳුන්වා දෙනවා.

73. පාලන ප්‍රතිසංස්කරණ
ආර්ථික අර්බුදයට දායක වීමේදී, ආර්ථික පාලනයේ සහ විශේෂයෙන්ම මූල්‍ය පාලනයේ දුර්වලතා විසින් සිදු වූ විශාල දායකත්වය රජය හඳුනා ගෙන තියෙනවා. ගැටලූවක් විසඳීමේ පළමු පියවර වන්නේ එය පිළිගැනීමයි. අප රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහයන්හි දුර්වලතා පිළිබඳ ස්වාධීන තක්සේරුවක් සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකා රජයක් මෙවැනි සමාලෝචනයක් කළ පළමු අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලනය පිළිබඳ විශ්ලේෂණයක් ආසියාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි. ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ව්‍යුහාත්මක පාලන ගැටළු වලින් පීඩා විඳිනවා. සමාලෝචනයේදී මතුකර පෙන්වූ බොහෝ ගැටළු රජය විසින් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඒවා විසඳීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. නිදසුනක් වශයෙන්, ප්‍රසම්පාදනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග, ආදායම් එකතු කිරීමේ අධිකාරීන්ගේ දුෂණ දුර්වලතා විසඳීම සහ ආයෝජන දිරිගැන්වීම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. මෙම ගැටළු විසඳීම සඳහා පනත් කෙටුම්පත් සැකසෙමින් පවතිනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ස්වරූපයෙන් නව නීති සම්පාදනය කෙරෙනවා.

74. නව වර්ධන ආකෘතිය
දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව ණය අරමුදල් මත යැපුණු ආර්ථික සංවර්ධනය හා සුභසාධන බෙදීයාම මත විශ්වාසය තැබුවා. මෙය තිරසාර ආර්ථික ව්‍යුහයක් නොවූ අතර, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ මෙම ආකෘතිය වෙනස් කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවාවන් සීමාසහිතව ලබා දෙන බදුබර අඩු රටක් ද? රජයේ කාර්යයභාරයද වැඩි බදු බරද වැඩි රටක්ද? පිළිබඳව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව සමාජ සම්මුතියක් අවශ්‍යව පවතිනවා. කුමන මාර්ගයෙන් වුවත්, රටේ සංවර්ධනය සඳහා ඵලදායීතාවයේ වර්ධනයක් හා බෙදාගතහැකි අතිරික්තයක් තිබිය යුතුයි. මේ නව වර්ධන ආකෘතිය, ඵලදායීතාවයෙන් වැඩි සාධාරණ, හරිත වර්ධනයකින් හෙබි ඩිජිටල්කරණය වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වියයුතුයි.

75. ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය
රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා මෑතක දී ප්‍රයත්නයන් රාශියක් ගෙන ඇති අතර, පෙර කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග බොහොමයක් අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අත්දැකීම් ද යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායීතාවය ඉහළ නැංවීම, ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, මානව සම්පත් සම්බන්ධයෙන් පවතින යල් පැන ගිය රාජ්‍ය විධිවිධාන වැනි බාධකයන් මගහැර විසඳුම් ලබා දීම, නවීන, කාර්යක්ෂම හා අඛණ්ඩව ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම ආදායම් අධිකාරිය පිහිටුවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කරනවා.

76. ගෝලීය ආර්ථික සබඳතා
අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළ පුළුල් කරගත යුතුයි. ඒ වගේම තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කරගත යුතුයි. මේ සඳහා අපේ කලාපයේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ විස්තීර්ණ වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප ක්‍රියා කරනවා.

තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම, පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරගැනීමට අප පියවර ගනිමින් සිටිනවා.

අපි එක් අතකින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (R – CEP) ඇතුළු වෙනවා. අනෙක් අතින් යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන ගෝලීය වෙලඳපොළවල් සියල්ලටම තරගකාරී මට්ටමන් ඇතුළු වීමට අවකාශ අපේ රටට ලැබෙනවා.

