ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළෙකුගේ මිහින්තලය පිහිටි නිවස පරික්ෂා කිරීමෙන් පසුව කේරළ ගංජා මත්පැන් හා විදේශිය දුම්වැටි තොගයක් සමග ඔහුගේ බිරිද අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.

යුද හමුදා සෙබළා කේරළ ගංජා ග්‍රෑම් පන්සියයක ප්‍රමාණයක් සමග අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස පරික්ෂා කිරීම සිදුකරනා ලෙස අංකුඹුර පොලිසිය රේඩියෝ පණිවිඩ මගින් මිහින්තලය පොලිසිය ඊයේ  (2)දැනුම්වත් කර තිබේ.

ඒ අනුව මිහින්තලය පොලිසියේ නිලධාරින් මිහින්තලය ගෙවල් විස්ස ප්‍රදේශයේ පිහිටි නිවසට උපාය දූතයෙකු ‍යොදවා රජයේ මත්පැන් බෝතලයක් මිලදි ගෙන ඇති අතර අනතුරුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කර තිබේ.

නිවසේ තිබී රජයේ මත්පැන් බෝතල් නමයක් කේරළ ගංජා ග්‍රෑම් 50ක් හා විදේශිය නිෂ්පාදිත දුම්වැටි පැකට් 12ක් පරික්ෂා කිරීම් හමුවේ පොලිසියට හමුවි තිබේ.මිලිලීටර් 750 ප්‍රමාණයේ රජයේ මත්පැන් සහිත බෝතල් හයක් මිලිලීටර් 375 ප්‍රමාණයේ රජයේ මත්පැන් සහිත බෝතල් හයක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතරේ තිබෙනා බවත් පාකිස්ථානයේ නිෂ්පාදිත දුම්වැටි 240ක් සහිත පැකට් 12ක් එහි තිබූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියේ සැමියා විසින් නීතිවිරෝධි ගංජා දුම්වැටි හා රජයේ මත්පැන් ගෙනවිත් නිවසේ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැකකරයි.රජයේ මත්පැන් බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තිබා ගෙන වැඩි මිලට විකිණීම රේගු ගාස්තු නොගෙවමින් දුම්වැටි ආනයනය කර සන්තකයේ තිබා ගැනීම හා ගංජා සන්තකයේ තබා ගැනීම යන චෝදනාවන්ට 30 හැවරදි සැකකාරිය (03) අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබුණි.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts