death

උට්ටිමඩුව සියඹලාගස්වැව කැලෑ ප්‍රදේශයට කැති මිටක් කපා ගැනීමට බව කියමින් එහි ගිය හේන් ගොවියෙකු දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩි ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා කැලෑව තුලදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව තිරප්පනය පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් උට්ටිමඩුව උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටි 70 හැවරදි තිදරු පියෙකුවූ මුතුබණ්ඩාගේ විජේසිංහ නැමත්තා ජීවිතක්ෂයට පත්වි තිබුණි.

ඔහු ඊයේ  (01දා)උදෑසන 9.30ට පමණ කැති මිටක් කපා ගැනීමට කැලෑවට යන බව බිරිදට පවසා නිවසෙන් නික්ම ගොස් ඇති බව පරික්ෂණ සිදුකරනා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

කැති මිටක් කපා ගැනීමට බව කියමින් කැලෑ වැදුණු සැමියා පැය පහක පමණ කාලයක් තිස්සේ නිවසට නොපැමිණිම නිසා ඇය විසින් අසල්වැසියන්ට ඒ බව දන්වා තිබෙනා බවත් අසල් වැසියන් කිහිප දෙනෙකු සියඹලාගස්වැව වැව ප්‍රදේශයට ගමන් කරද්දි ඔහු වෙඩි වැඩි සිහිසුන් නොමැතිව වැටී සිටින අයුරු දැක වහාම ඒ බව පොලිසියට දන්වා පයිරිමඩුව ග්‍රාමීය රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ.

වෙඩි වැදුනු පුද්ගලයා රෝහල් ගත කරනා විටත් මරණයට පත්වි ඇති බව ඔහුගේ සිරුර පරික්ෂාවට ලක්කළ රෝහලේ වෛද්‍යවරයා නිගමනය කර තිබේ.වන අලි ගහන සියඹලාගස්වැව ප්‍රදේශයේ වන සතුන් වැඩි වශයෙන් ගැවසීම නිසා දඩයක්කරුවන් බදින තුවක්කු අටවනා බවත් මරණකරුගේ දකුණු පාදයේ පිටිපසින් ඇතුළුවූ මූනිස්සම ඉදිරි පසින් මතුවි ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.

සියඹලාගස්වැව ප්‍රදේශයෙන් උදෑසන දහයට පමණ වෙඩි හඩක් ඇසුනු බව ගම්වැසියන් පොලිසියට පවසා තිබෙන අතර මරණකරු පාදයට වෙඩි වැදිමෙන් පසුව මීටර් 200ක් පමණ ඉදිරියට පැමිණ සිහිසුන්ව ඇද වැටි ඇති බවත් අධික ලෙස රුධිරය වහනයවීම නිසා මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

බදින තුවක්කුව අටවා තිබු ස්ථානයේ එහි බටය නොතිබු බවත් එය ඇටවූ දඩයක්කරු විසින් ගලවා ගෙන යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.මරණයට පත්වු හේන් ගොවියාත් බදින තුවක්කු ඇටවීමට එහි ගියේද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකමතුව තිබෙනා අතර (01දා) සවස් කාලයේ පැවති අධික වර්ෂාව තනි අලියෙකු ඇතුළු වන අලි රංචු ගැවසීම හා බදින තුවක්කු ගහන කැලෑවක් නිසා පොලිසිය පරික්ෂණ අතර මග නවතා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා බදින තුවක්කු ඇටවු දඩයක්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වයි.

මීට මීට දින 40කට පමණ ඉහතදී උට්ටිමඩුව මුරියාකල්ල වැව ආසන්නයේ බැද තිබූ බදින තුවක්කු දෙකක මරුවැල් පෑගී සිදුවු වෙඩි වැදීමකින් විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු හා විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්විය.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

 

Similar Posts