විදේශ වෙළෙඳාම සහ ගෝලීය වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාවේ ගැඹුරු සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස, ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළුව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට අප පියවර ගන්නවා. වසර 3ත් 5ත් අතර කාලය තුළ ක්‍රමානුකූලව මේ බදු ඉවත් කරනවා.

ලෝක වෙළෙඳ සංවිධානයේ, ශ්‍රී ලංකාවේ වෙළඳ පහසුකම් සැපයීමේ බැඳීම් බොහෝ අඩු සංවර්ධිත රටවල් වලට වඩා පහළ මට්ටමක පවතී. විද්‍යුත් ගෙවීම් භාරගැනීම, ඩිජිටල් ලේඛන භාරගැනීම ඇතුළු තෝරාගත් වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට නියමිතව තිබියදී රාජ්‍ය ආයතන ගණනාවක් එම ඉලක්ක කරා ළඟා වී නෑ.

එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළෙඳ පහසුකරණ කමිටුව ප්‍රතිසංවිධානය කරනවා. තවත් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු ඊට ඇතුළත් කරගැනීමටද අප බලාපොරොත්තු වෙනවා.

ගෝලීය යහපත් පරිචයන්ට අනුරූපව ශ්‍රී ලංකා රේගු නීති සකස් කිරීමේ අරමුණින් තවදුරටත් රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.

ඵලදායි වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා වන ජාතික කමිටුව, ජාතික තනි කවුළුව කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එමගින් අභ්‍යන්තර වෙළඳාම සහ ආයෝජන කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරගන්න පුළුවන්. ජාතික තනි කවුළුව මඟින් සියලූම දේශසීමා කළමනාකරණ ආයතන තනි ඩිජිටල් වේදිකාවක් තුළට ගෙන ඒම සහ වෙළෙඳාම සම්බන්ධ නියාමන ලියකියවිලි බාධාවකින් තොරව සහ කාලෝචිත ආකාරයකින් සිදු කිරීමට පහසුකම් සපයනවා. ඒ කාර්යයන් සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර තිබෙනවා.

රටවල් කිහිපයක වෙළෙඳ සලකුණු ලියාපදිංචි කිරීමට දැන් විශාල කාලයක් සහ මුදලක් වැයවෙනවා. මෙය කඩිමින් හා පහසුවෙන් කර ගැනීමට අවස්ථාව සලසන මැඩ්රිඩ් සම්මුතියට ප්‍රවේශ වීමට අප ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා සන්නාමවල තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමට මෙය ඉතා වැදගත් වෙනවා.

77. ආයෝජන
පසුගිය වසරේ අයවැයෙන් යෝජනා කළ පරිදි, රටේ ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ආයතනික හා නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියෙහි කාර්යයන් ඒකාබද්ධ කරන ආයතනික රාමුව අධීක්ෂණය කරන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කරමින් නව ඒකාබද්ධ ආයෝජන නීතියක් කෙටුම්පත් කර තිබෙනවා. යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.

ආයෝජකයන් සඳහා සේවා සපයනු ලබන රජයේ සියලූම ආයතනවල කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීම වැඩි දියුණු කිරීම මඟින් අදාළ කාර්ය පරිපාටි සරල කිරීම, අන්තර් ක්‍රියාකාරී හැකියාව, අඩු පිරිවැයක් හා කාලයක් ගත වන කාර්ය පටිපාටි හරහා ආයෝජන ක්‍රියාවලීන් සඳහා පහසුකම් සැලසීමේ දී ආදාළ අනුමැතීන් හෝ බලපත්‍ර ලබා දෙන ආයතන සමඟ එක් වී ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා 2024 වසරට රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.

හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර මෙම විශේෂිත ආයෝජන ප්‍රවර්ධන කලාප යටිතල පහසුකම් සංස්ථාව හරහා පාලනය කිරීමට යෝජනා කරනවා.

