ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.9 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, 2019 මැයි මාසයේ සිට පහළ යන උපනතියක් පෙන්නුම් කළ ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.3 ක අගයක් වාර්තා කළේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 2.3 හි සිට 2019 ඔකතෝබර් මාසයේ දී සියයට 2.8 දක්වා ඉහළ ගියේය.

ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.0 ක ලෙස වාර්තා වූ අතර, ඒ සඳහා හේතු වූයේ ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි දක්නට ලැබුණු ඉහළ යෑම් පමණි. ආහාර කාණ්ඩයෙහි ලොකු ළූණු, සහල් සහ එළවළු මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විට. මේ අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන, ප්‍රවාහන සහ සෞඛ්‍ය යන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් පහළ ගියේය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපන්‍ය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 හි නොවෙනස්ව පැවතුණි. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 5.2 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

Similar Posts