motorcycles for sale

ක්ෂේත‍්‍ර නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යාල ගතව  රාජකාරි ඉටු කරන සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම පිළිබද සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ කියා සිටින්නේ රජයේ කාර්යාල තුලින් ඉටු කරනු ලබන බොහෝ සේවාවන් ඉටුකරනු ලැබූයේ මීට පෙර ලිපිකරු සේවාව මෙන්ම වර්තමානයේ කළමනාකරණ සේවා නිලධාරීන් විසින් බවය.

අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ මෙම සේවාවට කනකොකා හඩලන්නට පටන් ගත්තේ දේශපාලන වුවමනාවන් මත කිසිදු තරග විභාගයකින් තොරව උපාධි සහතිකයට පමණක් රාජ්‍ය සේවයට MN-4 වැටුප් කාණ්ඩය යටතේ බඳවාගත් උපාධිධාරීන් පිරිස නිසා බවට ඔවුන් චෝදනා කර සිටියි.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සොයා බැලීමකින් තොරව මෙම පිරිස් රජයේ කර්යාලවලට ගාල් කල අතර ඔවුන්ගේ බදවාගත් නිලය අනුව පැවරීමට රාජකාරියක් නොවූයෙන් බොහෝ දෙනෙක් රජයේ කාර්යාල වල කළමනාකරණ සේවා නිලධාරීන් ඉටු කරන සේවාවන් වලින් ඉතා සුළු රාජකාරි ප‍්‍රමාණයක් පවරා කළමනාකරණ සේවා නිලධාරියාට වඩා වැඩි වැටුපක් ලබන බව පෙන්වා දෙන සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය කියා සිටින්නේ මෙම තත්වය නිසා රජයේ කාර්යාල වල සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් දැඩි මානසික පීඩනයකට පත්වී ඇති බවය.

එමෙන්ම මීට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලසීමාවේදී සංවර්ධන නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමක් සිදු කල අතර කාර්යාල ගත සංවර්ධන නිලධාරීන්ටද යතුරුපැදි ලබා දීම පිළිබඳව එකල කළමනාකරණ සේවාවේ නිලධාරීන් (3000) තුන්දහසකට අධික පිරිසක් කොළඹ දී උද්ඝෝශන ව්‍යාපාරයක්ද දියත් කළ බව සිහිපත් කර සිටින සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය පවසන්නේ  නැවත වරක් ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම සඳහා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2020.11.27 දින පැවැති සාකච්ඡාවේ  අදහස් කර ඇති බව ප‍්‍රකාශ වු බවය.

ඒ අනුව 2014.01.01 දිනට පසුව පත්වීම් ලබා වසර 05 සේවාකාලයක් සහිත ග‍්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දීමට අවශ්‍ය විස්තර කැදවා ඇතැයිද ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ රාජකාරි අනුව යතුරුපැදි ලබා දීම සම්බන්ධව විරෝධයක් නැති නමුත් ඔවුන් බහුතරයක් ඉටු කරනු ලබන්නේ කළමනාකරණ සේවා නිලධාරීන් ඉටු කරන සේවා කටයුතු බැවින් එසේ යතුරු පැදි ලබා දෙන්නේ නම් කළමනාකරණ සේවා නිලධාරීන්ටද තීරුබදු රහිතව යතුරුපැදි ලබා දීම කල යුතුව ඇතැයිද අවධාරණය කර සිටියි.

එසේ නොමැති නම් ඔවුන් කාර්යාලවල දැනුදු කරන අප සේවාවට අයත් රාජකාරිවලින් ඉවත් කොට කටයුතු කිරීම සුදුසු බවත් එසේ නොමැතිව එකම කාර්යාලයක එකම සේවාවක් ඉටු කරමින් මෙවැනි ප‍්‍රතිලාභ ලබා ගැනීම පිළිකුලින් හෙලා දකින අතර ඒ වෙනුවෙන් සමස්ත කළමනාකරණ සේවා නිලධාරීන් දැනුවත් කර දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවද එම සංගමය වැඩිදුරටත් කියා සිටියි.

Similar Posts