78. ඵලදායීත්වය නංවාලීම හා නිෂ්පාදන ආර්ථිකය හසුරුවාලීම
2023 අයවැය කතාවෙන් මා සඳහන් කළ පරිදි ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා දැනටමත් නීති කෙටුම්පත් කර අවසානයි. 2024 වන විට මේ කොමිෂන් සභාව පිහිටුවීමට නියමිතයි. මේ සඳහා රුපියල් මිලියන 150 ක ප්‍රතිපාදන 2024 වසරේ වෙන් කරනු ලබනවා.

79. ඩිජිටල් ආර්ථිකයක් කරා
වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය කර යාමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමට මා යෝජනා කරනවා.

ඒ අනුව, රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම සැපයීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරනවා.

මීට අමතරව, රාජ්‍ය අංශය, විශේෂඥ ආයතන හා සිවිල් සමාජය සම්බන්ධීකරණයෙන් තාක්‍ෂණික නවෝත්පාදනය දිරිගැන්වීම උදෙසා තාක්‍ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීමටද මා යෝජනා කරනවා.

එසේම ඩිජිටල් තාක්‍ෂණයේ නවතම ප්‍රවණතාව වන කෘතිම බුද්ධිය පදනම් කර, ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කරගනිමින් කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු යොදනවා.

මෙම කාර්යයන් සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3 ක මුදලක් වෙන් කරනවා.

මෙම යටිතල පහසුකම් සඳහා තීරණාත්මක කොඳු නාරටිය වනුයේ ශ්‍රී ලංකා ‐ ඩිජිටල් අනන්‍යතාවය සංවර්ධනය කිරීමයි. මෙම අරමුණ කරා ළඟාවීම සඳහා පියවර ගෙන ඇති අතර 2024 වසර තුළ දී එය අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

80. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ ප්‍රතිපත්තිය
පර්යේෂණ සහ සංවර්ධනය, තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදනයන්, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී සහ ආර්ථික ප්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා සහාය වීමේ දී උත්ප්‍රේරකයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කරුණු පදනම් කරගනිමින් ජාතික පර්යේෂණ ප්‍රතිපත්තියක් සැකසීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් බිලියන 8 ක් වෙන් කරනවා.

81. සංචාරක ව්‍යාපාරය
ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රගතියක් ලබමින් තිබෙනවා. අප රටේ පිහිටීම, දේශගුණය සහ අතීත උරුමයන් පසුබිම් කරගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ වෙනස්කම් ගණනාවක් අප සිදු කළ යුතුයි. හෝටල් කාමර කුලියට දීම, මුහුදු වෙරළ අත්දැකීම් විඳින්නට අවකාශ සැලසීම හා සීගිරිය පෙන්වීම වැනි සාම්ප්‍රදායික කාර්යයන් අභිභවමින් නව සංචාරක සංස්කෘතියක් අප නිර්මාණය කර ගත යුතු වෙනවා. ඒ සඳහා පදනම දැමෙන පියවර ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය පිණිස නව ස්වරූපයෙන් දිගු කාලීන වැඩසටහනක් “විසිට් ශ්‍රී ලංකා” යටතේ 2024 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අපගේ අපේක්ෂාව වසරකට අඩුම තරමින් මිලියන පහකවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමයි. මේ සඳහා පහසුකම් සැලසීමට රජයත්, පළාත් සභා හා පළාත් පාලන ආයතනත් වැඩකටයුතු රාශියක් සිදු කළ යුතුයි. එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව නීතියක් ද සම්මත කර ගැනීමට අප ක්‍රියා කරනවා මේ කාර්යයන් සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන ලබා දෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සැපිරීමේ වගකීම් පළාත් සභාවන් වෙත පවරනවා. ඒ සඳහා පළාත් සංචාරක මණ්ඩල ශක්තිමත් කරනවා. අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750 ක මුදලක් වෙන්කරනවා. මුදල් කොමිෂන් සභාව හරහා ඊට අවශ්‍ය සහය පළාත් සභා වෙත ලබා දෙනවා.

