delkada

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය  අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම  ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි  දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමත් සමග ඇති වූ ගින්නකින් සුඛෝපභෝගී මෝටර් රථය සහ ලොරි රථය සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇත.

මෙම අනතුර ඊයේ (10) වන දින රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.

බෙන්ස් වර්ගයේ සහ අව්ඩි වර්ගයේ සුඛෝපභෝගී කාර් රථ දෙකක් තරඟයක ආකාරයෙන් දෙල්කඳ හන්දිය දෙසසිට මහරගම දෙසට ගමන් කරමින් සිටියදී බෙන්ස් වර්ගයේ කාර් රථයට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අසබඩ නවතා තිබූ ලොරි රථයේ පිටුපස කොටසේ ගැටුනු බවත් එම අවස්ථාවේ එක වරම කාර් රථය ගිනි ගැනීමට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පැවසීය.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවට අයත් මැදිරි සංකීර්ණය තුළ (12) වන දින පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ආලෝක උපකරණ කුලී පදනම මත ලබාදෙන  පෞද්ගලික ආයතනයකට අයත් ලොරි රථය මැදිරි සංකීර්ණයේ ඉදිරිපිට නවතා එම උපකරණ හා බඩු බාහිර ආදිය ආයතනය තුළට රැගෙන යමින් සිටියදී එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත් ඒ සමගම නවතා තිබුණු ලොරි රථයේ පිටුපස  රථයක් ගැටී ඇති බව දැනගත් බවත් උපකරණ බාමින් සිටි පුද්ගලයින් පිරිස ඒ දෙසට දිව යන අවස්ථාවේදී කාර් රථය සැනින් ගිනි ගැනීමට ලක්වූ බවත් කාර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයින් කාර් රථයෙන් එළියට පැමිණ සිටි බවත් ලොරි රථයේ සේවය කළ සේවක කණ්ඩායම පැවසීය.

කාර් රථයේ පැමිණි රියැදුරු සහ ඉදිරි අසුනේ සිටි පුද්ගලයාට සුළු තුවාල තිබූ බැවින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවත් ප්‍රදේශවාසීන් පැවසීය.

අනතුරෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ වලට හා ආලෝක උපකරණ වලට දැඩි අලාභ හානි වී තිබු බවත් ඒවායේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බවත් පොලීසිය පැවසීය.

ගින්න හට ගැනීමත් සමග ප්‍රදේශවාසීන් විසින් කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකයට සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දුරකතන ඇමතුම් මාර්ගයෙන් දැනුවත් කිරීමත් සමග එම ස්ථානයට පැමිණි ගිනි නිවීමේ නිලධාරීන් හා භටයින් විසින් ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළ අතර මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්  හයිලෙවල් මාර්ගය වසා දමා වාහන ගමනාගමනයට ඉඩ නොදී ගින්න පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමත් සිදුකළේය.

සුඛෝපභෝගී කාර් රථය සහ ලොරි රථයේ මෙන්ම ගිනිගෙන දැවුණු භාණ්ඩවල අලාභය මෙතෙක් ගණනය කර නොමැති බවත් මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ප්‍රධාන නිලධාරී ඩී.බී සුනන්ද සහ කෝට්ටේ මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

delkada delkada

සමීර අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts