දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට රජයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගොවියන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් අලෙවිකර ගැනීම සහ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුමැතිය හිමිවූ බව අද (10)  මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තදබදයෙන් තොරව ලොරි රථ ප්‍රවේශ කර ගැනීම සහ භාණ්ඩ මිලදී ගැනීම කඩිනම් කිරීම පිළිබඳව ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය දැනුවත් කළ බවද අමාත්‍යවරයා කීවේය.

එලෙස මිල දී ගන්නා ලද එළවළු තොග දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ජංගම  ක්‍රමවේදය උපයෝගී කරගනිමින් පාරිභෝගිකයන් වෙත බෙදාහැරීමට සැලසුම් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

රජයේ තොග ගබඩා වැටලීම මේ වන විට සිදු කරන්නේ පාරිභෝගිකයන් පීඩාවට පත්වන අයුරින් ක්‍රියාත්මක වන කූට වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම යැයි කී අමාත්‍යවරයා මෙවැනි අසීරු තත්ත්වයක් යටතේ පාරිභෝගිකයන් පීඩාවට පත් කිරීම වැළැක්වීම රජයේ අපේක්ෂාව යයි කීවේය.

මහා පරිමාණ වී මෝල් හිමියන් එක් කන්නයකදෟ  රුපියල් බිලියන 50 කට අධික ලාභ ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගොවියාට ඉහළ සහතික මිලක් ලබාදීමේ කිසිදු වරදක් නොමැති බව කීවේය. නමුත් මහා පරිමාණ වී මෝල් හිමියන් අධික ලාභ ලැබීම සීමා කළ යුතු යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

මහා පරිමාණ වී මෝල් හිමියන් අධික ලාභ ලැබුවත් අධික ලාභ නොලබන සුළු මෝල් හිමියන් රැක ගැනීමට  රජය ක්‍රියා කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රජය විසින් මිලී ගන්නා වී සහල් බවට පත් කිරීම සඳහා සුළු මෝල් හිමියන්ට අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා කීවේය.

කාබනික පොහොර ප්‍රවර්ධනය ඉහළ ගොස් ඇති අවස්ථාවක ඉදිරි මහ කන්නයේ දී ගොවියන් සඳහා ලබා දෙන සහතික මිල ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts