නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇතැම් දිස්ත්‍රික් කාර්යාලවලින් රුපියල් ලක්ෂ 78කට අධික මූල්‍ය වංචාවක් සිදු ව ඇතැයි තොරතුරු හෙළි වී තිබේ.

හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මහනුවර, පුත්තලම, කළුතර දිස්ත්‍රික් කාර්යාලවල මේ වංචාවන් සිදුව ඇති අතර මේ වංචාවන්ට හවුල් වූ සේවකයන් 11 දෙනෙකු හඳුනා ගෙන ඇත.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කර ඊට අදාළ වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයිද උපදෙස් දී තිබේ.

එමෙන්ම නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාගත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මෙම පිරිස චංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 78කට අධිකය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉදිරි විමර්ශන අනුව මෙම මුදල තවත් වැඩිවිය හැකි බවයි.

Similar Posts