රජයට අයත් නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා 720 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ මගින් ආසන්න වශයෙන් කාමර 3,750 ක් සැපයිය හැකියි. රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මා යෝජනා කරනවා. මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා .

82. පින්නවල‐කිතුල්ගල සංචාරක කොරිඩෝව
කිතුල්ගල ජල ඔරු පැදීමේ ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒ වටා ඇති අනෙකුත් සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම ඒ සඳහා උපයෝගී කරගන්නවා. යෝජිත ගලිගමුව නව නගරය මෙම සංචාරක කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා. වසර 3 ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 750 ක මුදලක් වෙන් කරනවා.

83. නිර්මාණාත්මක ආර්ථිකය
නිර්මාණශීලීත්වය, සංස්කෘතිය හා සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිර්මාණාත්මක ආර්ථිකයේ පදනම තාක්ෂණය සහ නවෝත්පාදනයයි. ඒ නිසා, නිර්මාණාත්මක අවකාශයන්, කර්මාන්ත සහ උගතුන් අතර සහයෝගීතාව ඇති කිරීමට පෙරමුණ ගැනීමට මම අදාළ පාර්ශවකරුවන්ට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහය වීමට රජය සූදානමින් සිටිනවා.

84. ගිග් ආර්ථික කටයුතු
භාණ්ඩ හා සේවාවන්හි දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළු ගිග් ආර්ථික ක්‍රියාකාරකම් සහ විද්‍යුත් වාණිජමය ගනුදෙනුවල නව ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන, දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළුව ගිග් ආර්ථිකය සහ විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප්‍රතිපත්ති සහ නියාමන රාමුවක් හඳුන්වා දීමට යෝජනා කරනවා. එය ගෙවීම් ක්‍රමවේදය, රාජ්‍ය මූල්‍ය ආදායම, සේවක සුභසාධනය යන අංශ ආවරණය කරනවා.

85. හරිත ආර්ථිකය
අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමටනම් අප හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ යුතුයි. තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වෙන්නේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මයි.

මහා භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකකයක් ඇති කිරීමෙන්ද, ජනාධිපති කාර්යාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධ කාර්යාලයක් ඇති කිරීමෙන් ද, ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන ආයතනික ව්‍යුහය නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටිනවා.

ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600 ක් අප වෙන් කර තියනවා.

හරිත හයිඩ්‍රජන්, හරිත ඇමෝනියා සහ සූර්ය හා සුළං ඇතුළත් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා.

ළඟදීම දේශගුණික විපර්යාස කොමිසමක් පිහිටුවීමට අප ක්‍රියා කරනවා.

කාලගුණික විපර්යාස හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් කිහිපයක අනාගතයේ දී ආහාර හිඟ වීම ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තියෙනවා. මෙම තත්ත්වය යටතේ අනාගත ආහාර සුරක්ෂිතභාවය සහ හිඟයකින් තොරව පාරිභෝගිකයින්හට අත්‍යවශ්‍ය ආහාර සැපයීම තහවුරු කිරීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් සැලසීමට සුදුසු වැඩසටහනක් දියත් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළ, පරිසරය සුරකින හරිත ආර්ථිකයක්..!

අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළට, පරිසරයට ආදරය කරන හරිත සමාජයක්…!

හරිත ආර්ථිකයක් සහ හරිත සමාජයක් බිහි කරන හරිත අයවැයක් ඉදිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. එය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක්.
මේ හරිත අයවැය අලූත් ආර්ථිකයක් සඳහා ප්‍රවේශයක්. සවිමත් අනාගතයකට පෙරවදනක්. සමජීවිකතා සංකල්පය තහවුරු කිරීමක්.

Similar Posts