නව කොරෝනා වෛරස් වසංගතය ලොවට පැමිණි වකවානුවේ සිට බාහිර පාර්ශ්ව සඳහා ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙන් යම් යම් ආයතනවලට ඇතුළුවීමේදී පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරනු ලැබූ අතර පසුව මෙම ක්‍රමය දැන් පුරුද්දකට ගොස් තිබෙයි.

මේ පරීක්ෂාව කොරෝනා වසංගත පාලනයට හෝ අන්අයගේ ආරක්ෂාව පිණිස වැදගත් යමක් ඉටු කරාවිදැයි ලොව පුරා සිදු කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල දැන් නිකුත්ව ඇති අතර ඒවා ගොනු කර නව එංගලන්ත වෛද්‍ය සඟරාවේ  ප්‍රකාශයට පත් කරන ලද ලිපිය අනුව මෙම පර්යේෂණ සියල්ලෙන්ම පාහේ ඔප්පුවී ඇත්තේ එම කටයුත්ත ඵලදායි කාර්ය භාරයක් වසංගතය වෙනුවෙන් ඉටු කර නැති බවයි.

පාසැල්වල සහ කාර්යාලවල භාවිතා කරන උෂ්ණත්වය මැනීම සහ COVID-19 රෝග ලක්‍ෂණ පරීක්‍ෂා කිරීම මගින් කොරොන වයිරස් ආසාදන හඳුනා ගැනීමට හැකිවී නැතැයි එහි නිගමනයයි.

මෙම එක් පර්යේෂණයක් සිදු කර තිබුනේ නාවිකයින් පුහුණුවට බඳවාගන්නා පැසැලකය. එම අධ්‍යයනයෙන් හෙළි වූයේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර උණ පරීක්ෂාව හා ආගිය තැන් විමසීම ආදී පියවරයන් සහ දුරස්ථ හැසිරීම් කොන්දේසි තිබියදීත්, බඳවා ගත් අයගෙන් කිසිවෙකුට මුලදී රෝග ලක්ෂණ නොමැති වුවද පසුව එක් අයෙකුට හෝ වැළඳුණ පසු වෛරසය අනෙක් අයට පැතිර යන බවයි.

එසේ පැතිරෙන අය ගැනද උෂ්ණත්ව මාන ආදියෙන් කරන පූර්ව පරීක්ෂාවේදී හඳුනාගැනීම් වාර්තාවී නැත. බොහෝ තරුණ අයට බාහිර රෝග ලක්ෂණ හසු නොවී තිබීම මෙහිදී වැදගත් කාරණාවයි.

නව එංගලන්ත වෛද්‍ය සඟරා අධ්‍යයන ලිපිය පෙන්වා දෙන්නේ ආසාදන හඳුනා ගැනීම සහ පැතිරීම වැළැක්වීම සඳහා මේ ආකාරයේ පරීක්ෂණ මත විද්‍යාල, බන්ධනාගාර, කඩසාප්පු ආදිය තවදුරටත් ක්‍රියාකාරීවීම ප්‍රතිඵලදායි නොවන බවයි.

ඇට්ලන්ටා හි එමරි විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පර්යේෂක ජෝඩි ගෙස්ට් සිදුකර ඇති අධ්‍යයනයකට අනුවද මෙම කරුණ තහවුරුව ඇති අතර මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බොහෝ අය කාලයක් ශ්‍රමයක් වැය කරන නමුත් අවසාන ඵලය ප්‍රයෝජනයක් නැති බව ඔහු දක්වා ඇත.

“බොහෝ ආසාදන ඉබේ ඇති වන අතර, එය සිදුවන තුරු අපි ඒ බව නොදනිමු” යැයි තවත් අධ්‍යයනයක නිරතවූ ඇමරිකානු නාවික වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරියක වන ඇන්ඩෘ ලෙටිසියා පවසා තිබේ.

මීට පෙර, ඇමරිකානු ෆෙඩරල් නිලධාරීන් සිදු කළ කරුණු ඉදිරිපත් කිරීමකට අනුව එක්සත් ජනපද ගුවන්තොටුපලවල උෂ්ණත්වය සහ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය මගින් සංචාරකයින් 675,000 ක් අතරින් හඳුනාගෙන ඇති රෝගීන් ගණන 15 කටත් වඩා අඩු සංඛ්‍යාවකි.සිද්ධීන් කීයක් මග හැරී ඇත්දැයි නොදන්නා බව එම වාර්තාවෙන් කියැවුණි.

පසුගිය වසන්තයේ දී ලෝකයම කථා කළ යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාවේ කොරෝනා පොකුර සැලකීමේදී 4,779 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය අතර කොරෝනා පැතිරයාමද මේ ආකාරයේ පිටට නොපෙනෙන ලක්ෂණ වලින් යුතු විය.

වැඩි වශයෙන් යෞවනයන් 1,271 ක් ආසාදනය වූ අතර එහිදී ඔවුනගේ රෝග විනිශ්චය කිරීමේදී 77% ක් රෝග ලක්ෂණ කිසිම අවස්ථාවක නොපෙන්වූ බව කියැවිණි.

උෂ්ණත්ව පරීක්ෂාවන් හෝ බාහිර ලක්ෂණ මගින් රෝගය ගැන කිසිදු සලකුණක් පෙන්වූයේ නැති අතරම එසේ වැළඳුණ අයගෙන් 45% ක් රෝගය වර්ධනය නොවී ඉබේම පහව ගිය බවයි.

වෝල්ටර් රීඩ් හමුදා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නෙල්සන් මයිකල් පළ කළ පර්යේෂණය මගින් පෙන්වාදී ඇත්තේ“තරුණ, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට බොහෝ විට නිහඩව ආසාදනය ඇතිවන අතර එය පිට අයට හඳුනාගැනීම දුෂ්කරය. ඔවුන් ඇතැමෙකු රෝගය ඉබේ සුවකරගන්නා නමුත් කොටසක් නොදැන අන්අයට පැතිරීමට දායක විය හැකි” බවයි.

Similar Posts