derana news today

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරිම අපේක්ෂාව බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 1,280,747ක් පමණක් බවත් එයින් පවුල් ඒකක 887,653ක් (70%) “අස්වැසුම” ප්‍රතිලාභින් වශයෙන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන හරහා ප්‍රතිලාභ අපේක්ෂා කළ ජනතාවට ඒ වෙනුවෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද මේ වන විට අවසන් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650,000ක් ඒ අතර වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් මෙසේ අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙන බවද පැවසීය.

 

gossiplankanews

Similar Posts