රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු ආදායම්ලාභීන්ට සහ විවිධ සෞඛ්‍ය ගැටලුවලට පත්ව සිටින සෑම පවුලකටම සහල් ප්‍රමාණයක් ලබාදීමට ආණ්ඩුව පියවර ගන්නවා. අඩු ආදායම් ලබන පවුල්වල ජනතාව සහ ඔවුන්ගේ දරුවන් ආහාරයෙන් එක වේලක් හෝ පෝෂණය කිරීම ආණ්ඩුවේ අරමුණයි.

අපි බොහොම අමාරු කාලයක් ගත කළා. සමහර ගෙවල්වලට භූමිතෙල් ටික හොයාගන්න හුඟක් දුර යන්න සිද්ධ වුණා. බොහොම අමාරුවෙන් ඒ දවස්, ඒ සති ගත කරලා රටම යළිත් ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන්න අපිට ආණ්ඩුවක් හැටියට පුළුවන්කම ලැබුණා. ඒ බරට මුලින්ම කර ගැහුවේ ගොවි ජනතාව. ඔබේ අපේ දෙමව්පියෝ. ගොවි ජනතාව එදා ඒ බරට කරගහපු නිසා අතිරික්ත අස්වැන්නක් ලංකාවට ලැබුණා. ආහාරයෙන් ස්වයංපෝෂිත වෙන්න අපිට පුළුවන්කම ලැබුණ බව තේරුම් ගත්ත පිට රටවල් ආයෙමත් අපිට ආධාර දෙන්න තීරණය කළා.

පළමුවෙන්ම අපේ රටේ වගා කරන සහල් අපේ රටේ අඩු ආදායම් ලබන ජනතාවට ලබා දෙන්න කියලා දිසාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. එහෙම කරන්න බැරි අවස්ථාවක පමණයි විදේශ රටකින් ගෙනල්ලා වෙළෙඳ පොළේ තියෙන සහල් මිලදී ගන්න ඔවුන්ට හැකියාව ලැබෙන්නේ. කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් රටක් හැටියට, ආහාර අතින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් රටක් හැටියට. අපේ අරමුණ විය යුත්තේ අපේ රට වැසියන් සෑම දෙනාට, හැදෙන වැඩෙන පරම්පරාවට රටේ අනාගතය ඇතිකර දීමට පුළුවන් විශ්වාසවන්ත ආර්ථික ශක්තියක් ලබාදීමයි.

කාලයක් තිබුණා දේශපාලන ආධිකාරිය මේ පදිංචිකරුවන් ඉවත් කරන්න තීරණය කරපු. එදා පළාතේ මන්ත්‍රීවරයා හැටියට මටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. අපි එදා පොලිසියට කියා සිටියා ඉවත් වෙන්න කියලා. ඒක ලේසියෙන් ඉවර වුණ දෙයක් නෙවෙයි. පැය ගණනාවක් වාද විවාද කළා. එතන හිටපු අයගෙන් ටික දෙනෙක් අද ඉතුරු වෙලා ඉන්නවා. රටේ නීතිය කොහොම වුණත් මහ පොළොවෙ නීතිය එහෙම තිබුණ නිසා අද වෙනකොට රජයේ ඉඩම්වල, නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වල සහ නිවාස අධිකාරියේ ඉඩම්වල දීර්ඝ කාලයක් සිටින නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන අයට ඉඩම් අයිතිය ඔප්පුවකින් භාර දෙන්න තීරණය කරලා වැඩ ආරම්භ කරලා තියෙනවා.

සුළු මුදලක් කඩින් කඩ හරි ගෙවලා මේ ඔප්පු ලබා ගන්න කියලා මම ඔබතුමාලට කියනවා. මීට අවුරුදු විස්සකට කලින් තිබුණු වටිනාකම වගේ හාරසිය ගුණයකින් මේ ඉඩම්වල වටිනාකම වැඩිවෙලා තියෙනවා. මෙතන ඉන්න අම්මලා දන්නවා එදා අපි ලියුමක් තැපැල් කළේ කීයේ මුද්දරයක් ගහලද. අපි ඒ කාලේ තැපැල් කළේ සත දහයේ මුද්දරෙන්. අද කොච්චර වටිනාකම වැඩිවෙලාද කියලා බැලුවොත් අද ලියුමක් යවන්න රුපියල් දහයක විස්සක මුද්දරයක් ගහන්න ඕනේ. අත්සනක් ගහන්න ගියත් කීයේ මුද්දරයක්ද ගහන්න ඕනේ. මම හිතනවා මේ මුද්දර ගැහිල්ල අහෝසි කරන්න ඕන කාලය ඇවිල්ලා කියලා. හැම කෙනාටම හැඳුනුම්පතක් තිබෙනවා. මොකටද මුද්දර ගහන්නේ. මේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි. ඉඩම් ගිනි ගණන් යද්දී ඉඩම් අයිතිය ලැබුණු ඔබ එය ආරක්ෂා කර ගන්න අනාගත දරු දැරියන් වෙනුවෙන්. එය කෙසේ හෝ ආරක්ෂා කරගෙන දියුණු කරගෙන ස්ව උත්සාහයට එකතු කරලා අලුත් ආදායම් මාර්ග එකතු කළ හැකි රැකියා සඳහා දරු පරම්පරාව යොමු කරන්න.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජයසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොළ මහත්ම මහත්මීන්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

Similar Posts