mahindananda

කෘෂිකර් මාන්තය  සඳහා භාවිතා කිරීමට නිර් දේශිත  ඉන්දියානු නැණෝ නයිට්‍රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර ගන්නෝරුවේදී ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා, මෙම නැණෝ නයිට්‍රජන් පොහොර උපරිම ඵළදායිතාවයෙන් යුත්තව භාවිත කළ හැකි යැයි ද කීවේය.

සෞභ්‍යගා ගෙවතු වගා සතිය නිමිත්තෙන් ගොවි පවුල් ලක්ෂ 12කට ගෙවතු වගා සඳහා බීජ සහ කෘෂි උපකරණ කට්ටල ප්‍රදනය කිරීම නිමිත්තෙන් ගන්නෝරුව පැලෑටි හා ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී අද (01) පැවැති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ගොවිජන සේවා බල ප්‍රදේශයකට පවුල් දෙදහස් පන්සියයක් බැගින් පවුල් ලක්ෂ 12කට ගෙවතු වගාවන් වෙනුවෙන් බීජ පැකට් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදුවේ.

කාබනික පොහොර පමණක් ගොවිතැන සඳහා භාවිතා කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය අඛණ්ඩව සිදුකරන බව කී අමාත්‍යවරයා, කාබනික පොහොර පමණක් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා පළමු හා එකම රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව ද කීවේය.

පළමු අදියර යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී අස්වනු අහිමිවීමක් සිදුවුවහොත් වන්දි ගෙවීමක් කරන බව ද අමාත්‍යවරයා කීවේය.

දිලීර හෝ වෙනත් පළිබෝධ හානියක් සිදුවී අස්වනු හානියක් සිදුවුවොත් ඊට මුහුණදීම සඳහා යම් පළිබෝධනාශක ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත් බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය උදිත් කේ. ජයසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එම්.එම්.එල්.අබේරත්න යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් ද මහනුවර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බල ප්‍රදේශ නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts