derana news today

සමෘද්ධිය සහ දිවිනැඟුම වැඩසටහන් ඔස්සේ කළ කාර්යභාරයෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා සමාන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

දුප්පත්කම යන්න ග්‍රාමිය තත්ත්වයක් පමණක් නොව ග්‍රාමීය, නාගරික, වතු ආදී සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අස්වැසුම වැඩසටහන මඟින් මේ ප්‍රශ්නයට කල් පවත්නා පිළිතුරක් සොයා ගැනීමට යම්කිසි මැදිහත්වීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිදු කරන බවද කියා සිටී.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“ඈත අතීතයේ සිට මේ බොරුව සමාජගත වීම සඳහා සුවිශේෂි දායකත්වයක් ඇතැම් මාධ්‍ය ලබාදී තිබෙනවා. මේ පච ගොන්නට අලුතින් එකතු වෙච්ච පචය තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන කොට මේ රටේ බැංකු පද්ධතිය 30 වෙනිදා වෙනකොට කඩා වැටෙයි කීම. හැබැයි අද ඔබලා දකිනවා ලැයිස්තුගත බැංකුවල කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යනවා. කොටස් වෙළෙඳපොළ නැවත පණගැන්විලා ආයෝජකයන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා කියන එකට යම් යම් සංඥාවලින් අපට දකින්න පුළුවන්. ඒ නිසා අපි දැන්වත් මේ බොරුව සමාජගත වෙන එක නවත්තන්න ඕනෑ. එයට හේතුව ශ්‍රී ලංකා සමාජය දැනුම්වත් සමාජයක්. අපේ සාක්ෂරතාව දියුණු සංවර්ධිත රටවල්වලට සමානයි. ඒ නිසා අපි මේ බොරුව සමාජගත කරමින් උත්සාහ කරන්නේ විසඳුමක් දෙන්න නොවේ. රාජ්‍ය අස්ථාවර කර ආණ්ඩු බලය අල්ලා ගන්නත් නොවේ.

අස්ථාවරත්වය මත තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. ඒ නිසා නම් ගම් වශයෙන් සඳහන් නොකළාට දිගින් දිගටම බොරුව සමාජගත කරන එක නොකළ යුත්තක්. ඒකට හේතුව අපේ රටේ සමාජයේ විකෘතියක් ඇති කරන්න ඉඩකඩ තිබෙනවා. දැන් මහ බැංකුව පෙරේදා තමන්ගේ නිල පොළි අනුපාතිකය පහළ දැම්මා. රටේ පොළි අනුපාතිකය තීන්දු වෙන්නේ මහා බැංකුවේ පොළි අනුපාතිකයත් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආයෝජකයන්ට තමන්ගේ ආයෝජන භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත් ආයෝජනය කරනවා වෙනුවට සැබෑ ආයෝජන අවස්ථා හොයාගෙන අලුත් පිරිසකට රැකියා උත්පාදනය කරන මාර්ග සැලසෙන, ඒ වගේම සේවා ව්‍යුක්ත නිෂ්පාදන සම්පත් සේවා නියුක්ත කිරීමට අවස්ථාව ලැබෙන ආයෝජන වෙත යොමු කරන්න පුළුවන් ව්‍යාපාර පරිසරයක් අපේ රටේ බැංකු පද්ධතිය ඇති කරයි කියලා. ඒ නිසා මහා බැංකුවේ ප්‍රතිපත්ති පොළි අනුපාතිකය පහළ යෑමේ වාසිය මේ රටේ ආයෝජකයන්ට ලැබිය යුතුයි.

ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලසීමාවේ අපේ රටේ බැංකු, මූල්‍යය ආයතන මේ සුබ පණිවිඩය මේ රටේ ආයෝජකයන්ට දෙයි. තමන්ගේ ප්‍රතිපත්ති පොළි අනුපාතකයන් ගැලපෙන ආකාරයට ගලපලා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේ අග වෙනවිටවත් බැංකු පොළි අනුපාතිකය වාණිජ බැංකුවල ණය දෙද්දි තනි ඉලක්කමට අරගෙන එයි කියලා. අපේ ආහාර මිල උද්දමනය ශීඝ්‍රයෙන් පහළ යනවා. ජනතාව අලුත් බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවා. විශාල පිරිසකට අපට සහන සලසන්න අවස්ථාව මේ හරහා ලැබෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා මේ රටේ බැංකු සහ මුල්‍ය ආයතන ආයෝජන දිරිගන්වන මූල්‍ය ප්‍රතිපත්තියකට ගමන් කරයි කියලා. මා බෞද්ධයෙක් නිසා නොවේ ඊට එහා ගිය සමාජ වගකීමක් තියෙන කෙනෙක් විදිහට මෙය භාජනය කරන්නේ. සමාජ මාධ්‍යවල එක්තරා පිරිසක් එක්තරා කල්ලියකට, කණ්ඩායමකට අයත් වන පිරිසක්.

