bandula

සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) සිදුවූ අතර එහි පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව කීවේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකය පවා ඇද වැටී ඇති අවස්ථාවක එහි බලපෑම ශ්‍රී ලංකාවටත් එල්ල වී ඇතැයි කී අමාත්‍යවරයා, මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ඩොලර් හිඟයක් මතුවී ඇතැයි පෙන්වා දුන්නේය.

නමුත් මෙම අසීරු අවස්ථාවකදී පවා මහජනයා පීඩාවට පත්වීම වැළැක්වීමට රජය කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සීත සෘතුව හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳ පොලේ ගෑස් මිල සියයට එකසිය තිහක ප්‍රතිශතයකින් ඉහළ ගිය බව කී අමාත්‍යවරයා, ඉහළ මිලකට මිලදී ගෙන අඩු මිලට මෙරට වෙළද පොලේ භාණ්ඩ අලෙවි කිරීමට සමාගම් කිසිසේත්ම කටයුතු නොකර නිසා මෙරට ද තාවකාලික ආර්ථීක අර්බුදයක් පවතින බව කීවේය.

නමුත් එම තත්ත්වය ඉදිරියේදී මඟ හැරී යළි රට සංවර්ධනය කරා යොමු කළ හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හාරගම ශ්‍රී ජයසුමනාරාම විහාරාධිකාරී පූජ්‍ය බටගොල්ලේ විජිතානන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් ගුණතිලක රාජපක්ෂ, ලංකා සතොස සභාපති මේජර් ජනරාල් ආනන්ද පීරිස් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts