වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි.

රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේසියල්ල එකතු කලවිට ජංගම ගිණුම ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ජංගම ගිනුමේද ඇත්තේ හිඟය කි.

රටේ දල දේශීය නිෂ්පාදිතය රටේ ආර්ථිකයේ ප්‍රමාණය සනිටුහන් කරයි. රටේ ආර්ථිකයේ ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස අපනයන ආදායමද වෙළෙඳ ශේෂයේ හිඟයද ජංගම ගිණුමේ හිඟයද ප්‍රස්ථාර වල පහත දක්වා ඇත.

වර්ෂ 2000 දී මෙරට අපනයන ආදායම දල දේශීය නිෂ්පාදිතයේ % ක් ලෙස 39% ක් වූ අතර 2010 දී එය 20% ක් විය. මෙය වෙළෙඳ ශේෂයේ හිඟය ජංගම ශේෂයේ දී අඩුවී ඇත්තේ විශේෂයෙන්ම  විදේශ ශ්‍රමිකයන්ගේ මුදල එවීම් නිසාය.

ලංකාවට සිය වෙළෙඳ ශේෂය අඩුකර ගැනීම සඳහා පියවර දෙකක් ගත හැකිය. එකක් ආනයන අඩු  කිරීමයි. අනෙක අපනයන වැඩි  කිරීමයි. ආනයන අඩු කිරීම සඳහා ක්‍රියා කිරීම ආරක්ෂනවාදී ප්‍රතිපත්තියක් වන අතර අපනයන වැඩි කිරීම සඳහා ක්‍රියාකිරීම ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකාව විසින් මේ අවස්ථාවේදී තෝරාගත යුත්තේ අරක්ෂනවාදී ප්‍රතිපත්තියක් නොවේ. ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියකි.

රටකට කෙරෙන ආනයන එම රටෙහිම නිපදවාගත හැකිනම් එය වටිනා දෙයකි. එහි කිසි වැරැද්දක් නොමැත. එනමුත් රජයකට සිය ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේ දෙකම එකවර කිරීමේ අපහසුතාවයක් පවතී. යම් හෙයකින් දෙකම කළ හැකිනම් වඩාත් හොඳය. දෙකින් එකක් තෝරාගත යුතු නම් තෝරාගත යුතු වන්නේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියයි.

ඒ මේ නිසාය. අපනයන වර්ධනයට සීමාවක් නැත. ආනයන ආදේශනයට සීමාවක් තිබේ. එනම් මෙරට වෙළෙඳපොළ ප්‍රමාණයයි. මේ සඳහා මෙරට සිටින අපනයන ව්‍යාපාරිකයන් ද රාජ්‍යයද සූදානම් විය යුතුය. එමෙන්ම අපනයන වර්ධනය සඳහා රාජ්‍යය සහ ව්‍යාපාරිකයන් මතුනොව රටේ සියළු ආයතන සහ විපක්ෂයද ඇතුළු සියළු පුරවැසියන්ගේ සහාය ලැබිය යුතුය.

මේ සඳහා රටට වැඩි ශක්තියක් ඇති කර්මාන්ත හඳුනා ගත යුතුය. තොරතුරු තාක්ෂනය මේ සඳහා නිදසුනකි. ඒ සඳහා මිනිස් බලය පුහුණු කළ යුතුය. ආයතන ඇති කළ යුතුය. සමුළුවක් කැඳවා ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් සියල්ල සිදු නොවේ. ඒවා ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි රටක ප්‍රතිපත්ති ඉබේ ක්‍රියාත්මක නොවේ.

කුඩා වෙළෙඳපොළක් සහිත ලංකාව වැනි කුඩා රටකට  වෙළෙඳාමෙන් තොරව ඉක්මන් සංවර්ධනයකට යාම අපහසු කටයුත්තකි. ලංකාවේ භූගෝලීය පිහිටීම අනුවද ලංකාවට වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කළ හැක. මෙරට ඉතිහාසය පුරා සිදුවී ඇත්තේ එයයි. මෙරට ව්‍යාපාරිකයන් ප්‍රමාණයෙන් කුඩා ලංකාවේ වෙළෙඳපොළ අරමුණු කර නොගෙන සමස්ත ලෝක වෙළෙඳපොළ අරමුණු කර ගතහොත් රටට වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කළ හැක.

වියට්නාමය යුද්ධයෙන් බැට කෑ රටක් වූ අතර යුද්ධය අවසන් වූයේ 1975 දිය. වර්ෂ 1986  සිට 2019 දක්වා එරට අපනයනය සීග්‍ර වර්ධනයක් අත්පත් කර ගෙන ඇත. ලංකාවේ අපනයනය සම්බන්ධ පළමු ප්‍රස්ථාරය සමඟ මෙය සසඳා බැලිය හැක.

අපනයන වර්ධනයේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියකට වියට්නාමය හොඳ උදාහරණයකි. එරට ජංගම ගිණුමේ ශේෂය ඊළඟ ප්‍රස්ථාරයේ දැක්වේ. මෙයින් පැහැදිලි වන්නේ අපනයන සමඟ ආනයනද වැඩිවී රටේ වෙළෙඳාම වැඩිවන බවයි. මෑත අවුරුදු වලදී ජංගම ගිණුමේ  ශේෂය අතිරික්තයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව – භාණ්ඩ සහ සේවා අපනයනය ද. දේ, නි. යේ % ලෙස 1960-2019

මූලාශ්‍රය https://data.worldbank.org/

ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂය ද.දේ.නි යේ % ලෙස 1960-2019

1960

මූලාශ්‍රය https://data.worldbank.org/

ශ්‍රී ලංකාවේ ජංගම ගිනුමේ ශේෂය ද.දේ.නි.යේ % ලෙස 1975-2019

මූලාශ්‍රය https://data.worldbank.org/

වියට්නාමය- අපනයන ද.දේ.නි. යේ % ලෙස 1986-2019

viyatnam

මූලාශ්‍රය https://data.worldbank.org/

වියට්නාමය  ජංගම ගිනුමේ ශේෂය ද.දේ.නි.යේ % ලෙස 1975-2019

මූලාශ්‍රය https://data.worldbank.org/

හර්ෂ ගුණසේන

Related posts