සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි.

මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව  පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවන අතර  එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබනු බවද මහබැංකුව පවසයි.

ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය. ඉතුරුම් සහ ජංගම ගිණුම් අංක, අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකථනයෙන් පිවිසෙන බැංකු ගිණුම් හෝ විද්‍යුත් පසුම්බි (e-wallet) හෝ පරිශීලකනාම (User Name/ User ID) සහ මුරපද (Password), ගෙවීම් කාඩ්පත්වල හෝ අන්තර්ජාල බැංකු පහසුකම් වල පුද්ගලික හැඳුනුම් අංක (PIN) එනම්, සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීමට භාවිතා කරන හෝ අන්තර්ජාල බැංකු ගිණුම් වලට පිවීසීමට භාවිතා කරන අංක ආදිය,  ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවතා කල හැකි මුරපද (One-Time-Password – OTP),  ගනුදෙනු සත්‍යභාවය සහතික කිරීම සඳහා ගිණුම් හිමිකරුට පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ,  හර හෝ බැර ගෙවීම් කාඩ්පත් වල අඩංගු තොරතුරු වන කාඩ්පත් අංක, එම කාඩ්පත් කල් ඉකුත් වීමේ දින, ආරක්ෂිත කේත එනම්, බොහෝවිට ගෙවීම් කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV, CVC හෝ CVS යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක සහ පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත් පසුම්බි හෝ වෙනත් ඕනෑම ගිණුමකට පිවිසීමට හෝ ඒවා සත්‍යාපනය කිරීමට භාවිතා කළ හැකි තොරුතුරු ආදිය මෙයට ඇතුළත් වේ.

මෙවැනි වංචාවක් සිදු වූ විට ක්ෂණිකව එය පාරිභෝගිකයාට දැනගැනීම සඳහා තම බැංකු හෝ මූල්‍ය සමාගම් වැනි බැංකු නොවන මූල්‍ය ආයතන වලින් කෙටි පණිවිඩ වැනි එසැනින් දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ජනතාවට දන්වා සිටියි.

ගිණුම් හිමිකරුවන් මෙවැනි වංචා පිළිබඳ සැමවිටම අවධානයෙන් සිටිය යුතු බවත්, තමන්ගේ රහස්‍ය තොරුතුරු විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පෞද්ගලික හැඳුනුම් අංක (PINs), එක්වරක් පමණක් භාවිතාවන මුරපද (OTP), හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යාතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනෙකුත් පුද්ගලයින් සමග හුවාමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත් මහ බැංකුව තරයේ අවවාද කරයි. ගනුදෙනුකරුවන් ඕනෑම මූල්‍ය සේවාවක් ලබා ගැනීමට පෙර එහි ඇති කොන්දේසි හොඳින් කියවා බැලීම කල යුතු වේ.

තවද, ගිණුම් හිමියන්ට තම ජංගම හෝ ඉතුරුම් ගිණුම් වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන තම අනන්‍යතාවය සම්බන්ධ රහස්‍ය තොරතුරු දැනුම් දෙන ලෙස පහසු ණය යෝජනා ක්‍රම වැනි වෙනත් පාර්ශවයන්ගේ ලැබෙන ඉල්ලීම් හෝ තමන් විසින් සිදු නොකළ සැක සහිත ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපැල් දැනුම්දීම් හෝ දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව නොපමාව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වැඩිදුරටත් මහබැංකුව පවසයි.

Similar Posts