cricket

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

මේ රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බවත් ජනාධිපතිවරයා අයිපීඑල් තරගය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ගේ ආරක්ෂකයාවූ පාතාල කරුවකු බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් යනු බඩගින්න අමතක කර ක්‍රිකට් බලපු ජාතියක් බව කී ගයන්ත කරුණාතිලක මහතා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් සිටි ලංකාවට මෙහෙම වූයේ ඇයිදැයි විමසා බැලිය යුතු බව සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ හේතුවෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ඉන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු පැය භාගයක පමණ කාලයකට අත්හිටවනු ලැබීය.

Similar Posts