මේ රටේ අතිමහත් බහුතරයක් බෞද්ධ ජනතාවගේ සිතුම් පැතුම්වලට සම්බුද්ධ ශාසනයට, සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්මට, අපේ සංස්කෘතියට පහර දෙනවා. ආගමක් නැති අයට ආගමක් කතා කරන්න අයිතියක් නෑ. කාගේ හරි ආගමික විශ්වාසයක් සම්බන්ධයෙන් නිර්ධය ලෙස විවේචනය කරන්න අයිතියක් නෑ. ඒ නිසා මේ බෞද්ධ ආගමට දිගින් දිගටම මේ විදිහට අපහාස, උපහාස කරන්නේ සම්බුද්ධ ශාසනය සහ බෞද්ධ ආගමේ මූලික ඉගැන්වීම් සහ හර පද්ධතියට පහර දෙන්න පමණක් නොවේ. මේ හා බැඳුණු යටි අරමුණක් තිබෙනවා. ඒ තමයි රාජ්‍ය විනාශ කිරීම. ඒ නිසා මේ හා සම්බන්ධ පිරිස් ගැන මේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. අපට තව වාර්ගික හෝ ආගමික ගැටුමකට යන්න පුළුවන්කමක් නෑ. අපි දැනටමත් හෙම්බත් වෙලා ඉන්නේ. පහුගිය අවුරුදු 75 කාලසිමාවේ මෙවැනි අනවශ්‍ය ගැටුම් සමඟ අපි ගැටිලා රටක් විදිහට, ජාතියක් විදිහට ඉතාම නරක තැනකට තල්ලු වෙලා ගිහින් තිබෙන්නේ.

අවිශ්වාසය, අවිනිශ්චිතාව, අවදානම අපේ රටේ සාමාන්‍ය ජන ජිවිතයට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනයටත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික රාමුවටත් පහර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ප්‍රතික්ෂේප කරනවා. මේ පිරිස් අපි වහා හෙළිදරව් කළ යුතුයි. මෙය අවාසනාවන්ත තත්ත්වයක්. ලෝක බැංකුව 2023 මැයි මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාව 2021, 2022 කාලසීමාවේ මේ රටේ ආර්ථිකය හැසීරිම පිළිබඳ විවිධ පැතිකඩවලින් කරන ලද විමසීමක්. එහි එක සඳහනක් තිබෙනවා මේ කාලසීමාවේ ලංකාවේ දිළිඳුකම සියයට 13 සිට සියයට 25 දක්වා වැඩිවෙලා තිබෙනවා කියලා. මේ කාලසීමාවේ අලුතින් දිළිඳුකමට එකතු වුණු පිරිස ලක්ෂ 25ක්. ඒ වාර්තාවේ තිබෙනවා ඉදිරි වර්ෂ කීපය තුළත් අපේ රටේ දිළිඳු ජනගහනය ජනගහනයෙන් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් වෙයි කියලා.

අපේ රටේ දුප්පත්කම අපේ මුලදී ග්‍රාමීය තත්ත්වයක් ලෙස සැලකුවට අපි දකිනවා ග්‍රාමීය, නාගරික, වතු කියන සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා රජය ක්‍රියාත්මක කරන්න යන අස්වැසුම වැඩසටහන මඟින් මේ ප්‍රශ්නයට කල්පවත්නා පිළිතුරක් සොයා ගැනීමට යම් මැදිහත්වීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි කළ යුතුයි. ස්ථිර වශයෙන්ම වසර 3ක් 4ක් ඇතුළත මූල්‍ය සහනාධාරයක් පිරිනැමීම මඟින් මේ රටේ දුප්පත්කම තුරන් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි නැවත වාරයක් උත්සාහ කරන්නේ බඩකට පුරවලා අවුරුදු තුනක් ඇතුළත දුප්පත්කමට සාර්ථකව මුහුණ දෙන්න නම් එය සාර්ථක උත්සාහයක් වෙන්නේ නෑ. අපට සිදුවෙනවා මේ රටේ දිළින්දන් පිළිබඳව නව වර්ගිකරණයකට යන්න. අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි අපි දිවි නැඟුමෙන්, සමෘද්ධියෙන්, ජනසවියෙන් ඉගෙන ගත්ත පාඩමක් තිබෙනවා. ඒ හා සමාන්තර වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළ යුතුයි.”යනුවෙන් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර

 

derana news today, dailyreporter

Similar Posts