මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසි වාරය ඇමැතීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා ද පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා වේලාවෙන් අද පස්වරු 4.45 ට පමණ සමුළුව ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු ඇමැතිවරයා විසින් අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් දැනුම්දීමට නියමිතයි.






