light-cut esanin puwath

ජනවාරි මාසයේ විදුලි කපන හේතුව පාඨලී කියයි විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැති වීම හේතුවෙන් ලබන ජනවාරි 15න් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකර තිබේ.

එම සටහන පහතින්…

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබිණ.

ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එය ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය සඳහා භාවිත කිරීම සඳහා අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12500 ක ප්‍රමාණයක් පමණි.

මේ අතර විදුලිබල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණි.

තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති අතර, මෙම තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල් නිකුත් කිරීම නැවැත්වීමට ද සිදුවනු ඇත.

ඒ හේතුවෙන්ම එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇත.

දැනටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතී.

එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවකි.”

Similar Posts