ආර්ථිකය පිලිබඳ ආකෘති

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම් සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද  වේ.සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික  ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවලමිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත් වීම් පසුව හඳුන්වා දෙන ලදී. මෙයින් ප්‍රධාන වුයේ වර්ෂ 1930 ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට පිලියමක් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම සහ ආණ්ඩුව විසින් අයකරන බදු අඩුකිරීම මගින් ජනතාව අතට මුදල් ලැබීම මගින් භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩිවී ඒ මගින් ආර්ථික අවපාතයෙන් මිදීම සඳහා වන වැඩපිළිවෙලයි.

පසුව දෙවන ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍යයේ නිදහස් වෙළෙඳපොළ ක්‍රමය යටතේ සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්තීන් හඳුන්වා දෙනු ලැබිය.

ආර්ථිකයට රාජ්‍ය මැදහත් වීම් වලට විරුද්ධව  සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට පක්ෂව පල කල අදහස් නව ලිබරල් වාදී ආර්ථිකයක් සඳහා වන මතවාදයන්  ලෙස හඳුන්වනු ලැබිය. වර්ෂ 1980 ගණන් වල ඇමරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් සහ බ්‍රිතාන්‍ය අගමැති මාගරට් තැචර් විසින් රාජ්‍ය මැදහත් වීම් වලින් තොර නිදහස් වෙළෙඳපොළ ක්‍රමය ප්‍රයෝගික වශයෙන් නැවතත් හඳුන්වාදීමේදී එය නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් ලෙස හඳුන්වා දෙනු ලැබිය.

සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය ප්‍රථම වතාවට භාවිතාවේ යෙදුවේ 1949 දී බටහිර ජර්මනිය විසින් එහි චාන්සලර් කොන්රඩ් ඇඩිනෝර් යටතේය. මෙම ආර්ථික ක්‍රමය නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයටත් සමාජවාදී එනම් මධ්‍යගතව පාලනය වන ආර්ථික ක්‍රමයටත් අතරමැද විකල්ප ක්‍රමයක් ලෙස හඳුන්වාදෙන ලදී. සමාජයේ ජිවත්වන පුරවැසියන්ගේ සමාජ සහ ආර්ථික සුබසාධනය තහවුරු කිරීම මෙම ආර්ථික ක්‍රමයේ මූලික අරමුණයි.

මෙහි සමාජ යන වචනයේ තේරුම චීන ආර්ථික ක්‍රමයේ එන සමාජවාදී යන වචනයේ අරුතට සපුරා වෙනස්ය. මෙයින් අදහස් කරන්නේ සමාජයේ ජිවත්වන සියළු ආන්තික කොටස් වලට සමාන අවස්ථා සලසාදෙන විවෘත ආර්ථික ක්‍රමයකි. සරල උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැක.

මේරටේ බදු අදායමෙන් 80% ක් පමණ වක්‍ර බදු වලින් එනම් එකතු කළ අගය මත බද්ද (වැට්) වැනි බදු වලින්ද 20% ඍජු  බදු වලින් එනම් අදායම් බද්ද වැනි බදු වලින් අය කරගනු ලබයි. වැට් වැනි බදු සියළුම භාණ්ඩ වලට අදාල වන බැවින් දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියල්ලන් විසින් එම බදු ගෙවිය යුතුය. අදායම් බදු ගෙවන්නේ පොහොසතුන් එනම් ගෙවීමට හැකියාව ඇති අය විසිනි. බොහෝ රටවල  වක්‍ර බදු / ඍජු බදු අනුපාතය 60% /40%   මට්ටමේ පවතී.

සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය යනු  ඩෙන්ග් ෂියාඕ පින්ග් විසින් චීනයේ ඇති කරණ ලද ආර්ථික ප්‍රතිසංස්කරණ විග්‍රහ කිරීම සඳහා යොදන  යෙදුමයි. චීනයේ තිබෙන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ වෙළෙඳපොළ ආර්ථිකයක් තුලය.

කොමියුනිස්ට් ආණ්ඩුව යටතේ රටේ තිබුණ සියළුම ආයතන රාජ්‍ය ආයතන විය. පළමුවෙන් චීනයට වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වාදෙන ලද අතර මෙම රාජ්‍ය ආයතන රාජ්‍යයේ  බලපෑමකින් තොරව වෙළෙඳපොළ අනුව හැසිරෙන්නට විය. ලාභ එම ආයතන වෙතම රැඳුනි. දැන්  චීනය අනුක්‍රමයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරමින් සිටී.

මෙම පෞද්ගලීකරණයට විරුද්ධ මතවාදයක්ද චීනයේ තිබේ. ඔවුන්ගේ මතය අනුව රාජ්‍ය ආයතන කොමියුනිස්ට් පක්ෂය යටතේ තවදුරටත් තිබිය යුතු බවය. චීනය පිලිබඳ එක් විශේෂඥයකු ගේ (Yukon Huang- https://www.youtube.com/watch?v=XepCi0I_g6I) අදහස නම් චීනයේ දූෂණය එරට ආර්ථිකයට ප්‍රයෝජනවත් බවයි. මක්නිසාද යත් රාජ්‍ය නිලධාරීන් දුෂණයට යොමු වන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයේදී යි. ආයතන පෞද්ගලිකරණය රටේ ආර්ථිකයේ ප්‍රගමනයට හේතුවන දෙයකි.

දුෂණය වැඩි වන විට බොහෝ ආයතන පෞද්ගලිකරනයවී ආර්ථික වර්ධනය ඉහළ යයි. මෙයට ප්‍රතිවිරුද්ධව ඉන්දියාවේ දූෂණය ඇතිවන්නේ පෞද්ගලික අංශය විසින් රජයෙන් කරගත යුතු කාර්යයන් කර ගැනීම වෙනුවෙනි. ඒවා දුෂණයෙන් තොරව සිදුවුවහොත් එම ක්‍රියාවන් රටේ ආර්ථිකයේ ප්‍රගමනයට හේතුවකි. එබැවින් ඉන්දියාවේ දූෂණය රටේ ආර්ථික අවගමනයට හේතුවේ.මෙය ඉන්දියාවේ පමණක් නොව චීනය හැර වෙනත් රටකද විය හැකිය. එබැවින් චීන ආර්ථික ආකෘතිය වෙනත් රටවල පාවිච්චි කළ නොහැක.

මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂයයි.එයට පෙර පැවති 1970 සිට 1977 දක්වා කාලය සංවෘත ආර්ථිකයේත් සමස්ත ආර්ථිකයට රාජ්‍ය මැදහත් වීමේත් උච්චතම අවස්ථාව සනිටුහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ පාලන යුග වලින් පසුව චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන බව ප්‍රකාශ කරමිනි. ඉන් පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ විවෘත ආර්ථිකයට ජාතික මුහුණුවරක් දීමට උත්සාහ කළේය. එක්සත් ජාතික පක්ෂය 2015 දී  බලයට පත්වීමට පෙර සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කථා කළේය.

එනමුත් එය ක්‍රියාත්මක නොවුනි. වර්තමාන ආණ්ඩුවද විවෘත ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන බව පැවසුවත් රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ දුටුගැමුණු රජු මුල් කාලයේ යුද්ධ කළාක් මෙන් සැලැස්මක් නොමැතිව හිටි හැටියේ විවිධ භාණ්ඩ ආනයනය කිරීම නවත්වමින් 1970- 1977 යුගයට ආපසු යාමට උත්සාහ දරයි.

නිදහසෙන් පසුව රට විවිධ ආර්ථික ආකෘති අනුගමනය කළත් රට දැන් පවතින්නේ විශාල ආර්ථික අර්බුදයකය. එයට ප්‍රධාන හේතුව දීර්ඝ කාලීනව රජයේ අයවැය ගිණුමේ පවතින රාජ්‍ය වියදම රාජ්‍ය අදායමට වඩා වැඩි වීමයි.

මෙම වැඩිපුර වියදම  පියවා ගැනීමට ණය ගැනීමට සිදුවී ඇති අතර ඊළඟ වසර වලද රාජ්‍ය වියදම ආදායමට වඩා වැඩි වීම නිසා ගත් ණය ගෙවීමට නැවත ණය ගැනීමට සිදුවී තිබේ.

ඊට අමතරව දීර්ඝ කාලීනව රටේ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිය. එමෙන්ම රටේ ආදායම් බෙදීයාමේ විශාල අසමානතා තිබේ. රටේ ජනගහනයෙන් ඉහළම  20%  ජාතික ආදායමෙන් 50% කට අයිතිය කියන අතර රටේ ජනගහනයෙන් පහල ම  20% හිමිකම් කියන්නේ ජාතික ආදායමෙන්  5% කට පමණි.

අවශ්‍යතාව වන්නේ මෙම ආර්ථික ගැටළු වලට විසඳුම් සෙවිය හැකි ප්‍රයෝගික ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමයි.

හර්ෂ ගුණසේන

Related posts